[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අනුන්ගේ හාස්‍යයට ලක් නොවන්න තමන්ගේ තරම දැනගෙන වැඩ කරන්න

අනුන්ගේ හාස්‍යයට ලක් නොවන්න තමන්ගේ තරම දැනගෙන වැඩ කරන්න

සිවුපාවුන්ගේ නායකයා කවුද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් හැමෝම දෙන උත්තරය තමයි සිංහයා කියලා. ඔව් සිංහයා තමයි කැලේ රජා. හැම සතෙක් ම දඩයම් කරන්නට හැකියාවක් තියෙන්නේ සිංහයාට. එහෙම වුණත් ඌ හැම සතා ම දඩයම් කරන්න උත්සාහ ගන්නේ නෑ.

තමන්ගේ ආහාරයට ගැළපෙන රසවත් මාංශ ඇති සතුන් විතරයි දඩයම් කරන්නේ. විශාල කැලෑවක හිටියා මේ කියන විදිහේ සිංහ කුලයේ ඉපදුණු සිංහ රාජයෙක්. මහා පර්වතයක් මුදුනේ ගල් ගුහාවක තමයි ජීවත් වුණේ. තනියම ජීවත් වුණු නිසා පවුල් බරක් නම් ඌට තිබුණේ නෑ. සුව සේ මාංශ අනුභව කරමින් ජීවත් වුණා.

දවසක් තමන්ගේ බඩගින්න නිවා ගන්න දඩයමකට සූදානම් වෙලා පර්වතය මුදුනේ ඉඳගෙන බලාගෙන ඉන්නවා සතෙක් පර්වතය පාමුලින් යනකම්. බොහෝ වේලාවක් බලා හිටියා. ඉත්තෑවෝ, හා පැංචෝ, තලගොයි, කබල්ලෑවෝ, රිලව්, වඳුරෝ ආදී පොඩි සතුන් පර්වතය පා මුලින් නිතර ගියත් ඒ එක සතෙක්වත් දඩයම් කරන්න පැන්නේ නෑ. පැය ගණනාවක් මෙහෙම ඉන්නකොට එතැනින් ගියා හොඳට වැඩුණු මීගවයෙක්. ඉතින් ඌ පර්වතය පාමුලට ආපු සැනින් උගේ පිටට පැනලා අල්ලාගෙන මරා ගත්තා. ඇති පමණ මස් කෑවා. බඩගින්න නිවා ගත්තා. දැන් වතුර බොන්න ඕන වුණා. හෙමින් හෙමින් මහා බඩත් අරගෙන ළග තිබුණ වැවකට ගිහින් ඇති පමණ වතුර බිව්වා. දැන් ටිකක් විවේක ගන්න ඕන කියන අදහසින් පර්වතය මුදුනට නඟින්න යන අතරේ එක් කැනහිලෙක් සිංහයා දැකලා දුවන්න පටන් ගත්තා.

සිංහයා ඌ පසුපස එළවයි කියලා හිතුවත් සිංහයා ඒ පැත්ත බැලුවා විතරයි කළේ. කැනහිලා හිතුවා පසුපස එලවාගෙන ආවොත් මගේ ජීවිතය ඉවරයි. හෙමින් හෙමින් ගිහින් සිංහරාජයා හමුවෙලා, කතාබස්කරලා බේරිලා යන්න ඕන කියන අදහසින් හොඳ උපායකුත් හිතාගෙන සිංහයා ළගට ළං වුණා. සිංහ රාජයාගේ දෙපා මත හිස තබලා වන්දනා කළා. ඒ මොහොතේ සිංහයා ඇහුවා

‘මොකද බොල ජම්බුකය, මගේ දෙපා අල්ලා මෙහෙම මට වන්දනා කළේ? යි කියලා.

