[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ආත්ම ගෞරවය නැති තැනැත්තාට කළ නොහැකි පාපයක් නැත

ආත්ම ගෞරවය නැති තැනැත්තාට කළ නොහැකි පාපයක් නැත

වර්ෂ 1964 දී පිටකොටුව බෞද්ධ සමිතිය මඟින් ප්‍රකාශිත බෞද්ධ ජීවිතය සඟරාවෙන් උපුටා ගැනිණි.

නමො තස්ස භගවතො
අරහතො සම්මා සම්බුද්ධස්ස

සීලෙන සුග්ගතිං යන්ති සීලෙන භොග සම්පදා
සීලෙන නිබ්බුතිං යන්ති තස්මා සීලං විසුද්ධයෙ

සීලය නම් හීලෑකම යි. උතුම් පිළිවෙතකින් තමාගේ සිත, කය, වදන විනීත කර ගනු ලැබීම සීලය යි. සීල යන පදයෙහි සීතල යවන තේරුමකුදු ඇත. ඒ කෙලෙස් ගිනි නිවන සිහිලක් නිසා ය. ගුණ දම් විසිර යාමට ඉඩ නොදී රැක ගැනීම් අර්ථයෙන් සීලය හිසක් වැනිය. හිස සුන් කල්හි ජීවිතය නොරඳන්නාක් මෙන් සිල් සුන් කල්හි ගුණධර්ම නැමති සිරුරක් ද නොරඳන්නේ ය.

එම සීලය තෙමේ චෙතනා සීලය, චෛතසික සීලය, සංවර සීලය, අව්‍යතික්‍රම සීලය යැයි සිව් වැදෑරුම් වේ.

චෙතනා සීලය” නම් ප්‍රාණඝාතාදී අකුසල කර්මයන්ගෙන් වෙන් වීමෙන් හා වත් පිළිවෙත් කිරීමෙන් සිත්හි ඇතිවන චේතනා සමුදායයි.

චෛතසික සීලය” නම් ප්‍රාණඝාතාදී අකුසලයන්ගෙන් වෙන්වන්නහුගේ සිත්හි පහළවන විරති චෛතසිකය යි. සම්මා වාචා – හොඳ වචනය, සම්මා කම්මන්ත – හොඳ කර්මාන්ත , සම්මා ආජීව - හොඳ දිවි පැවැත්ම හා අනභිධ්‍යා - විෂම ලෝභයෙන් වෙන්වීම, අව්‍යාපාද – කෝපයෙන් වෙන්වී මෙත් වැඩීම, සම්මා දිට්ඨි - දුක පිළිබඳ ඥානය, දුක හට ගැනීමට හේතුව පිළිබඳ ඥානය, දුක නැති කිරීම පිළිබඳ ඥානය, දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ ඥානය යන මේ ධර්මයෝ ද චෛතසික සීල නම් වෙත්.

සංවර සීලය වනාහි පාතිමොක්ඛ සංවරය, සති සංවරය, ඤාණ සංවරය, ඛන්ති සංවරය, විරිය සංවරය යැයි පස් වැදෑරුම් වේ.

පාතිමොක්ඛ යන්නෙහි ප්‍රධාන සීලය යන අර්ථයක් ගැනේ. මෙය භික්ෂූන් වහන්සේ ප්‍රධානකොට දේශනා වූවකි. පවට ලජ්ජාවී ආත්ම ගෞරවය උපදවා ශික්ෂා පද ආරක්ෂා කිරීම ප්‍රාතිමොක්ෂ සංවර නම් වේ.

සති නම් සිහිය යි. සිහිය වනාහි හොද්දට ලුනු මෙන් හැම තැන දී ම අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ වදාරා තිබේ. ඇස, කන, නාසය, දිව, ශරීරය යන මේ පඤ්චේන්ද්‍රියයන් පිනවීමට සියලු සත්වයෝ ම කැමැති ය. එහෙත් නිතර ගොදුරු සොය සොයා යන ඌරු, ගැරඬි ආදී සතුන් මෙන් ඉඳුරන් පිනවීමට ගොදුරු සොය සොයා යාම මනුෂ්‍යත්වය රැකෙන පරිදි ප්‍රවේශමින් ඉන් ප්‍රයෝජන ගත යුතුයි.

