[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ණය නැති බව සැපයකි

ණය නැති බව සැපයකි

පුද්ගලයකු සිය භෞතික අවශ්‍යතා සපුරා ගනිමින් සුඛිත, මුදිත මෙලොව ජීවිතයක් ගත කිරීම බුදුසමය කවර ලෙසකින්වත් පිටුදකින්නේ නැත. ඒ වූ කලි මානව අවශ්‍යතාවකි. එසේ භෞතික වශයෙන් අවශ්‍ය සංවර්ධනයක් නැතිවීම දිළිඳුකමයි.

එය ගෘහ ජීවිතය ගත කරන්නාට මහත් දුකකි. ඉන් අත්මිදෙනු පිණිස අදාළ මඟ පෙන්වීම ද බුදුදහමේ ඇතුළත් ය. මිනිසාට නිබඳව ම වැළඳෙන මහා රෝගය නම් කුසගින්න ය. ලොව සියලු සත්ත්වයෝ අහරින් ම යැපෙති. ඒ මෙකී මහා රෝගය සුව කර ගැනීමට ය. ආහාර මෙන්ම සෙසු භෞතික අවශ්‍යතාවන් ද සපුරා ගැනීමට නොයෙක් නයින් සැපයෙන අතිශයින් ප්‍රායෝගික වූ සදූප දේශයන්ගෙන් බුදුදහම පොහොසත් ය.

මූලික අවශ්‍යතා සම්පූර්ණ නොවූ, මෙලොව වශයෙන් තෘප්තිමත් නොවූ පුද්ගලයකුට ආධ්‍යාත්මික සදාචාරාත්මක දියුණුව ද, පරලොව සුගතිය ද, නිර්වාණ සංඛ්‍යාත විමුක්ති ලාභය ද උදාකර ගත හැකි යැයි බුදුසමය පිළිගන්නේ නැත. ප්‍රමාණවත් ආර්ථික සංවර්ධනයකින් තොරව ආධ්‍යාත්මික සංවර්ධනයක් වෙත ළඟාවිය නොහැකි බව බුදුසමය පෙන්වා දෙයි. එම සංවර්ධනය වූ කලි අවශ්‍යයෙන් ම ලෞකික වශයෙන් සැපවත් දිවිපැවැත්මක් උදෙසා ය. බුදුරදුන් වදාළ පරිදි තමාට ප්‍රමාණවත් තරම් ධනය ඇතැයි තෘප්තිමත් වීම සැපයකි.

උත්සාහයෙන් උපයා ගත්, විවිධ උවදුරුවලින් රැක ගත් කලණ මිතුරු ඇසුරින් වඩා වවාගත් ධනය තමාගේ මෙන්ම මාපිය අඹු දරු ආදීන්ගේ ද පරිහරණය පිණිස ම වන්නේ ය. එසේ විධිමත්ව මනා කළමනාකාරිත්වයකින් ධනය පරිහරණය කිරීම ද ගිහි බෞද්ධයාගේ දෙලොව පිරිහීම වළකාලයි. අභිවෘද්ධිය ද ඇති කරයි. එහිලා කෙසේ ක්‍රියා කළ යුතු දැයි පෙන්වා දෙන අවස්ථා රාශියක් ද, බුද්ධ ධර්මය තුළ දැක ගත හැකි ය.

දෙලොව අභිවෘද්ධිය සලකා ගන්නා ගිහියකු විසින් කෙලෙස ක්‍රියා කළ යුතු දැයි උගන්වා වදාළ සුප්‍රකට බුද්ධ දේශනාවට අනුව ධනය පරිහරණය කළ යුත්තේ සමජීවිකතාවයෙනි. එනම් සිය අය හා වැය පිළිබඳ නිසි අවදිකමින් යුක්තවයි. එසේ ක්‍රියාකිරීම මෙලොව දියුණුවට හේතු වන්නේ ය. අය ඉක්මවා වැය නොකළ යුතු ය. අය වැය සමව පවත්වා ගත යුතු ය. අය ඉක්මවා වැය කරන්නාට දියුණුූ විය නොහැකි ය. ඔහුට ණය වීමට ද සිදුවෙයි. ණය බරින් තොර වීම සැපයකි. මා කිසිවකුට ණය නැතැයි සතුටට පත්වීම සාර්ථක ගිහි ජීවිතයක ලක්ෂණයක් වේ. තරාදියක් භාවිත කරන්නකු එය ඔසවා මෙ පමණකින් අඩු ය. පහළ ය. මෙ පමණකින් වැඩි ය. ඉහළ යැයි දන්නාක් මෙන් අය වැය සලකා බැලිය යුතු ය.

