[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඓතිහාසික උරුමයක විශිෂ්ටත්වය කියන මාකූර පුරාණ රාජ මහා විහාරය

ඓතිහාසික උරුමයක විශිෂ්ටත්වය කියන මාකූර පුරාණ රාජ මහා විහාරය

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙට්ටිමුල්ල ගම්මානයට නුදුරු මාකූර නම් ඉසව්වෙහි නිල්වන් ගොයමින් මිහිකත සිපගත් කෙත් යායක් ද, සුන්දර වනස්පතීන්ගෙන් සැරසුණු මනරම් භූමි භාගයක්, ආශ්‍රය කර ගත් මාකූර ටැම්පිට රාජමහා විහාරය නගරයට දුර නොවූත් ළඟ නොවූත් ස්ථානයක විරාජමාන ව බැබළෙන්නේ ය.

මෙම ඓතිහාසික ටැම්පිට විහාරය මැකී ගිය ඉතිහාසයක් අදට පෙන්වන්නේ ඉන්ද්‍රනීල බෝධි රාජයාගේ සෙවණහි සිට ය. කෙසේ වෙතත් අතීත ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතික ධනස්කන්ධයට එක් කළ හැකි මෙම විහාරස්ථානය අද වෙනුවෙන් තිළිණ වූ අනුරාධපුර යුගයේ කලා මහිමයක් බව පෙන්වා දිය හැකි සාක්ෂ්‍ය රාශියක් එබිම මිහිදන් කරගෙන සිටින බව හෙළිදරව් කිරීමට කාලය පැමිණ ඇත.

ගනේගොඩතැන්න නම් වන සොඳුරු කඳු අරණෙහි ඇති සුන්දරත්වය නිසාම ඒ වෙත ජනකාය ඇදී ආ බව එකී ගම් ප්‍රදේශයේ වාසය කරන වැසියන් දරා සිටින මතයකි. අනුරාධපුරයේ රාජධානි කාල සමයක දී මෙම ප්‍රතාපවත් හෙළ උරුමය ජන සතු වූ බව ඉන් ලැබෙන සාක්ෂ්‍යවලින් අනාවරණය වන සත්‍යයකි. කෙසේ වෙතත් මෙම ටැම් විහාරය නඟා සිටුවා තිබෙන්නේ ගල් කණු 7කිනි. එය මත දැවයෙන් ගොඩනඟන ලද මෙම විහාරයේ අතීත කතාව ඉතා රසවත් එකකි. ඒ සිද්ධිය මෙසේ ද ඉදිරිපත් කළ හැකිය. මෙරට ගනේගොඩතැන්න ගම්මානයේ රෝපණය කිරීම සඳහා බමුණන් කිහිප දෙනෙකු විසින් පාත්‍රයක සිටුවාගත් ඉන්දියාවෙන් රැගෙන ආ බෝධි ශාඛාවක් වඩමවමින් සිටින අතරවාරයේදී මෙම මාකූර නම් ගම් පියස්සට සේන්දු වී ඇත. රැය දෙවනත් කරමින් වට වැස්සේ බෝධීන් වහන්සේත් සමඟ වැවෙන් එතෙර වීම සුබදායක නැතැයි සිතූ බමුණු පිරිස මාකූර දනව්වෙහි වැස්ස සැඟවී යනතුරු නැවතුණු බවත් වැස්සෙන් අනතුරුව බමුණන් පිරිස බෝධීන් වහන්සේ වැඩමවීමට සූදානම් වූ අවස්ථාවෙහි බෝධින් වහන්සේ වෙන් කළ නොහෙන ලෙසින් එහි රෝපණය වූ බවත් මෙකී ප්‍රවෘත්තියෙහි ඇත. එබැවින් ගනේගොඩතැන්න නම් වූ වැවෙන් එපිට කඳුපිටියෙහි රෝපණය කරන්නට දින වකවානු සූදානම් කළ වළගම්බා රජු ඉන් අනතුරුව එතැන ඉදි කිරීමට සිතා සිටි විහාරස්ථානය මෙම ස්ථානයෙහි ගොඩනැංවූ බවත් එදා මෙදාතුර මාකූර ටැම්පිට රජ මහා විහාරය ලෙස හඳුන්වන්නේ එම විහාරස්ථානය බවත් සිහිපත් කරමි.