ඤාණ “ නම් නුවණයි. ලොව පවත්නා සියලු දේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් (විදර්ශනා ප්‍රඥාවෙන්) බලා බාහිර කෙලෙසුන් හා නො ඇලී සදොර රැකීම ඤාණ සංවරයයි.

ඛන්ති “ යනුවෙන් අදහස් කරන්නේ ඉවසීමයි. සංස්කාරයන් පිළිබඳ අපරාධ ඉවසීම ය. තමන් පිළිබඳ අපරාධ ඉවසීම ය. අනුන් පිළිබඳ අපරාධ ඉවසීම යැයි එය තෙවැදෑරුම් වේ.

අධික ශීත, ඌෂ්ණ ආදී ස්වභාවික කරුණූ හේතු කොට ගෙන සමහරු කිපෙති. තමන් පි‍්‍රය නොවන රූප, ශබ්ද, ආදියෙහි ගැටීමෙන් ද ගල්මුල්වල අත් පා හැපීමෙන් ද තවත් සමහරු කිපෙති. ඇතැම්විට තමන්ගෙන් ම තමන්ට වරද සිදුවේ. තමන් නිසා තමන්ට සිදුවන අලාභහානි ද තමන්ගේ ශරීරයෙහි හටගන්නා රෝග පීඩා ද සා පිපාසාදී දුක් වේදනා ද නිසා කිපෙන අය සිටිත්.

මේ සියල්ලට ම වඩා විවිධ විෂම ලෝකයෙහි නා නා විධ අධම පුද්ගලයන් නිසා නන්වැදෑරුම් කරදර නිසා කිපීමට අවස්ථා එළඹෙත්. මේ සියලු අවස්ථාවන්හි දී ලෝක ස්වභාවයත් තමාගේ වැදගත් තත්ත්වයත් ගැන සිතා නොකිපී ඉවසා නම් ඒ ඛන්ති සංවරය යි.

විරිය නම් උත්සාහය යි. මෙහිදී සතර සම්‍යක් ප්‍රධන් වීර්ය ගැනේ. උපන් කුසල් දියුණුූ කිරීමටත්, නූපන් කුසල් ඉපද වීමටත්, උපන් අකුසල් දියුණුූ නොවීමටත්, නූපන් අකුසල් මතු නොවීමටත්, උත්සාහ දැරීම මැනවි.

මෙසේ නුවණින් වීර්යය කිරීම විරිය සංවරයයි. මේ පස් වැදෑරුම් සංවරයෙන් යුක්තව ආත්ම ගෞරවය උපදවා පවින් වැළකී සිටීම සංවර සීලය නම් වේ.

අව්‍යතික්‍රම සීලය නම් සමාදන් වූ ශික්ෂාපද කයින් හා වචනයෙන් නොබිඳ ආරක්ෂා කිරීමයි. එය ද චාරිත්‍ර වාරිත්‍ර වශයෙන් දෙවදෑරුම් වේ.

කටයුතු වත් පිළිවෙත් පිරීම “වාරිත්‍ර සීල” නමි. නොකටයුතුª වූ පාප ධර්මයන්ගෙන් වැළකීම “චාරිත්‍ර සීල” නමි. සීලයාගේ ප්‍රභේද බොහෝය. ඒ සියල්ල මෙහිලා සඳහන් කිරීම අපහසු කාර්යයකි. විස්තර කැමැත්තවුන් විසින් විශුද්ධි මාර්ගයෙහි ශීල නිර්දේශය බැලීම මැනවි.

