[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ආනන්ද තෙරුන්ගේ චිත්තප්‍රසාදයට අකැමැති වූ උදායී

ආනන්ද තෙරුන්ගේ චිත්තප්‍රසාදයට අකැමැති වූ උදායී තෙරුන් වහන්සේ


දවසක් ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අසලට ඇවිත් ආදරයෙන් වන්දනා කර එකත්පස්ව වාඩිවී අහනවා

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ‘සිඛී නම් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ, අභිභූ නම් භික්ෂුව බ්‍රහ්ම ලෝකයේ සිටිමින් සහස්‍රී ලෝක ධාතුවට කටහඬ අසන්නට සැලැස්සුවා’ කියලා දිනක් භාග්‍යවතුන් වහන්සේ වදාළා. එසේ නම් ස්වාමීනී, අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේට කොපමණ දුරකට කටහඬ පතුරුවා හරින්නට පුළුවන් ද?” කියලා.

එතකොට තථාගතයාණන් වහන්සේ වදාරනවා “ආනන්ද, ඒ ශ්‍රාවකයෙක්. නමුත් තථාගතයන් වහන්සේගේ හැකියාව ප්‍රමාණ කරන්නට බැහැ” කියලා.

මේ පිළිතුරෙන් ආනන්ද තෙරුන් වහන්සේ සෑහීමකට පත් වුණේ නෑ. දෙවැනි තෙවැනි වතාවටත් ඒක ම ඇහුවා. පසුව භාග්‍යවතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අසනවා “ආනන්ද, ඔබ සහස්‍රී චූලනිකා ලෝක ධාතුව ගැන අහලා තියෙනව ද?” කියලා.

ආනන්ද හිමියන්

“භාග්‍යවතුන් වහන්ස, මේ ඒ ගැන දේශනා කිරීමට සුදුසු කාලය යි. සුගතයන් වහන්ස, මේ ඒ ගැන දේශනා කිරීමට සුදුසු කාලය යි. භාග්‍යවතුන් වහන්සේ යමක් වදාරන සේක් නම්, භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූන් එය මතක තබාගන්නවා ම යි” කියලා භාග්‍යවතුන් වහන්සේට පවසනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරන්නට යෙදෙනවා.

“ආනන්ද, යම්තාක් සඳු හිරුගේ ගමන් මඟ තිබෙනවා නම්, දිශාවන් බබළනවා නම්, ඒ තාක් තැන් සහස්‍රී ලෝක ධාතුව යි. ඒ සහස්‍රී ලෝක ධාතුවෙහි, දහසක් චන්ද්‍රයන් තියෙනවා. දහසක් සූර්යයන් තියෙනවා. දහසක් සිනේරු පර්වත තියෙනවා. දහසක් දඹදිව් තියෙනවා. දහසක් උතුරුකුරු දිවයින් තියෙනවා. දහසක් පූර්ව විදේහයන් තියෙනවා. හාරදහසක් මහා සමුද්‍රයන් තියෙනවා. හාරදහසක් මහා රාජයන් ඉන්නවා. දහසක් චාතුම්මහාරාජික තියෙනවා. දහසක් තව්තිසාවන් තියෙනවා. දහසක් යාමයන් තියෙනවා. දහසක් තුසිතයන් තියෙනවා. දහසක් නිම්මාණරතීන් තියෙනවා. දහසක් පරනිම්මිතවසවත්තීන් තියෙනවා. දහසක් බ්‍රහ්මලෝක තියෙනවා. පින්වත් ආනන්ද, මේකට තමයි කියන්නේ ‘සහස්‍රී චූලනිකා ලෝක ධාතුව’ කියලා”

ඉහතින් සඳහන් කරපු සහස්‍රී චූලනිකා ලෝක ධාතු දහසක් එකතු වුණා ම අන්න ඒකට කියනවා “ද්විසහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතුව” කියලා. අන්න ඒ වාගේ ද්වි සහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතු දහසක් එකතු වෙලා හැදෙන ලෝක ධාතුවට කියනවා “තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුව” කියලා.

තථාගතයාණන් වහන්සේ ආනන්දයන් වහන්සේට දේශනා කරනවා “පින්වත් ආනන්දය, තථාගතයන් වහන්සේ කැමැති නම්, තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවට ම ඇසෙන්නට කතා කරන්නට පුළුවන්. තවත් කැමැති නම් එයටත් එහා කටහඬ අසන්නට සලස්වන්න පුළුවන්” කියලා.

එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවට ස්වරය අසන්නට සලස්වන්නේ කොයි ආකාරයෙන් ද? තවත් එහාට වුණත් කැමැති සේක් නම් ස්වරය අසන්නට සලස්වන්නේ කොයි ආකාරයෙන් ද?” කියලා.

තථාගතයන් වහන්සේ

“ආනන්ද, මුලින් ම තථාගතයන් වහන්සේ විසින් තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවට ආලෝකයක් පතුරුවනවා. එතකොට එහි සිටින සත්වයන් ඒ ආලෝකය හඳුනාගෙන එදෙසට අවධානය යොමු කරනවා. අන්න එවිට තථාගතයන් වහන්සේ බ්‍රහ්ම ඝෝෂය කරනවා. ශබ්දය අසන්නට සලස්වනවා. පින්වත් ආනන්දය, ඔය ආකාරයටයි භාග්‍යවතුන් වහන්සේ තිසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවට ස්වරය අසන්නට සලස්වන්නේ. තවත් එහාට වුණත් කැමැති සේක් නම් ස්වරය අසන්නට සලස්වන්නේ” කියලා දේශනා කරනවා.

