[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඉවසීමට අවසානයක් නැත

ඉවසීමට අවසානයක් නැත

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ, සත්පුරුෂයා කිසි කාලයක කේන්ති ගන්නේ නැහැ. කේන්තිය පැමිණුනත් පරුෂ වචන කියන්නේ නැහැ. ඒ වගේම තව කෙනකුට දොස් පවරන්නේ, තරවටු කරන්නේ නැහැ. කිපිය යුතු කරුණක දී වුවත් කිපෙන්නේ නැහැ. එලෙස නොකිපෙන තැනැත්තා තමයි ශ්‍රමණයන් වහන්සේ නැතිනම් පැවිද්දා කියන්නේ යනුවෙනුයි.

මේ සමාජයේ දී යම් වූ ද කරුණක දී බැලූ බැල්මට පේනවා මේ ද්වේෂයක්, තරහක් ඇතිවන කාරණයක් පවතින බව. අන්න එතැන දී ද්වේෂයක්, තරහක් ඇති කර ගන්නේ නැතිනම් බුදුරජාණන් වහන්සේ වදාළේ එය ශ්‍රේෂ්ඨ බවයි. එය අති උදාර ගුණයක් බවයි. එයයි ඉවසීම කියන්නේ. දරා ගැනීම කියන්නේ.

එදිනෙදා ජීවිතයේ දී සාර්ථකත්වයට ඉවසීම, දරාගැනීම අත්‍යවශ්‍යයයි. මේ සමාජයේ ජීවත්වීමේ දී අපට බොහෝ දේ ඉවසන්න සිදු වෙනවා. ඒ තමන් වෙනුවෙන් හා අනුන් වෙනුවෙන් . මෙන්න මේ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉවසීම කියන්නේ උදාර ගුණයක් බව.

යම් කටයුත්තක දී පසු බැසීමට, ඒ වගේම ධෛර්ය, වීර්යය නැතිවීමට හේතුවන දේ තිබෙනවා. යම් කටයුත්තක දී පසු බසින්න, ධෙර්ය, වීර්යය නැතිවෙන්න, බියවෙන්න, ශෝකවෙන්න, ලජ්ජාවෙන්න, කෝපවෙන්න, කලකෝලාහල, නඩු - හබ ඇති කර ගන්න හේතුවන දේ කාලයෙන් කාලයට ජීවිතවලට ළං වෙනවා. වරින් වර ඒවා ජීවිතවලට පැමිණෙන කොට ඒ හේතූන් නිසා වෙනසකට නොපැමිණීමට පුළුවන් නම්, හිතේවත් ද්වේෂයක් ඇති කර ගන්නේ නැතිව අකම්පිතව මුහුණ දෙන්න පුළුවන් නම්, අන්න ඒ ස්වභාවයට කියනවා ඉවසීම කියා.

ඒ වගේම නොඉවසිය යුතු අවස්ථාවකුත් ඇතිවෙනවා. ඒ කුමක් ද? සිතක ඇතිවන රාගය, ද්වේෂය, මෝහය, පාපය, පළිගැනීමේ චේතනා ඒ වගේම අකුසල චේතනා මෙන්න මේ වගේ දේ ඉවසන්නේ නැහැ. මේ සිතිවිලි සිතක ඉවසා තබා ගන්නේ නම් ඒ සිතට බලවත් වූ හානියක් සිදුවෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ගිහි වේවා, පැවිදි වේවා හොඳ ඉවසීමක්, හොඳ දරා ගැනීමක් ඇති කර ගැනීම අවශ්‍යය බවයි. ඒ, මේ සසර දුකින් නිදහස්වීම පිණිසයි. මේ සසර දුකින් නිදහස්වීමට කටයුතු සිදු කරනවා නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ, මේ ශාසනයේ යම් භික්ෂුවක් සීතල – උණුසුම සා – පිපාසාය, මැසි – මදුරු පීඩා මේ ජීවිතවලට කොච්චර නම් එනවානේ. මේ හැම දේකට ම ගැටි ගැටී. කිපි – කිපී ජීවත්වීමට සිදු වුවොත් ඒ පුද්ගලයාට ද්වේෂයෙන් නිදහස් වෙන්න අවස්ථාවක් නැහැ. තරහ සිතිවිලිවලින් නිදහස් වෙන්න අවස්ථාවක් නැහැ.

