[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දහවල සතුන් මරා රාත්‍රියේ සිල්ගත්

දහවල සතුන් මරා රාත්‍රියේ සිල්ගත් වැද්දාගේ කතාව

වස් කාලය ගිහි පැවිදි සියලු දෙනාට ම ඉතාම වැදගත් කාලයකි. වස්සාන සමය ගිහි, පැවිදි උභය සමාජය ම ආධ්‍යාත්මික සුවය සඳහා ගුණ දහම් පුරන්නට වෙහෙස මහන්සි වී කටයුතු කරන පුණ්‍යවන්ත කාල සීමාවකි.

මෙම කාලය තුළ විශේෂයෙන් ම කළ යුතු දේ වන්නේ ප්‍රතිපත්ති පූරණයයි. එනම්, සිල් රැකීම, භාවනාව දියුණු කර ගැනීම, පින් දහම්හි නිරත වීම, ගිහි පිරිස සාමාන්‍ය කාලවලට වඩා වස් කාලයේ දී ගුණධර්ම පූරණයට උත්සාහ ගැනීම, පැවිදි ස්වාමීන් වහන්සේ ද මේ කාලයේ දී එක තැනක නතර වී කිසියම් භාවනා කර්මස්ථානයක් වඩමින් වැඩ සිටීම ආදී පින් ක්‍රියායි.

මිනිසකු ලෙස උපත ලැබීම ඉතාම දුර්ලභ කාරණාවක්. ඒ මනුෂ්‍ය ජීවිතයක වටිනාකම රඳා පවතිනුයේ එම ජීවිතය අර්ථවත්ව ගත කිරීමෙන් පමණි. “පඤ්ඤා ජීවිං ජීවිතමාහු සෙට්ඨං” මනා ප්‍රඥා සම්පන්නව ගත කරන ජීවිතය වඩාත් ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ ය. ජීවිතය ගත කිරීමට බුද්ධිමත් බව ඉතා අත්‍යවශ්‍ය යි. පෙර කළ පිනෙන් ලද මිනිස් ජීවිතය කෙ තරම් වටින්නේ දැයි මොහොතක් බුද්ධිමත්ව සිතිය යුතු වේ. යමක් සම්බන්ධ ව දුර දැකීමේ හැකියාවත්, උපාය කෞශල්‍ය ඥානයත්, විචාර බුද්ධියත් සහිත ප්‍රඥාවන්තව අවබෝධයෙන් කටයුතු කිරීමෙන් ජීවිතයේ අඩු පාඩු අවම කර ගෙන නිවැරැදිව ජීවිතය පවත්වා ගෙන යා හැකි වේ.

නූපන් කුසල් උපදවා ගැනීමටත්, උපන් අකුසල් දුරු කර ගැනීමටත් හැම විට උත්සාහ කළ යුතු ය. මනුෂ්‍යයකු වුව ද, දෙවියකු වුව ද පින් අවශ්‍ය ය. පින, පව හෙවත් කුසල්, අකුසල් ගැන විශ්වාසය තිබිය යුතු ය. එහි ඵල විපාක ගැන නිතර මෙනෙහි කළ යුතු ය. ජීවිත කාලය පුරා කවරදාක හෝ තමා නැවත හැරී බලා සතුටු විය හැකි ජීවිතයක් ගත කිරීමෙන් මෙලොව සහ පරලොව යන දෙලොව ම සතුටු විය හැකි ය. තමාට තමා ගැන සතුටු විය හැකි ජීවිතයක් නම් එපමණකි. පින් දහම්හි නිරත වීම, සිල් රැකීම පසුවට කල් දැමිය යුත්තක් නොවේ. මොහොතක් වුවද සිල් රැකීම ඉතාම වැදගත්කමකි. ජීවිතය අස්ථිර ය. අස්ථිර ලොවක උපත ලබා වෙසෙන කෙටි කාලය තුළ දී සසර ගමන සුවපත් කර ගැනීමට ම වෙහෙසිය යුතු ය. කල්‍යාණ මිත්‍ර ඇසුර මොනතරම් වැදගත් ද, යන්නත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන්ගේ අවවාද පිළිගැනීමේ වටිනාකමත්, කර්මය කර්මඵල විශ්වාස කරමින් මොහොතක් හෝ සිල් රැකීමේ ආනිසංස පිළිබඳවත්, දුසිල්වත්ව කටයුතු කළ නිසා ලැබුණ විපාක යන කරුණුත් ප්‍රකට වන වටිනා කතා පුවතක් ප්‍රේත වත්තුවේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන කාලයේ ‘මිගලුද්දක නම් ප්‍රේතයෙක් සිටියා. ඒ ප්‍රේතයා අරමුණු කරගෙන මේ කතා වස්තුව දේශනා කර ඇත. මොහු පෙර බවයක දිවා රාත්‍රී කාලයේ මුවන් මරමින් මස් විකුණා ජීවිකාව ගෙන ගිය අතර, දිනක් ඔහුට එක් උපාසකයෙක් මුණගැසුණේ ය. වැද්දා හා උපාසකතුමා අතර මිත්‍රත්වයක් ගොඩනැඟිණි.

