[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ධර්ම ගෞරවය සුරැකෙන ලෙස ධර්මය දේශනා කළ යුතු මෙලෙසයි

ධර්ම ගෞරවය සුරැකෙන ලෙස ධර්මය දේශනා කළ යුතු මෙලෙසයි

මෙකල ධර්ම දේශනා යනු ඉතා සුලභ දෙයකි. විවිධ ගුවන්විදුලි හා රූපවාහිනි නාලිකා ද, ඊට අමතරව නවීන තාක්ෂණයෙන් බිහි වී ඇති සන්නිවේදන මාධ්‍යවලින්, දවස පුරා ඕනෑම මොහොතක ධර්ම දේශනා ශ්‍රවණය කිරීමේ අවස්ථාව ලැබී ඇත.

මේ නිසා ම ධර්ම දේශනා යම් තරගකාරී ස්වභාවයකට පත් වී ඇති බව අපගේ පුද්ගලික අදහසයි. දේශනාවන්ගේ වටිනාකම. ගුණාත්මක බව පිරිහීමට එය උපකාරි වේ.

ත්‍රිපිටකයේ හෝ අටුවාවන්හි හෝ සඳහන් නොවන, තම තමන්ගේ පුද්ගලික අදහස් දේශනා කරනු ලබන්නේ ශ්‍රාවක පිරිස තමන් වෙත නැඹුරු කර ගැනීමේ අදහසින් දැයි විමසා බැලිය යුතු ය. මෙකල දේශනාවන්ගේ අඩුපාඩු පෙන්වා දීමට නොව නිවැරැදි ධර්ම දේශනය යනු කුමක් ද? කියා බුද්ධ දේශනයට අනුව පැහැදිලි කර දීම මෙම ලිපියේ අරමුණයි.

අංගුත්තර නිකාය දුක නිපාතයෙහි බාලවග්ගයේ සඳහන් මෙම සූත්‍රය විමසා බලන්න “මහණෙනි, දෙදෙනෙක් මට චෝදනා කරති. කවර දෙදෙනෙක් ද යත්, දුෂ්ට සිතින් ද්වේශයෙන් (දුම්ඨෝවා දෝසන්තරෝ) චෝදනා කරන්නා සහ වැරැදි ලෙස පිහිටුවාගත් සද්ධාවෙන් (සද්ධෝවා දුග්ගහිතේන) චෝදනා කරන්නා ලෙසිනි.

අටුවාවෙහි මේ පිළිබඳ දීර්ඝ විස්තරයක් සඳහන් නොවෙතත්, මෙකල මේ පිළිබඳ විමසා බැලීම ඉතා වැදගත් බව අපට පෙනී යයි. ජනතාව තුළ සද්ධාව ඇති කිරීමට යැයි සඳහන් කරමින් තම තමන්ගේ පුද්ගලික අදහස් ඉදිරිපත් කරයි නම්, එය බුදුරජාණන් වහන්සේට චෝදනා කිරීමකි. එය සද්ධර්මය අතුරුදන් කිරීමටත්, බොහෝ පව් රැස් කර ගැනීමටත් හේතු වේ.

එක්තරා අවස්ථාවක “උදායි” ස්වාමින් වහන්සේ විශාල ගිහි පිරිසකට ධර්මය දේශනා කරමින් සිටිති. මේ සිදුවීම දුටු ආනන්ද හිමියන් ඒ බව බුදුරජාණන් වහන්සේට දන්වයි. එහිදී ආනන්ද හිමියන් අමතා “නිවැරැදි ධර්ම දේශනය කෙසේ විය යුතු ද? යන්න කරුණු පහකින් දේශනා කළ සේක.

“ආනන්ද අන් අයට ධර්මය දේශනා කිරීම පහසු දෙයක් නොවේ. දේශකයා කරුණු පහක් තමන් තුළ පිහිටුවා ගෙන ධර්මය දේශනා කළ යුතු ය.

එනම්,

අනුපිළිවෙළ කථාව මුල් කොට ධර්මය දේශනා කළ යුතු ය.

විවිධ අයුරින් කරුණුූ මතුකර පෙන්වමින් (පරියාය දස්සාවි) ධර්මය දේශනා කළ යුතු ය.

ශ්‍රාවකයන් කෙරෙහි අනුකම්පාව මුල්කොට ගෙන (අනුද්දයතං පටිච්ච) දහම් දෙසිය යුතු වේ.