කෙටියෙන් සලකතොත් තථාගතයන් වහන්සේ වදාළ පරිදි සතුන් මැරීම් ආදී වැරැදි ක්‍රියාවන්ගෙන් වළකින්නහුගේ හෝ මනාව වත් පිළිවෙත් පුරන්නහුගේ සිත්හි පහළවන චේතනාදී ධර්මයෝ සීල නම් වේ.

බුද්ධාගමේ පරමාර්ථය කෙලෙස් නසා රහත්වීමයි. එය එක වරට ම කළ නොහැකි ය. ඒ සඳහා පිළිවෙළක් තිබේ. එබැවින් පළමුව සීලයෙහි පිහිටිය යුතුයි. එම සිල් බෙලෙන් සමාධිය ලැබේ. විදර්ශනා ප්‍රඥාව ලැබීමට සමාධිය උපකාර වේ. මෙසේ සීලයෙන් සමාධියත්, සමාධියෙන් ප්‍රඥාවත්, ප්‍රඥාවෙන් කෙලෙසුන් නසා සසරින් මිදීමේ බලයත් ලැබේ.

මෙම සීලය ආරක්ෂා වීමට හිරි – ඔතප් දෙක අවශ්‍ය ය. හිරි යනු ලජ්ජාවට නමකි. “කාය දුච්චරිතාදිහි හිරියති හිරි “ලජ්ජායෙතං අධිවචනං” යනුවෙන් ප්‍රකාශිත පරිදි කාය දුශ්චරිතාදියෙන් ලජ්ජා වීම හිරි නම් වේ. හිරිය හෙවත් ලජ්ජාව උපදින්නේ තමා අධිපති කොටගෙන ය. එහෙයින් “අත්තාධිපතෙය්‍යා හිරි” යැයි අටුවාවන්හි ප්‍රකාශ කරන ලද.

හිරිමත් තැනැත්තේ පවින් වැළකීමට කරුණුූ සතරක් තමා අධිපති කොට සිතයි. එනම් ස්වකීය පරපුර, වයස, සූරභාවය, දැන උගත්කම යන මේ කරුණුූ සතරයි. මේ කරුණු සතර සිතන්නහුට පව් කිරීමට ලජ්ජාවක් පහළ වේ.

යම් විටෙක පව, නපුරක් කිරීමට ප්‍රස්ථාව පැමිණි කල්හි මෙබඳු වරද කිරීම මා වැන්නකුට තරම් නොවේ යැයි සිතා ආත්ම ගෞරවය උපදවා ගැනුමෙන් ඒ වරදින් වළකින්නේ නම් හෙතෙම ලජ්ජා ඇත්තෙකි. මා වැනි උසස් පරපුරක උපන් කෙනකුට මෙවැනි වරදරක් කිරීමට නොහොබී. මගේ වයසේ හැටියට මෙය තරම් නොවේ. මගේ සූරභාවයේ හැටියට මෙවැනි පහත් දේ කිරීම නිවට කමෙකි. එපමණක් නොව මගේ උගත්කමට ද කැළලක් වේ යැයි සිතා ලජ්ජා ඇතිකොට වරදින් වැළකිය යුතුයි.

මෙම හිරිය හෙවත් ලජ්ජාව එක් තැනෙක්හි දී කුල කාන්තාවකට උපමා කොට තිබේ. කුලකත සිය දිවි ගියත් නොහොබනා දෙයක් කිරීමට නොසිතයි. එයට බිය වෙයි. තමාගේ ආත්ම ගෞරවයට කැලලක් නොවීමට වගබලා ගනී. එමෙන් ම හිරිමත් තැනැත්තේ තමා උසස් තන්හිලා සිතීමෙන් වරදින් වළකී.

හිරිය හෙවත් පාපයට ලජ්ජාව ඇති තැනැත්තේ “භද්‍ර අශ්වයකු” මෙනි. “හිරි නිසෙධො පුරිසො, අස්සො භද්‍රො කසාමිව‘ යනුවෙන් ඒ බව වදාරා තිබේ.