කපටි හිවලා කියනවා

‘ස්වාමිනි, ඔබ වහන්සේ මේ මහා වනාන්තරයේ ඉන්න එකම සිංහ රාජෝත්තමයන් වහන්සේ, මම හිතුවා ඔබ වහන්සේට සේවාකම් කරමින් ජීවත් වෙන්න. මට ඒ සඳහා අවසර ලබා දෙන්න’ යි බැගෑපත්ව ඉල්ලා සිටියා. සිංහයාත් කිසිම බියක් සැකක් නැතිව ඌ විශ්වාස කළා. පර්වතය මුදුනට ම ගෙන්නාගෙන ගියා. තමන්ගේ ලෙනට සමීප ලෙනක් සුද්ද පවිත්‍ර කරලා ආගන්තුකයාට ලබා දුන්නා. සිවලාත් සිංහයාගේ කටයුතු කරමින් ජීවත් වෙන්න පටන් ගත්තා. සිවලාට රාජකාරි කිහිපයක් ම පැවරුවා.

එකක් තමයි උදෙන්ම අවධිවෙලා පර්වතය මුදුනට ගිහින් පර්වතය පාමුලින් යන එන සිවුපා සතුන් නිරීක්ෂණය කරලා හොඳට හැදුණු වැඩුණු රසවත් මස් ඇති සතුන් ගැන තොරතුරු දැනුම් දීම.

සිවලාත් මීගවයින්, මුවන්, ගෝනුන් වැනි සතුන් යන එන විට වහා ම දුවලා ගිහින් ‘ස්වාමීනි, මීගවයෙක් පර්වතය පාමුලින් යන්න එන ගමන් ඉන්නේ, රසවත් මස් ඇති විශාල මුවෙක් එන ගමන් ඉන්නේ ආදී වශයෙන් පණිවිඩ ගෙන යමින් තොරතුරු දැනුම් දුන්නා.

සිංහයාත් තමන්ට රසවත් මස් ඇති සතුන් දඩයම් කරගෙන ජීවත් වුණා. මෙහෙම කල් යන විට සිංහයාට හිතුණා කැනහිලාටත් ආශා හිතෙන මස් වර්ග ඇතිනේ, ඌ මගේ සේවකයානේ. ඒ නිසා ඌ කැමැති කෑමක් තියනවා නම් ඒකත් මම සපයලා දෙන්න ඕන. ඒක මගේ යුතුකමක්නේ'යි කියලා හිතලා දවසක් කැනහිලා හමුවෙලා කියනවා. ‘ජම්බුකය, ඔබ මට බොහෝම හොඳින් සේවය සලසනවා. ඒ නිසා මම තීරණය කළා ඔබ කැමැති කෑමක් තියනවා නම් ඒකත් සපයලා දෙන්න යි කියලා. සිවලාට දැන් බොහෝම සතුටුයි.

දඩයම් කිරීමට අපහසු, තමන්ට රසවත් යැයි හැගෙන සතුනුත්, අලුතින් රස බලන්න ඕන කියලා හිතෙන සතුනුත් නම් කරමින් සිංහයා ලවා දඩයම් කරවා ගත්තා. මාස ගණන් ගතවෙමින් අවුරුදු ගණනක් ක්‍රමයෙන් ගෙවී ගියා. රසවත් මස් අනුභව කිරීම නිසා ම සිවලාත් දැන් සිංහයෙක් වගේ ශරීරයෙන් විශාල ව හැදී වැඩුණා.

දවසක් තමන්ගේ ශරීරය දිහා බලලා හිතනවා, සිංහයාත් සිවුපාවෙක්. මමත් සිවුපාවෙක්. සිංහයාත් කන්නේ මස්. මම කන්නේත් මස්. අපි දෙන්නා අතර වෙනසකට තියෙන්නේ සතුන් දඩයම් කරන එක සම්බන්ධයෙන් විතරයි. ඒ නිසා මමත් තනියම දඩයම් කරමින් සිංහයා වගේ ගරු ගාම්භීරව ජීවත් වෙන්න ඕන. එතකොට මම කාටවත් සේවාකම් කරන්න ඕන නෑ’යි කල්පනා කරලා තීරණය කළා තනියම දඩයම් කරමින් ජීවත් වෙන්න.

දවසක් සිංහයා සමීපයට ගිහින් ‘ස්වාමිනි, මම තීරණයක් ගත්තා. මම හිතුවා තනියම දඩයම් කරමින් ආහාර සපයාගෙන ජීවත් වෙන්න. ඔබ වහන්සේ දඩයම් කර ගන්නා මස් ඔබ වහන්සේ ම අනුභව කරන්න. මම තනියම දඩයම් කරගෙන මස් අනුභව කරන්නම්’යි තමන්ගේ අදහස කියා සිටියා.