පිරිකර මිල මුදල් ආදී ලාභ ප්‍රයෝජන ( න ආමිසන්තරෝ) නොසලකා දහම් දෙසිය යුතුය,

තමාව ද, අන් අය ද පීඩාවට පත් නොකර (අත්තානංච පරිංච අනුපහච්ච) දහම් දෙසිය යුතු ය.

මෙහි සඳහන් කරුණු පහ හැකි උපරිම අයුරින් තමා තුළ පිහිටුවා ගෙන ධර්ම දේශනාව කරන්නේ නම්, එය නිවැරැදි ඉතා උසස් ධර්ම දේශනයක් ලෙස ප්‍රශංසා කිරීමට වටී (උදාය සු.අං.නි.දු).

මෙහි සඳහන් වන අනුපිළිවෙළ කතාව කුමක්ද? යන්න උපාලි සූත්‍රයෙන් (ම.නි. -2) පැහැදිලි වේ.

එනම්, අවබෝධයට හේතුවන ආර්ය සත්‍ය දේශනාවට පෙර, එම ආර්ය සත්‍යය දේශනාව ඇසීමට සුදුසු වන අයුරින් සිත එක්තැන් වන ලෙස කරුණු හයක් මුල් කොට කරුණුූ පැහැදිලි කළ යුතු ය.

දානය පිළිබඳව විවිධ අයුරින් කරුණුූ කියා දිය යුතු ය. මෙහිදී විවිධ දන්දීම් පිළිබඳවත්, දානයෙහි විපාක පිළිබඳවත්, සිත සතුටු වන අයුරින් කරුණුූ පැහැදිලි කරයි.

සීලය පිළිබඳ විස්තර කළ යුතු ය. කය වචනයෙහි සංවරය සීලයයි. කය මුල්කොට සිදුවන වැරැදි හා ඒවායේ විපාකයන් ද, වචනය මුල්කොට සිදුවන වැරැදි හා ඒවායේ විපාකයන් ද, එමෙන්ම කය, වචනය, සංවර කිරීමෙන් ලැබෙන සැප සහගත විපාක පිළිබඳ ව ද විස්තර කරදීම මෙහි අදහසයි.

දානය හා සීලයෙහි පරලොව විපාකය වන්නේ සුගතියයි.

සුගති නම් වූ දෙව් මිනිස් ලෝකය පිළිබඳවත්, සුගතියෙහි උපතක් ලැබීමේ ඇති ආනිසංස පිළිබඳවත් විස්තර කර කියාදීම අවශ්‍ය වේ.

පිනක විපාකයක් ලෙස, සුගතියක උපත ලැබුවත්, එහි ද ඇත්තේ පංචකාමයන්ගෙන් සතුටුවීම පමණක් බව විස්තර කරමින්, ඒ කාමයන්ගේ ආදීනව පිළිබඳ කියාදීම කෙලෙසුන්ගේ ළාමක බව කියා දීමයි. (ඕකාරං සංකිලේසං) අවිද්‍යාව මුල්කොට ඇති සියලු කෙලෙසුන්ගෙන් සත්ත්වයා නිතර කිළිටි වන බවත් ඒ හේතුවෙන් දීර්ඝ සංසාරයක සැරිසැරීමට සිදුවී ඇති බවත් මෙසේ පැහැදිලි කරයි.

මේ සියල්ලෙන් මිදීම පිළිබඳ (නෙක්ඛම්මේ ආනිසංසං) කියාදීමයි. මේ අයුරින් අවබෝධය හෙවත් විමුක්තියට යොමු වන අයුරින් අනුපිළිවෙළ කතාව දේශනා කළ යුතු ය.

බුදුරජාණන් වහන්සේ මෙම අනුපිළිවෙළ කතාවෙන් පසු චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ, ඒ පුද්ගලයාගේ සිත අවබෝධයට සුදුසු අයුරින් එකඟ වී ඇති බව දන්නා නිසා ය. එබැවින් ඒ සියලු දෙන මාර්ගඵලලාභීන් බවට පත්වේ. කෙසේ නමුත් එම හැකියාව ඇත්තේ බුදුරජාණන් වහන්සේට ම පමණි. එනමුත් ධර්ම දේශකයන් විසින් ද අවස්ථානුකූල ව සිත පහදින අයුරින් අනුපිළිවෙළ කතාව ගළපා ගත යුතු ය. එසේම සීල, සමාධි, ප්‍රඥා වශවෙන්, විමුක්තිය මූලික කොට ධර්ම දේශනා කිරීම ද මෙයට අදාළ බව සඳහන් කළ යුතු ය.