ආජානීය අශ්වයා සිය සැමියාගේ අදහස් දැන ඒ අනුව පිළිපදියි. කිසි දිනෙක කස පහර ලැබීමට ඉඩ නොතබයි. ස්වාමියා වේගයෙන් යාමට සතුටු වූ විට ඒ අදහස් දැන වේගයෙන් යයි. හෙමින් යායුතු අවස්ථාවෙහි හෙමින් යයි. සම ව යා යුතු තැන සම ව යයි. හැමවිට ස්වාමියාගේ අදහස් අනුගමනය කරන ඔහු කස පහරින් වළකී. මෙබඳු අශ්වයෝ ස්වල්ප දෙනෙක් ම වෙති. එමෙන් ම නින්දාවට ගොදුරු නොවී, ලජ්ජාව උපදවා, පව්කම්වලින් වැළකී වෙසෙන සත්පුරුෂයෝ ද ඉතා ස්වල්ප දෙනෙක් වෙත්. එහෙයින් මෙය සත්පුරුෂයන් සතු දුර්ලභ ධර්මයකි.

යමකු තුළ ලජ්ජා නොමැත්තේ නම් ඔහුට කළ නොහැකි අපරාධයක් නැත. ලජ්ජාව ලොවින් අතුරුදන් වූ දාට ශිෂ්ට සමාජය ද අතුරුදන් වේ. ශිෂ්ටත්වයේ මූලික පදනම විලි බිය දෙක බැවින් මෙය ලෝක පාලක ධර්මයකි. දේවත්වය පවා ලබා දෙන ධර්මයක් නිසා ද දෙවියන් අගේ කොට සලකන ධර්මයක් නිසා ද “දේව ධර්ම” යැයි කියනු ලැබේ.

පාපයෙහි ලජ්ජාවීම් සංඛ්‍යාත හිරි බලය යමකුට ඇත්නම් ඔහුට බිය වීමට දෙයක් නැත. එහෙයින් ලජ්ජාව බලධර්මයක් වශයෙන් ද වදාළ සේක.

යමකු තුළ පාපයට ලජ්ජාවීම් සංඛ්‍යාත වූ හිරි ධනය නොමැති නම්, හේ තිරිසනකු හා සමාන ය. එබැවින් විශේෂ මනුෂ්‍ය ධර්මයක් වූ මෙම උතුම් ගුණයෙහි පිහිටා පවින් වැළකීමට මහන්සි දැරීම මැනවි.

“ඔත්තප්ප” නම් කාය දුශ්චරිතයෙහි බියවන ස්වභාවයයි. පවිටු ක්‍රියාවක් කිරීමට සිත පෙළඹුණු විට බාහිර ලෝකයෙන් පැමිණෙන නින්දා කරදර ගැන සිතා පවට බිය වීමයි. එහෙයින් ම ඔත්තප්පය “ලෝකාධිපති ධර්මයකි.”

ඔත්තප්පය ගිනි ගුලියකට උපමා කළ හැක. ගිනි ගෙන දිලිසෙන ලෝහ ගුලියකට අත තැබූ විට පිළිස්සී දුකට පත්වෙති. ඒ බව දන්නහු එහි අත නොතබත්. එමෙන් ම පාපයට බියපත් තැනැත්තෝ සතර අපා දුකත් ලෝකාපවාදයත් සලකා වරදින් වළකිත්.

කුකුළු පිහාටුව ගිනිසිලුවට ළං කළ විට හැකිළෙන්නාක් මෙන් කාය දුශ්චරිතාදියෙහි බියව හැකිළෙති. සාමාන්‍ය ලෝක ව්‍යවහාරයෙහි පවතින “ලජ්ජාව සහ භය” සීලයක් හෝ ආර්ය ධනයක් වශයෙන් ගණන් ගනු නොලැබේ. ලජ්ජාව කුමක් දැයි හරිහැටි නොදන්නේ ගුණදම් පිරීමාදී යහපතෙහි පවා ඉදිරිපත් නොවෙයි. ඇතැම් විට “සභාවේ කතා කිරීමට ලජ්ජයි – සිල් සමාදන් වීමට ලජ්ජයි” කියමින් යහපතෙහි පසුබට වන්නෝ ද දකින්ට ලැබෙත්. මෙය ලජ්ජාව නොව සබකෝළය යි. එය දුර්වලකමක් මිස වැඩිය යුතු ගුණධර්මයක් නොවේ.

