[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අඩසියවසක් සපුරන කීර්තිමත් ධර්ම විද්‍යාලය තුම්බෝවිල සාධු දහම් පාසල

අඩසියවසක් සපුරන කීර්තිමත් ධර්ම විද්‍යාලය තුම්බෝවිල සාධු දහම් පාසල

පිළියන්දල, තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරස්ථ සාධු දහම් පාසල ආරම්භ කොට සැප්තැම්බර් 30 වැනි දිනට වසර පනහක් සම්පූර්ණ වේ. ඒ නිමිත්තෙන් සැමරුම් උත්සවය සැප්තැම්බර් මස 30 වැනි දින පැවැත්වේ


ප්‍රධානාචාර්ය තුම්බෝවිල ධම්මරතන නාහිමි

බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ සල්පිටි කෝරළයේ පල්ලේපත්තුවේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවට අයත් පිළියන්දල තුම්බෝවිල ග්‍රාමය බෝධීන් වහන්සේ තුන් නමක් සහ විලක් පිහිටි හෙයින් එම නම් ලද බව පිළිගැනීම යි.

බෝධීන් වහන්සේ තුන් නම පිහිටි පෙදෙසට ඇතුළු වූ දොරටුව යන අරුත් දෙන බෝතුන්දොර හෙවත් බෝකුන්දර මංසන්ධියෙන් හැරී ගිය විට හමුවන තුම්බෝවිල ග්‍රාමය විශාල ප්‍රදේශයක පැතිර පවතී.

තුම්බෝවිල ශ්‍රී සද්ධර්මාරාම පුරාණ විහාරය සහ මාවනැල්ල උඩපමුණුව බණගේතැන්න රාජමහා විහාරය යන උභය විහාරාධිපති ව වැඩ විසූ, කොළඹ සල්පිටි කෝරළයේ ද්විතීය අධිකරණ සංඝනායක, දේශීය වෛද්‍යශූරී පදවිගම්පොල ගුණානන්ද නාහිමිපාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යයෙන් විහාරස්ථානයේ ත්‍රිවිධ චෛත්‍යය ඇතුළු පූජනීය ගොඩනැඟිලි ඉදි වුණු අතර, 1960 දශකයේ දී දහම් පාසලක් ද ආරම්භ කරන ලදී. කල් යාමේ දී එම දහම් පාසල අභාවයට ගොස් තිබේ.

විහාරස්ථ දායක සභාව විසින් සම්මත කළ යෝජනාවකට අනුව නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි විශ්‍රාමලත් විදුහල්පති සී. ඩී. කොළඹගේ මැතිතුමා විසින් 1973 සැප්තැම්බර් මස 30 වැනි දින තුම්බෝවිල සාධු දහම් පාසල ආරම්භ කරන ලදී.

එතැන් සිට දිනෙන් දින දියුණුවට පත් තුම්බෝවිල සාධු දහම් පාසල මේ වන විට සහස්‍රාධික ශිෂ්‍ය පිරිසක් අධ්‍යාපනය ලබන කීර්තිමත් ධර්ම විද්‍යාලයක් බවට පත් වී තිබේ. වර්ෂ 1987 නොවැම්බර් මස 22 වැනි දින ප්‍රධානාචාර්යතුමාගේ අභාවයෙන් පසු දහම් පාසලේ වගකීම් ද, 1993 අප්‍රේල් 16 වැනි දින විහාරාධිපති නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් පසු විහාරස්ථානයේ වගකීම් ද දරා ගනිමින් දහම් පාසල දිනෙන් දින ඉදිරියට ගෙන යාමේ වගකීම වර්තමාන ප්‍රධානාචාර්ය තුම්බෝවිල ධම්මරතන නාහිමිපාණන් වහන්සේ විසින් භාර ගන්නා ලදී.

ගුණ නැණ සපිරි දරු පෙළක් බිහි කිරීමේ පරමාර්ථයෙන් යුතුව විෂයය සමගාමී හා විෂයය බාහිර ක්‍රියාකාරකම් ඔස්සේ සිසු දරුවන්ගේ ආධ්‍යාත්මික ගුණවගාව ඉහළ නැංවීම පිණිස සිදු කෙරෙන ක්‍රියාකාරකම් බොහෝ ය. ප්‍රධානාචාර්ය හිමියන්ගේ අදහසකට අනුව 2015 පෙබරවාරි 15 වැනි දින ඉංග්‍රීසි මාධ්‍ය අංශයක් ද ආරම්භ කරන ලදී.

තුම්බෝවිල සාධු දහම් පාසල ආරම්භ කොට පනස් වසරක් සපිරීම නිමිත්තෙන් සිදු කෙරෙන සැමරුම් උත්සවය 2023 සැප්තැම්බර් මස 30 වැනි සෙනසුරාදා සවස 3.00 ට මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක, සාහිත්‍ය චක්‍රවර්තී, මහාසද්ධම්මජෝතිකධජ ආචාර්ය නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මෙම අවස්ථාවට විද්‍යාලංකාර පරිවේණාධිපති වැලමිටියාවේ ඤාණරතන නාහිමි, සිතුල්පව්ව රාජමහා විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමි, අත්තනගල්ල රාජමහා විහාරාධිපති ආචාර්ය පන්නිල ආනන්ද නාහිමි, මහාචාර්ය කුඹුරුගමුවේ වජිර හිමි, අතපත්තුකන්දේ ආනන්ද නාහිමි, ඔලබොඩුවේ ධම්මික නාහිමි, මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි, බලපිටියේ සිරිසීවලී නාහිමි ඇතුළු මහා සංඝරත්නය, ශ්‍රී ලංකාවේ මියන්මාර් තානාපතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගී වීමට නියමිත ය.

බිනර  පුර අටවක

සැප්තැමිබර් 22 සිකුරාදා අ.භා. 01.32 න් පුර අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 12.15 න් ගෙවේ. 22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]