[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර අව අටවක පෝ දා 2023-10-06

ළමයා රැක ගනිමු

මත්ද්‍රව්‍ය භාවිතය හා එහි භයානක ආදීනව පිළිබඳ නිරන්තර දැනුම්වත් කළ ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කොට, ඊට පිළියම් සෙවීම සාධනිය මට්ටමක ඇති බවක් පෙනෙන්නට නැත. මෑත ඉතිහාසය දක්වා ම මෙවැනි දුරාචාර වර්ධනය වූයේ බොහෝ විට නගරයේ ය. එහෙත් වර්තමානය වන විට ඈත දුර බැහැර ගම්දනව්වල පවා මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙමින් පවතින බව බොහෝ සෙයින් අසන්නට දකින්නට ලැබේ.

මේ තත්ත්වය මෙ පරිදි ම සිදුවන්නට හැරියේ නම් රටක්, ජාතියක් ලෙස අපට මුහුණ දෙන්නට සිදුවන්නේ ඉතා භයංකර තත්වයකට ය.

පසුගියදා මහනුවර ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ගිහාන් අබේවර්ධන මහතා ‘මත් උවදුරින් රට බේරා ගනිමු’ මැයෙන් මහනුවර ශ්‍රී පුෂ්පදාන සමිති ශාලාවේදී පැවැති වැඩසටහනකට සහභාගි වෙමින් කළ ප්‍රකාශය මත්ද්‍රව්‍ය භාවිතය නිසා විනාශයට යන අපේ ළමා පරපුර ගැන නැවත නැවත සිතන්නට, ඊට ඉක්මන් විසඳුම් ක්‍රියාත්මක කරන්නට කරන ඉතා වැදගත් පෙළඹවීමකි.

ඒ මහතා පෙන්වා දෙන පරිදි සිසේරියන් සැත්කමකට ලක් වූ මවකට වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන වේදනා නාශක ඖෂධ ප්‍රමාණය මෙන් පස් ගුණයක් වේදනා නාශක බී මත්වන පාසල් දරුවෝ අපේ රටේ වෙති. වෛද්‍යවරයා දක්වා තිබූ අදහස්වලට අනුව කලක පටන් මෙම ප්‍රබල වේදනා නාශක අධිමාත්‍රාවක් ගැනීමෙන් මේ දරුවන්ට වලිප්පුව අපස්මාරය හා සමාන රෝග ලක්ෂණ මතුවේ. මවුපියන් එලෙස සිතා දරුවන් රෝහල් ගත කළත් පරීක්ෂා කිරීමේ දී හෙළි වන්නේ වේදනානාශක අධි මාත්‍රාවක් ගැනීමෙන් මේ රෝග ලක්ෂණ මතුව ඇති බව ය.

මෙම අදහස් ප්‍රකාශය තුළ අපට සිතන්නට බොහෝ දේ ඉතිරි කර තිබේ. දරුවන් මෙවැනි තත්ත්වයට පත්වන තුරු මව්පියන්ට දරුවන් මඟ හැරුණේ කෙසේද යන්න එක් කාරණයකි. මෙවැනි ඖෂධ දරුවන් අතට පත්වන්නේ කෙසේද යන්න තවත් කාරණයකි. දරුවන් මතට ලොල්වන තුරු සමාජයේ ඇස ඔවුන් වෙත යොමු නොවෙුණේ ඇයිද යන්න තවත් ප්‍රශ්නයකි. මේවාට සාධනිය පිළිතුරු සොයා ගත යුත්තේ ද අප විසින් ම ය.

අද ළමා වියේ පසුවන දරුවන් හෙට රටේ අනාගතයයි. යම් හෙයකින් ඔවුන් කායික ව, මානසිකව දුර්වල වූයේ නම් රටේ අනාගතය ම කඩා වැටීම නොවැළැක්විය හැකි ය. එක පැත්තකින් මත්ද්‍රව්‍යය භාවිතයට හුරු වූ ළමයා නුදුරු අනාගතයේ ම රෝගියෙකි. අනෙක් පසින් ඔහුගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම වැළැක්විය නොහැකි ය. මවුපියන්ගේ අපමණ බලාපොරොත්තු සුන් කරමින් තමන්ගේ ජීවිතය විනාශ කර ගන්නා ඔහුගේ කාර්යභාරය අවසන් කරන්නේ සමාජයට ම පිළිලයක් වෙමිනි.

තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ මනුෂ්‍යයාගේ වටිනා ම සම්පත දරුවන් වන බව ය. ඒ දරුවන්ට කවා පොවා කරදඬු උස්මහත් කිරීම, පොතපතේ දැනුමෙන් පොහොසත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. දරුවා යහමඟ යැවිය යුතු ය. හොඳ නරක තෝරාබේරා ගන්නා හැටි කියා දිය යුතු ය. දරුවන් බිලිගන්නට බලා සිටින බියකරු බලවේගවලින් ඔවුන් ආරක්ෂා කර ගත යුතු ය. එහි වගකිවයුත්තෝ පළමු කොට මව්පියන් ය.

බුදුරජාණන් වහන්සේ ගිහියාට අනුදැන වදාළ පංචශීල ප්‍රතිපදාවේ පස්වැනි සිල්පදය සුරාපානයෙන් වැළකී සිටීම ය. අද ළමා වියේ පසුවන්නන් පවා මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වී එම සිල් පදය බිඳ දමනවා නම් සමාජයක අනාගතය ගැන කතා කිරීම පවා අපහසු වනු ඇත.

බොදු මඟ යන්නෝ හැඩගැසිය යුතු ධර්මානුකූලව ය. විශේෂයෙන් මව්පිය වැඩිහිටියන් කුඩාවුන්ට ආදර්ශවත් විය යුතු ය. ඔවුන් ගැන සොයා බැලිය යුතු ය. පන්සලට, දහම්පාසලට දරුවන් යොමු කළ යුතු ය. ඇසුරු කරන අය ගැන අවදියෙන් සිටිය යුතු ය. එවිට ළමයා රැකෙනු ඇත. රටේ අනාගතය ද රැකෙනු ඇත.

බිනර  අව අටවක

ඔක්තෝබර් 06 සිකුරාදා පූ.භා. 06.37 න් අව අටවක ලබා 07 සෙනසුරාදා පූ.භා. 08.11 න් ගෙවේ.
06 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]