භාග්‍යවතුන් වහන්සේ මේ ආකාරයට දේශනා කළ විට ආනන්ද තෙරුන් වහන්සේගේ සතුට නිම් හිම් නැති වෙනවා. ඇඟ ලොමුදැහැ ගන්නවා. චිත්ත සන්තානය තුළ ශාස්තෘන් වහන්සේ පිළිබඳ මහා පුදුම ශ්‍රද්ධාවක්, චිත්තප්‍රසාදයක් ඇති වෙනවා. ඒ නිසා ම ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ට මෙසේ පවසනවා.

“මාගේ ශාස්තෘන් වහන්සේ මෙවැනි මහා ඍද්ධි ඇති සේක් ද?, මෙවැනි මහා ආනුභාව ඇති සේක් ද?, එය වනාහී ඒකාන්තයෙන් ම මට ලාභයක් ම යි. ඒකාන්තයෙන් ම මට ඉතා යහපත් ලැබීමක් ම යි” කියලා.

මෙසේ පවසන විට ඒ අසල සිටිනවා “උදායී” කියලා එක්තරා භික්ෂූන් වහන්සේ නමක්. මේක මේ උදායී තෙරුන්ටත් ඇසෙනවා. ඒ නිසා උදායී හාමුදුරුවන් වහන්සේ ආනන්ද තෙරුන්ට කියනවා

“හා හා ආනන්ද ඔබ කලබල වෙන්න එපා. මොකද ඔබගේ ශාස්තෘන් වහන්සේට මේවගේ මහා ඍද්ධියක් තිබ්බාට, මෙවැනි මහා ආනුභාවයක් තිබ්බාට ඔබට එහෙම නෑ. ඔබ කවුද? ඔබට මොනාද කරන්න පුළුවන්” කියලා.

උදායි ස්වාමීන් වහන්සේගේ මේ කතාව භාග්‍යවතුන් වහන්සේටත් ඇසෙනවා. එවිට භාග්‍යවතුන් වහන්සේ

“උදායි, එහෙම කියන්න එපා! උදායි එහෙම කියන්න එපා! උදායී, ආනන්දයන් රාගය ප්‍රහාණය නොකරන්නේ වූ කළුරිය කරනවා නම්, ඔය ඇති වූ චිත්තප්‍රසාදය හේතු කරගෙන ම සත් වරක් දිව්‍ය ලෝකයෙහි උපදින්නටත්, මේ දඹදිව් තලයේ ම සත් වරක් මහා රාජ්‍යය කරන්ටත් පුළුවන් වෙනවා. නමුත් උදායි, ආනන්දයන් මේ ජීවිතයේ දී ම පිරිනිවන් පානවා.” කියලා දේශනා කරනවා.

ඒවාගේම මේ කතාවෙන් අපට ජීවිතයට ගන්න තව පණිවුඩයක් තියනවා. ඒ තමයි වර්තමානයේ කතාවක් තියනවා බුදුරජාණන් වහන්සේගේ අත්භූත කාරණා, ආශ්චර්යවත් හැකියාවන් ගැන කිය කිය හිටියාට වැඩක් වෙනවා ද? කියලා. මේ වගේ දෙයක් තමයි උදායි හාමුදුරුවන් වහන්සේත් ආනන්දයන් වහන්සේට කිවුවේ. ආනන්දයන් වහන්සේගේ චිත්තප්‍රසාදය නැති කරන්න, අඩු කරන්න තමයි ඒ භික්ෂුව කතා කළේ. නමුත් අවසානයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දෙයින් අපට හිතා ගන්න පුළුවන් ඒ ඇතිවුණ චිත්තප්‍රසාදයේ තිබෙන වටිනාකම.

යම් කෙනෙක් ඔබ අසලට ඇවිත් ධර්ම දේශනාවක් සම්බන්ධයෙන් වේවා, භාග්‍යවතුන් වහන්සේගේ අත්භූත කාරණයක්, ආශ්චර්යවත් හැකියාවක් සම්බන්ධයෙන් වේවා, නැති නම් වෙනයම් කරුණක් සම්බන්ධයෙන් හෝ වේවා චිත්තප්‍රසාදයෙන් කතා කරනවා නම් ඔබ එය කිසිලෙසකින්වත් නවත්වන්නට යන්න එපා. මොකද එය ඔබට අහිත පිණිස පවතීවි.

එනිසා ලෝකවිදූ ගුණයෙන් වැඩසිටි අපගේ ශාස්තෘන් වහන්සේගේ ආශ්චර්වත් කාරණා පිළිබඳ ඇසෙන විට ඒ පිළිබඳ ව සිත යොමු කරගෙන චිත්ත සන්තානය තුළ චිත්තප්‍රසාදයක් ඇති කර ගන්න . එය ඔබට හිතසුව පිණිස ම පවතිනවා නො අනුමාන යි.

බිනර  අව අටවක

ඔක්තෝබර් 06 සිකුරාදා පූ.භා. 06.37 න් අව අටවක ලබා 07 සෙනසුරාදා පූ.භා. 08.11 න් ගෙවේ.
06 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]