විවිධ අයුරින් කරුණු මතු කර පෙන්වාදීම (පරියාය දස්සාවි) ධර්ම දේශනයක දී අවශ්‍යයෙන් ම සිදුවිය යුතු දෙයකි. එකම දහම් කරුණක් විවිධ අයුරින් පෙන්වා දීම ධර්මයෙහි සඳහන් වන්නේ “පටිභානය” ලෙසින් ය. පටිසම්භිදාලාභී රහතන් වහන්සේට මෙම හැකියාව ඉතා උසස් ලෙස තිබුණි. විශේෂයෙන් අවබෝධයට හේතුවන “අනිත්‍යය” ආදී දහම් කරුණූ ස්කන්ධ, ධාතු, ආයතන ආදී විවිධ පරියායන්ගෙන් පැහැදිලි කර දිය හැකි ය. ධර්ම දේශකයා තුළ අවස්ථානුකූලව මෙම කරුණුූ පැහැදිලි කර දීමේ දක්ෂකම නොමැති නම්, ඒ ධර්ම දේශනය සාර්ථක නොවේ.

සෑමවිටම අසන්නා කෙරෙහි දයාව, අනුකම්පාව ඇති කොට ගෙන යහපතක්, සැපතක් වේවා යන අදහසින් ධර්මය දේශනා කිරීම දේශකයාගේ ඉතා වැදගත් ගුණයකි. “කේසී” සූත්‍රයෙහි (අං.නි. -3) සඳහන් වන අයුරින් විටෙක නිරය ආදී දුගතියෙහි භය ඇති කරමින් ද, විටෙක සුගතියෙහි සැප විපාක පැහැදිලි කරමින් ද දේශනය හසුරුවා ගැනීමට දක්ෂ විය යුතු ය. භාග්‍යවතුන් වහන්සේ යොදුන් ගණන් දුර වැඩම කරමින්, එකම එක පුද්ගලයකුට පවා ධර්මය දේශනා කොට වදාළේ කරුණාව නිසා ම ය.

සමහර දිනෙක ධර්ම දේශනය නිසා, බුදුරජාණන් වහන්සේගේ එදින දානය මඟහැරුණි (කසීභාරද්වාජ සූත්‍රය) නමුත් දානය පිළිබඳ නොසලකා පුද්ගලයාගේ යහපත පිණිස ම ධර්මය දේශනා කළ සේක. ධර්ම දේශකයන් ද මෙවැනි අවස්ථා ආදර්ශයට ගෙන කරුණාව, දයාව මුල්කොට දහම් දෙසීම දේශනය සාර්ථක වීමට හේතු වේ.

ලාභ ප්‍රයෝජන පිළිබඳ නොසලකා ධර්මය දේශනා කිරීම දේශනාවේ පිරිසුදු බව වඩාත් ඔපවත් කරයි. දේශනාවට පැහැදීම නිසා ශ්‍රාවකයන් විසින්, ධර්ම පූජාවන් ලෙස කැප වූ යමක් පූජා කරයි නම්, එහි වරදක් නැත.

වරක් “ආනන්ද” හිමියන්ගේ ධර්ම දේශනාවක් අසා පැහැදීමට පත් වූ උදේනි රජු සළු 500ක් ආනන්ද හිමියන්ට පූජා කළ බව දේශනාවෙහි සඳහන් වේ.

එනමුත් දායකයන් විසින් නො විමසා සිටිය දී ම පිරිකර හෝ මිල මුදල් අවශ්‍ය බව පවසා ඒ අනුව ධර්ම දේශනා පැවැත්වීම, ධර්මය වෙළඳ භාණ්ඩයක් බවට පත්කර ගැනීමකි.

එමෙන් ම ශ්‍රාවකයන්ට පහසුවෙන් තේරුම් ගැනීමට යැයි පවසමින්, ප්‍රසිද්ධිය සලකා ග්‍රාම්‍යය වූ පහත් වචන පාවිච්චි කරමින් ධර්මය දේශනා කිරීම ධර්ම ගෞරවය නැති කර දැමීමකි. ධර්මයේ ඇතුළත් වටිනාම මුතු මැණික් වන්නේ, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම බව පහාරද සූත්‍රයෙහි (අං.නි.5) සඳහන් වේ.

එවන් වටිනාකමක් ඇති ධර්මය දේශනා කිරීමේ දී, ධර්මයට සුදුසු වටිනාකම ලැබෙන අයුරින් දේශනා කිරීම දේශකයාගේ වගකීමකි.