ධන පරිහරණය පිළිබඳ බුදු දහමෙහි හමුවන අනෙක් ප්‍රකට උපදේශය දක්නට ලැබෙන්නේ සිඟාල ගෘහපති පුත්‍රයාට දුන් අවවාදයෙහි ය. ඒ අනුව උපයා ගත් ධනය කොටස් සතරකට බෙදා එක් කොටසක් එදිනෙදා අවශ්‍යතා සලසා ගත යුතු ය. එනම් අවශ්‍ය ආහාරපානාදිය සපයා ගැනීම, පින් දහම් කිරීම ආදිය පිණිස ය. දෙකොටසක් ආයෝජනය කළ යුතු ය. එනම් කර්මාන්තවල යෙදවිය යුතු ය. ඉතිරි කොටස ඉතිරිකර තැබිය යුතු ය. එය ආපදාවක දී ගැනීම පිණිස ය. මෙහිදී පරිභෝජනයට යොදා ගත යුත්තේ උපයා ගත් ධනයෙන් සතරෙන් එකක් පමණකැයි කියා තිබීම ඉතා වැදගත් ය. එයින් ද අවම පරිභෝජනය අර්ථවත් වේ. උපරිම පරිභෝජනයට යොමු වෙමින් සිටින නූතන ලෝකයට ද මෙය අගනා උපදේශයකි. එසේම දෙකොටසක් ම ආයෝජනය කෙරේ. එය තිරසර ආර්ථිකයක් පවත්වා ගෙන යාමට පුද්ගලයාට උපාකරි වෙයි. ඉතිරි කිරීම් අවම වීම ද නූතනයෙහි පවත්නා ගැටලුවකි. මෙහිදී එක් කොටසක් ඉතිරි කිරීමට උපදෙස් දී තිබීම ද සැලකිය යුත්තකි.

අනාථ පිණ්ඩික මහ සිටුතුමන් අමතා බුදුරදුන් වදාළ තවත් දේශනාවකට අනුව බෞද්ධයකු විසින් තම උත්සාහයෙන්, බාහු බලයෙන්, දහඩිය වගුරුවා, දැහැමින් උපයා ගන්නා ලද භෝග කරුණුූ (ධනය) සතරක් සලකා වැය කළ යුතු ය.

තමා සැපවත් වෙයි. එසේම මවුපියන් ද, අඹුදරුවන් ද, සේවක සේවිකාවන් ද හිතමිතුරන් ද යහපත් කරයි. බලවත් කරයි.

ගින්නෙන්, ජලයෙන්, රජුන්ගෙන්, සොරුන්ගෙන් නොකැමැති දායාදාදියෙන් සිදුවන විපතින් රැක ගනියි.

පඤ්චබලි (යුතුකම්) කරන්නේ වෙයි. ඥාතීන්ට ආගන්තුකයන්ට, මළගියවුන්ට, රජුන්ට හා දෙවියන්ට ද යුතුකම් ඉටු කරයි.

මහණ බමුණන්ට දන් දෙයි. ආත්ම දමනයෙන් යුත්, කෙලෙස් සමනය කරනා කෙලෙස් නිවා පිරිනිවනට පත්වනු ආගමික උතුමන්ට පූජාවන් පවත්වයි.

මෙසේ විධිමත් සැලැස්මක්, මනා කළමනාකරණයක් ඇතිව ධනය පරිභෝග කිරීමට බුදුරදුන් විසින් උපදෙස් දෙන ලද අවස්ථා රැසකි. මෙහිදී තම සුවපත් බව පිණිස වැය කිරීම පළමුවැන්න ය. ආරක්ෂා කර ගත් ධනය ආත්මාර්ථකාමිත්වයෙන් ම පරිභෝග නොකොට තමා හා බැඳුණු අන් අයගේ ද, ආගමික උතුමන්ගේ ද සැපවත් බව උදෙසා වැය කළ යුතු යැයි ද ඉගැන්වෙයි.