එවන් වූ විශිෂ්ට දායාදයක ප්‍රශස්ත වූ අවශේෂයන් බොහොමයක් එම විහාරස්ථානය අභිමුව තිබී සොයාගෙන ඇති අතර ඉන් වැදගත්ම ස්ථානයක් හිමි වන්නේ සමාධි පිළිම වහන්සේ තුන් නමටය. මැද්දෙහි වැඩ හිඳීන තරමක් විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙන්ම දෙපස සිට බැලූ බැලූවන්ගේ නෙත් සිත් නිවාලන මෙම සුන්දර පිළිම වහන්සේලා සැබැවින්ම එහි ඇති ඓතිහාසික අගය නිරූපණය කරයි. එමෙන්ම මෙහි චිත්‍රවලින් නිරූපණය වන්නේ සූවිසි විවරණ පූජාව බව සනාථ වේ. මෙම හෙළ උරුමය පිළිබඳ මාකූර ටැම්පිට රාජ මහා විහාරාධිකාරී ගජනායකගම සුබෝධි හිමියන්ගේ වදන් මෙලෙසින් අකුරු කරමි.

මේ විහාරෙ වටේටම අලංකාර චිත්‍ර ඇඳල තියෙනවා. ඒවායේ කලා ලක්ෂණ ගැන බැලුවම මහනුවර යුගයෙ චිත්‍ර කියල තමා දැනට පුරාවිද්‍යාවෙන් පිළිගන්නේ. අවාසනාවට දැන් ඒ චිත්‍ර සේරම අපැහැදිලි තත්ත්වෙක තමා තියෙන්නෙ. මේ පුරාණ ටැම්පිට විහාරෙ දොරපියන් හතරක් තියෙනවා. මේ විහාරෙ වැඩ ඉන්න සමාධි පිළිම වහන්සේලා තුන් දෙනා එකම සමාන ලක්ෂණ පෙන්නනවා. ඒ වගේම මෑතකදි කරපු කැනීම්වලින් කළු ගලින් කරවපු සමාධි පිළිමයක් වගේම උස අඩි දෙකයි, පළලින් අඩි එක හමාරක් වෙච්ච ලස්සන මකර තොරණකුත් හොයා ගත්තා. ඒ විතරකුත් නෙවේ ඔය බමුණො ඉන්දියාවෙන් වඩමවාගෙන ඇවිත් එතෙර වෙන්න බැරුව මෙතන නැවතුණයි කියන වැවේ කොටසුත් අන්න අර එහා පැත්තෙ දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔය කියන කරුණු කාරණා තමයි මේ ටැම් පිට විහාරෙ ගැන කියන්න තියෙන්නෙ. ඒත් දැන් ඉන්න ළමයි ගොඩක් දෙනෙක් මේවායෙ වටිනාකම ගැන දන්නෙ නෑ. දන්න කියන තුන් හතර දෙනා නැති වෙලා ගියහම මේ දේවලුත් ඉස්සරහට දන්න කියන කෙනෙක් නැති ගානට එයි...” යනුවෙන් කරුණු ඉදිරිපත් කළ උන්වහන්සේ අවසාන වචන කිහිපයෙහි සඳහන් කරන ලද සනිටුහන එසේ වීමට නොදී මෙම ශ්‍රේෂ්ඨ හෙළ උරුමය රැක ගැනීම සඳහා නිහඬ හදවත් අවදි කරනු පිණිස ලියා තබමු.

බිනර  පුර අටවක

සැප්තැමිබර් 22 සිකුරාදා අ.භා. 01.32 න් පුර අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 12.15 න් ගෙවේ. 22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]