කාලයත් සමඟ ඒ උපාසකතුමා නිතර නිතර මේ මස් වැද්දාට අකුසල් පිළිබඳ කියා දෙන්නට විය. කුසල් අකුසල්, පින් පව් ගැනත් නිතර නිතර කියා දුන්නා. පන්සිල් රැකීමේ අනුසස් වගේම සත්ත්ව ඝාතනයේ තිබෙන දුක් විපාකත් කියා දුන්නා. මොනතරම් යහපත් ධර්මය කියලා දුන්නත් මේ වැද්දාට සම්පූර්ණයෙන් ම පවින් මිදෙන්නට බැරි වුණා. දිනක් මේ උපාසකතුමා කල්පනා කළා යම් උපායක් යොදවා හෝ මොහු අකුසලයෙන් බේරා ගැනීමට උත්සාහ කළ යුතුයි කියා. දිනක් දෙදෙනා අතර මෙවැනි සංවාදයක් ඇති වුණා.

‘මිත්‍රය, ඔබට හැකි නම් යම්තාක් උත්සාහ කරන්න. වීර්යය කරන්න. අකුසලයෙන් මිදීම හොඳයි.’

‘මම කුමක්ද කළ යුත්තේ?’

‘මිත්‍රය, උදෑසන කාලයේ මස් පිණිස සත්ත්ව ඝාතනය කළ ද, රාත්‍රී කාලයේ දී සිල් සමාදන් වී උතුම් පංච ශීලය ආරක්ෂා කරන්න යැයි උපදෙස් දුන්නේ ය.’

ඒ අවවාදය පිළිගත් වැද්දා දිවා කාලයෙහි සත්ත්ව ඝාතනය කළා. මස් පිණිස විකිණුවා. නමුත් රාත්‍රී වූ පසුව පිරිසුදු වී සිල් සමාදන්ව පන්සිල් ආරක්ෂා කළා. ඔහු කල් ඇවෑමෙන් මියපරලොව ගියා. මිය පරලොව ගිය මේ වැද්දා රජගහනුවර සමීපයෙහි විමාන ප්‍රේතයකු වී ඉපදුණා. පෙර භවයේ ජීවත් වූ කාලය තුළ රැස් කළ පිනත්, තමා විසින් ම කළ පවත් ඔහුට එකසේ විඳින්නට සිදු වුණා. හරි අපූරු සිදුවීම නම් මේ ප්‍රේතයා දහවල් කාලයේ දී මහත් වූ දුක් විපාක වින්දා වගේම රාත්‍රී කාලයෙහි දිව්‍යමය සැප සම්පත් විඳීමයි.