ඒ නිසා මේ දේ ජීවිතවලට පැමිණෙන විට ඉවසීම පුරුදු කරගෙන දරා ගැනීම පුරුදු කර මේ දේවල්වලින් බේරිමට ආරක්ෂාවීමට යමක් කළ යුතුයි. එසේ සිතිවිලි සකස් කර ගත්තත් මේ දේ ඉදිරියේ සිත ද්වේෂයට, රාගයට බැස ගන්නේ නැතිව පවත්වා ගන්න පුළුවන් නම් අන්න එයයි බුදුරජාණන් වහන්සේ අගය කරන ලද ඉවසීම යැයි පවසන්නේ.

ශාරීරිකව හට ගන්නා ඉතා දුක්ඛදායක, තියුණුූ වූ, රළු වූ, කටුක වූ ඉවසන්නම බැරි අමිහිරි නැතිනම් ජීවිතය නැති කර ගන්නට තරම් වේදනා හට ගන්නවා නම් ඒවා ඉවසන්න හැකි කෙනෙක් විය යුතුයි.

හඬා වැලපී, කෑ කෝ ගසා පලක් නැහැ. ඒ වගේම අන් අයට දොස් කීමෙනුත් ඵලක් නැහැ. මෙන්න මේ මට්ටමට ඉවසීම පුරුදු කළ යුතු වෙනවා. කවදා හෝ දවසක මේ සසර දුකින් අතමිදෙන ප්‍රතිපදාව වැඩෙන්නට නම් එසේ ඉවසීම පුරුදු කළ යුතුමයි.

එසේ නොමැති තැන ඉවසීම වෙනුවට වැඩෙන්නේ වෛරයයි. මානසික ගැටීමයි. අපේ මේ සමාජයේ සිතක් දූෂණය වෙන්නට කොපමණ නම් කරුණු තියෙනවා ද? සමාජයට අවශ්‍ය ආකාරයට, අන්‍යයන්ට අවශ්‍ය ආකාරයට අපේ සිත් දූෂණය කර ගන්නවා ද? නැති නම් මේ සුපිරිසුදු තථාගත ධර්මයට අනුව සිත පිරිසුදු කරගෙන ඉවසීම දරා ගැනීම ඇති කර ගන්නවා ද කියා ඔබම තීරණය කළ යුතුයි.

ඉවසීම නැති තැන ජීවිතය හරි ආකාරයෙන් පවත්වාගත නොහැකියි. පුංචිම කරුණක දී පවා ඉවසීම නැතිකම නිසා මනුෂ්‍යයා මොනතරම් අමාරුවේ වැටෙනවා ද? ඉවසීම දියුණු තරමට ජීවිතය ද දියුණුයි. ඒ වගේම යම් ජීවිතයක ඉවසීම දරාගැනීම පවතින්නේ නම් මේ ජීවිතය තුළදීම ධ්‍යාන, අභිජ්ජා, මඟඵල උපදවන්නට ද පුළුවන්.

එදා සෑගිරියේ පියංගු නම් ගල් ලෙනෙහි ලෝමසනාග නමින් මහා ස්වාමීන් වහන්සේ නමක් වැඩ සිටියා. උන්වහන්සේ හිම වැටෙන සීතල කාලයේ ලෝකාන්තරික නරකය සිහිපත් කරගෙන කර්මස්ථානය පුරුදු කරමින් භාවනා වඩනවා.