ඒ වෙලාවේ දී සිංහයා අහනවා ‘ඒයි බොල ජම්බුකය, උඹට පුළුවන් ද ඇතුන්ගේ කුම්භස්ථල බිඳිමින් ඔවුන් බිමදාලා මස් අනුභව කරන්න’යි සිනහ වෙමින් ප්‍රශ්න කර සිටියා. සිවලාත් සිංහයාට දෙවැනි නොවෙමින් තමන්ගේ ශරීරය දිහා බලමින් කියා සිටියා

‘සවාමීනි, ඒවා පුළුවන් නිසා තමයි මම මෙහෙම තීරණයක් ගත්තේ, අද මට ඔබ වහන්සේගේ ලෙනේ ම නිදාගන්න අවසර දෙන්න. උදෙන්ම මම ඇතකු දඩයම්කර පෙන්වන්නම්. මම ඇතා පිටට පනින විට ඔබ වහන්සේ මාව

‘දිරි ජම්බුක දිරි, ඔබට පුළුවන් ජම්බුක. ඔබට පුළුවන්. කියලා නිතර දිරි ගන්වන්න. මම ඇතා දඩයම් කර පෙන්වන්නම්"යි පවසා සිටියා. සිංහයාත්

‘හොඳයි ඔබට හැකි නම් මම මගේ සහාය උපරිමයෙන් ම ලබා දෙන්නම්. පසුදා උදෙන් ම කැනහිලා නැඟිටලා සිංහයාත් අඬගහගෙන පර්වතය මුදුනට ගියා.

ඇතෙක් එනකම් බලා සිට ඇතා පර්වතය පාමුලින් යනවාත් සමඟ ශරීරය හොඳට දෙතුන්වතාවක් ගසා දමලා, කැනහිල් හඩ නංවලා, සිවුදිශාව ම හොඳින් බලා, සිංහයා දිහාත් බලලා මගේ දස්කම් අද පෙන්වන්ම් ඔබ බලන්න කියන සංඥා දෙමින් ඇතාගේ පිටට පැන්නා. ඒ ක්ෂණයෙහි ම ඌ ඇතාගේ පිටින් බිමට වැටුණා. ඇතා තමන්ගේ පාවලින් පාගා දමමින් ඌ කෑලි කෑලිවලට කඩාදමා කුඩු කර දැම්මා. ඌට උපන් කේන්තිය නිසා ඒ කුඩු වූ ශරීරයට වසුරු හා මූත්‍රා ද හෙළා ඇතා යන්න ගියා.

සිංහයා පර්වතය මුදුනේ ඉඳගෙන මේ සියල්ල ම බලාගෙන ඉඳලා මහ හයියෙන් සිනහ වෙමින්

"මේ ජම්බුකයා, තමන්ගේ තරම දැන ගත්තේ නෑ. ශරීරය වැඩුණ ගමන් තමන්ගේ තත්ත්වය අමතක කළා. මාව අනුකරණය කරන්න ගියා. ඒ නිසා ම හිස ළය තළාගෙන ශරීරය කුඩු කර ගත්තා. ශරීරයට වසුරු හා මූත්‍රා හෙළා ගනිමින් මිණියටත් අවමන් කර ගත්තා'යි"

තමන්ට ම කියා ගනිමින් ලෙනට පිවිසියායි බුදුරජාණන් වහන්සේ දම් සභාවට රැස් වූ සිවුවනක් පිරිසට විරෝජන ජාතකය දේශනා කරමින් කතාව අවසන් කළා’යි ජාතක කථාවක්, ජාතක පොතේ එකසිය හතළිස් දෙවැනි ජාතකයේ සඳහන් වෙනවා.

තමන්ගේ තරමත්, තත්ත්වයත් අවබෝධ කර නොගෙන කටයුතු කිරීමට යාමෙන් ජීවිතය පවා අහිමි වන බවත්, තුන්කල්හි ම උපහාසයට හා හාස්‍යයට ලක්වන බවත් මේ කතා පුවත අපට කියා දෙනවා.

බිනර  පුර අටවක

සැප්තැමිබර් 22 සිකුරාදා අ.භා. 01.32 න් පුර අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 12.15 න් ගෙවේ. 22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]