මේ අසලින් වැඩම කළ නාරද මහ රහතන් වහන්සේට මේ සිදුවීම දැක ගන්නට ලැබුණා. ඔබ තරුණ දිව්‍ය පුත්‍රයෙක්, දිව්‍ය අංගනාවන් පිරිවරාගෙන කාම සම්පත්වලින් අනූන ජීවිතයක් ගත කරනවා. නමුත් දවල් කාලයට ඔබ හරියට දුක් විඳිනවා. කුමක්ද කලින් ජීවිතයේ දී මොන වගේ අකුසල් ද සිදු කළේ.

"ස්වාමීනි, මම ජීවත් වූයේ රජගහනුවර. මුව වැද්දෙක් වෙලා ලේ වැකුණු අත් ඇතිව මස් පිණිස සතුන් මරමින් දරුණු විදිහට කටයුතු කළා.

සියලු සතුන් කෙරෙහි නපුරු සිත් ඇතිව එම සතුන්ට හිංසා කරමිනුයි නිතර සිටියේ. මා තුළ කරුණාවක් තිබුණේ ම නෑ. මේ අවධිය තුළ මට සිටියා හොඳ කල්‍යාණ මිත්‍රයෙක්. ඔහු හරිම සුහදයි. එමෙන්ම ශ්‍රද්ධාවන්ත ගුණගරුක උපාසකයෙක්. ඔහු මා කෙරෙහි අනුකම්පාවෙන් පවින් වැළැක්වීමට උත්සාහ කළා. යහපතේ යෙදෙව්වා. පව් කරන්න එපා, දුස්සීල වූ ප්‍රාණඝාතයෙන් වෙන් වෙන්න, අපායේ දුක් විඳින්න සිදුවෙන අකුසල් කරන්න එපා, මරණින් මතු සැප ලබන්නට කැමති නම් ඔය පව්වලින් ඈත් වෙන්න."

ඔහු මට අනුකම්පාවෙන් දුන් අවවාද ටිකක් පිළිගත්තා. නමුත් සියලු උපදෙස් පිළිගත්තේ නෑ. බොහෝ කාලයක් පව්වලට ඇලිලා බුද්ධියක් නැතිව මම හිටියේ. ඒ මහා ප්‍රඥාවන්ත, කරුණාවන්ත උපාසකතුමා ආයෙමත් මට අනුකම්පා කරලා සීලයේ පිහිටුවූවා.

“මිත්‍රය ඔබ දවල් කාලයේ සතුන් මරනවා, අඩුම තරමකින් රාත්‍රියටවත් සිල් රකින්න.” කියා අවවාද කර සිටියා.

ඉතින් මම දවල් කාලයේ සතුන් මරලා රෑට සතුන් මැරීමෙන් වෙන් වෙලා සංවර වුණා. අන්න ඒ නිසයි මට රාත්‍රියට දිව්‍ය සැප ලැබෙන්නත්. හවසට බොහෝ දුක් විපාක අනුභව කරන්නත් හේතුව. පන්සිල් රැකීමේ කුසල කර්මයේ විපාක වශයෙන් අද මට රාත්‍රියට දිව්‍යමය සැප සම්පත් භුක්ති විඳීමට හැකි වුණත්, දවල්ට සුනඛයන් බද්ධ වෛරයෙන් වගේ මාව පන්නාගෙන ඇවිත් වට කර ගෙන කනවා.”

මෙම ධර්ම පණිවිඩය හිතට ගෙන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවලට අනුව සියලු පව් නොකරමින්, කුසල් කරමින් සිත කෙලෙසුන්ගෙන් මුදා ගැනීමට කටයුතු කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශීල, සමාධි, ප්‍රඥාව තුළින් චතුරාර්ය සත්‍යය අවබෝධයට වීර්යයෙන් කටයුතු කරනවා නම් සංඛත වූ අමා නිවන් සුවය සැලසෙනවා.

බිනර  පුර අටවක

සැප්තැමිබර් 22 සිකුරාදා අ.භා. 01.32 න් පුර අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 12.15 න් ගෙවේ. 22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]