ඒ වගේම අව්ව වැටෙන කාලයේ මහා අවීචියේ තිබෙන ගිනිදැල් සිහිපත් කරගෙන භාවනා කරනවා. මෙය දුටු ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා, ස්වාමීන් වහන්ස, මේ සීතල තියෙන, සෙවණ තියෙන තැනකට වැඩම කර භාවනා කරන්න කියා. ඒ අවස්ථාවේ දී මේ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා,

ඇවැත්නි, මා මෙතැන වාඩි වුණේ උෂ්ණය බව දැනගෙනයි. සීත බව දැනගෙනයි. හේතුව නම් අපගේ ශාස්තෲන් වහන්සේ වදාළ ඒ උතුම් පිරිසුදු ධර්මය මනාව අනුස්මරණය කිරීම උදෙසායි. උන්වන්සේ මෙසේ ද ප්‍රකාශ කළා. මේ කුඩා සීතල කුමක් ද? ලෝකාන්තරික නිරයේ වැටුණහොත් මේ අව් රශ්මියේ උෂ්ණය කුමක් ද? අවීචි ගිනි දැල් අතරට වැටී පිච්චෙන්න වුණොත්. අන්න ඒ නිසා මම මේ සීතල උෂ්ණය ගණනකට ගන්නේ නැහැ. මේ හැම දේම ඉවසා ගෙන මම ඒ උතුම් ධර්මය අනුගමනය කරමින් භාවනා වඩනවා. එසේ භාවනා කළ උන්වහන්සේ මහ රහතන් වහන්සේ නමක් බවට පත් වූවා.

ඒ වගේම අතීතයේ එක් ස්ථානයක ස්වාමීන් වහන්සේ තිස් නමක් පමණ වස් සමාදන්ව වැඩ සිටියා. එක් පෝය දිනක රාත්‍රි කාලයේ බණ අසමින් සිටි ස්වාමීන් වහන්සේ නමකට ස්ර්පයෙක් දෂ්ට කරනවා. ඒ වේදනාව දරාගෙනම සර්පයා අල්ලා මල්ලකට දමා ගත්තා. ඒ අන් කාටවත් මේ සර්පයාගෙන් අනතුරක් වීම වැළැක්වීම සඳහායි. අන් ස්වාමීන් වහන්සේත් ආරක්ෂා කර ගෙන, තමන්ගේ වේදනාවත් ඉවසාගෙන භාවනා වැඩූ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව අවසානයේ අනාගාමී බවට පත්වූවා. මේ ආකාර ඉවසීමක් තබා ගන්නේ නම් පමණක් අපටත් මේ දුකෙන් නිදහස්වීමේ ගමනේ ඉදිරියට යා හැකි වේ.

මනුෂ්‍ය ජීවිතයකට ඇනුම් – බැණුම්, නින්දා – චෝදනා , අපහාස, ලාභ – අලාභ මේ ආදී වශයෙන් අටලෝ දහමට කවදත් මුහුණ දෙන්නට සිදුවනවා. ඒ නිසා ඒ දේ ඉදිරියේ සැලෙන්න, කම්පාවෙන්න එපා. හොඳ හිතක් ඇති කර ගෙන, කරුණාබර, හැඟීම් ඇති කර ගන්න. මෛත්‍රී සහගත කල්පනා ඇති කර ගන්න. ඒ වගේ ම කෝප නොවී ඉවසා දරාගෙන ජීවත් වෙන්න. එලෙස ජීවත්වන ඔබට ගුණ – ධර්ම සමුදායක් ඔබේ හදවතේ ඇති වේවි. ඒ ආකාරයෙන් ගොඩනැඟෙන ගුණධර්ම ඔබට ශාන්ත අමා නිවන් මඟ පසක් කර ගැනීමට උපකාර වනු ඇත.

බිනර  අමාවක

ඔක්තෝබර් 13 සිකුරාදා
අ.භා. 09.50 න් අමාවක ලබා 14 සෙනසුරාදා අ.භා. 11.24 න් ගෙවේ. 14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]