සැකෙවින් කිවහොත් ආත්මාර්ථය උදෙසා මෙන්ම පරාර්ථය උදෙසා ද වැය කළ යුතු ය. බුදුරදුන් විසින් රාසිය ගාමිණී නමැත්තකුට වදාළ තවත් උපදේශයකට අනුව මෙලොව කාමභෝගී ගෘහස්ථයෝ විවිධාකාරයෙන් භෝග වළඳන්නෝ ය. එහිලා බුදුරදුන්ගේ පැසසුමට ලක්වන්නේ පහත දැක්වෙන සතර ආකාරයෙන් කාමභෝගී ගිහියා ය.

සැහැසිකම් නොකොට දැහැමින් ධනය උපයයි (භෝග සොයයි)

උපයාගත් ධනයෙන් තමා සැපවත් කෙරෙයි. පිනවයි ( භෝග වළඳයි)

පරිත්‍යාග කරයි ( බෙදා දෙයි පින් කරයි)

ඉපයූ ධනයෙහි ම ගිජුකමින් නො ඇලෙයි. මුසපත් නොවෙයි. එසේ වීමෙහි ආදීනව දකිමින් නිස්සරණ දැක්මෙන් පරිභෝග කරයි.

ආචාරධර්ම පිළිබද අනිවාර්ය අවධානයක් ඇති ධර්ම මාර්ගයක් වශයෙන් බුදුදහම ප්‍රකටව තිබේ. එහිලා ලෞකික ලෝකෝත්තර යන උභය පක්ෂයෙන් ම ආධ්‍යාත්මික බාහිර යන දෙයාකාරයෙන් ම පුද්ගලයාගේ හා සමාජයේ ද පිරිහීම අභීත අවැඩ පිණිස, පවත්නා කායික, වාචසික හා මානසික චර්යාවන්ගෙන් වැළකීමට ද, දියුණුව හිතසුව පිණිස පවත්නා චර්යාවන් අනුගමනය කිරීමට ද බුදු සමය මඟ පෙන්වයි. ආර්ථික, දේශපාලන, අධ්‍යාපන, සංස්කෘතික ආදී කවර ක්‍රියාදාමයක දී වුව ද අධර්මය, දුසිරිත බැහැර කළ යුතු ය. ධර්මය, සුසිරිත අනුගමනය කළ යුතු යැයි බෞද්ධ ඉගැන්වීම් මඟින් පෙන්වා දී තිබේ.

ධනෝපායනයේ දී මෙන්ම පරිහරණයේ දී ද පිරිහීම වළක්වා ගත හැක්කේ එසේ ක්‍රියා කිරීමෙනි. උපයා ගන්නා ලද භෝග විනාශ මුඛයට යොමු කරන මානව චර්යාවන් සය ආකාර වේ යැයි සිඟාලක ගෘහපති පුත්‍රයාට පෙන්වා දෙන ලද්දේ ය.

මත් වතුර, මත් ද්‍රව්‍ය ආදිය භාවිතය, දූකෙලිය, අකාල වීදි සංචාරය, ගී නැටුම් ආදියෙහි ලොල් වීම, පාපමිත්‍ර සේවනය හා අලසකම යනුවෙනි. තවත් එබඳුම ප්‍රකට දේශනාවකට අනුව අදැහැමි බව, විවිධ දුසිරිත් හා චර්යාමය දුබලකම් ද නිසා උපයා ගන්නා ධනය වැනසෙයි. නොයෙක් අයුරින් පිරිහීම ළඟා වෙයි.

මෙසේ සදාචාරය පිරිහීමෙන් ධන සම්පත් පිරිහෙයි.

බිනර  පුර අටවක

සැප්තැමිබර් 22 සිකුරාදා අ.භා. 01.32 න් පුර අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 12.15 න් ගෙවේ. 22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]