පවට බියවීම් සංඛ්‍යාත “ඔත්තප්පය” ද අගනා ධර්මයකි. එය වැඩිය යුතුයි. එහෙත් අයුක්තියට ධර්මයට, අසත්‍යයට කිසිසේත් බිය නොවිය යුතුයි. නිවැරැදි තැනැත්තේ කිසිවකුටත් බිය නොවෙයි.

කුඩා කල සිට ම සිය දරුවනට පව්කම් කිරීමට භය හා ලජ්ජාව උපදවනු මිස දෙවියකුට යකෙකුට හෝ බිය වීමට පුරුදු නොකට යුතුයි. ළමා කල සිට ම අභීත දරුවන් තැනීමට උත්සාහ දැරිම මවුපියන්ගේ යුතුකම ය. බොරු බිය ඉපදවීම මෝඩකමකි. එයින් සිදුවන්නේ ආත්ම ගෞරවයෙන් තොර පරපුරක් බිහි වීමයි. හිරි ඔතප් දෙකින් රකිනු ලැබූ නුවණට ආත්ම ගෞරවය යැයි කියනු ලැබේ. ආත්ම ගෞරවය උපදවා පාපයෙන් වළකින තැනැත්තෝ රහසිනිදු පව් නොකෙරෙති. ආත්ම ගෞරවයක් නැති තැනැත්තාට මෙලොව කළ නොහැකි පාපයක් නැත.

ආත්ම ගෞරවය රඳවා ගැනීමට නම් ස්ව සන්තානයෙහි උසස් ගුණ ඇති විය යුතුයි. තමා විසින් ම තමා ගරුතන්හි තබා සැලකීම ආත්ම ගෞරවයයි. හෘදය සාක්ෂියට එකඟ ව එසේ කිරීම හැමට ම පහසු දෙයක් නොවේ. තෙමේ ගරු කටයුත්තෙක් ද නැද්දැයි ඉතා හොඳින් දන්නේ තමා ම ය. මෙය කෙනකු විසින් වෙනත් කෙනකුට දිය හැකි හෝ ගත හැකි දෙයක්ද නොවේ. සිය සන්තානයෙහි තමා විසින් ම උපදවා ගත යුතු දෙයකි.

එහෙත් කුඩා කල සිට ළමා සිත්හි ආත්ම ගෞරවය වැඩීමට මඟ සැලසිය හැකියි. මවුපිය ගුරුවරාදීන් ආදර්ශවත් වීමත් නරක ආශ්‍රයෙන් ඉවත් කොට හොඳ ආශ්‍රය ඇති කර වීමත්, පරපුරේ වැදගත්කම් ගැන සිහිපත් කර වීමත්, තම රට,ජාතිය සතු උසස් දේ අගේ කොට සැලකීමට පුහුණු කරවීමත්, හොඳ පොත පත කියවීමත් ආත්ම ගෞරවය දියුණු කරවීමේ මාර්ගයෝ වෙත්.

මෙසේ හෙයින් ලොකු කුඩා, ගිහි පැවිදි කා විසිනුත් පාප භීරුකව ආත්ම ගෞරවය උපදවා ලජ්ජා භය සහිතව සීලයෙන් හා ගුණයෙන් පොහොසත් වීමට උත්සාහ දැරිය යුතුයි.

බිනර  අමාවක

ඔක්තෝබර් 13 සිකුරාදා
අ.භා. 09.50 න් අමාවක ලබා 14 සෙනසුරාදා අ.භා. 11.24 න් ගෙවේ. 14 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]