ධර්ම දේශනයක දී තමා ද පීඩාවට පත්වේ නම්, අන් අය ද පීඩාවට පත් වේ නම් , එය කිසිසේත් ම ධර්ම දේශනයක් නොවේ. සමහර ධර්ම දේශනාවල දී දහම් කරුණු මතු කර පෙන්වා දීමට වඩා, සිදුවන්නේ අන් අය විවේචනය කිරීමයි. අන් අය විවේචනය කිරීමේ දී තමන්ගේ සිත මෙන් ම අසන්නාගේ සිත ද ද්වේශ සහගත වන බව පිළිගත යුතු ය. තමන් ද අකුසල් රැස් කරමින්, අන් අය ද අකුසලයට පොළඹවන දේශනයක්, ධර්ම දේශනයක් වන්නේ ද? හුවා දැක්වීම ද, නොකර හෙළා දැකීම ද නො කර ධර්මය ම දේශනා කරන්නේ කෙසේද යන්න “අරණ විභංග“ සූත්‍රයෙහි (ම.නි 3) ඉතා මැනවින් පැහැදිලි කර ඇත.

අන් අය හෙළා නොදකිමින් ධර්මය දේශනා කරන්නේ මෙසේ ය. එනම්, හීන වූ, ග්‍රාම්‍ය වූ, පෘථග්ජනයන්ට අයත් වූ, කාමයන්ගෙන් සතුටු වන්නා වූ සියලු දෙනා, දුක් සහගත වූ බොහෝ දැවිලි තැවිලි ඇති කරන්නා වූ මිච්ඡා ප්‍රතිපදාවට පැමිණි අය යැයි නො කියයි. එවැනි කාමයන්ගෙන් සතුටු වූ ප්‍රතිපදාවක් වේ නම්, එය දුක් සහගත මිච්ඡා ප්‍රතිපදාවක් යැයි පවසයි. එසේම තමාව පීඩාවට පත් කරන්නා වූ (අත්තකිලමථානුයෝග)ද යම් ප්‍රතිපදාවක් පුරණ සියලු දෙනාම, දුක් සහගත වූ බොහෝ දැවිලි සහිත මිච්ඡා ප්‍රතිපදාවට පැමිණි අය යැයි නො කියයි. එම අත්තකිලමතානුයෝගය ප්‍රතිපදාව ම දුක් සහගත ප්‍රතිපදාවක්, මිච්ඡා ප්‍රතිපදාවක් යැයි පවසයි. මෙයින් පැහදිලි කර දෙන්නේ පුද්ගලයා සම්බන්ධ නො කර ප්‍රතිපදාව ම මතුකර පෙන්වා දීමයි.

පුද්ගලයා හුවා නොදකිමින් ධර්මය ම දේශනා කරන්නේ මෙසේ ය. එනම් හීන වූ, ග්‍රාම්‍ය වූ පෘථග්ජනයන්ට අයත් කාමයන්ගෙන් සතුටු නොවන්නා වූ, සියලු දෙනා දුක් නැති, දැවිලි තැවිලි නැති නිවැරැදි ප්‍රතිපදාවට (සම්මා පටිපන්නා) පැමිණි අය යැයි නො කියයි. එවැනි කාමයන්ගෙන් සතුටු නොවන ප්‍රතිපදාවක් අනුගමනය කිරීම, දුක් නැති නිවැරැදි ප්‍රතිපදාවක් යැයි පවසයි.

එසේම යම් අත්තකිලමතානුයෝග ප්‍රතිපදාවක් සම්පූර්ණ නොකරන සියලු දෙනාම නිවැරැදි ප්‍රතිපදාවට පැමිණි අය යැයි නො කියයි. අත්තකිලමතානුයෝගයෙන් වෙන්වීම සැප සහගත වූ නිවැරැදි ප්‍රතිපදාව යැයි පවසයි.

මෙයින් පැහැදිලි වන්නේ පුද්ගලයන් අරමුණූු කොට ගැරහීම, නින්දා අපහාස කිරීම නො කළ යුතු බවයි. වැරැදි ප්‍රතිපදාවත්, නිවැරැදි ප්‍රතිපදාවත් හේතු සහිතව කරුණු වශයෙන් මතු කර පෙන්වා දීම කළ යුතු ය.

මෙම සියලු කරුණු සලකා ධර්ම දේශනයක් පැවැත්වීම පහසු කරුණක් නො වන බව ඉතා හොඳින් පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය මුළුමනින් ම ගුණධර්ම වැඩෙන ප්‍රායෝගික ප්‍රතිපදාවකි. මෙකල එම ප්‍රායෝගික ප්‍රතිපදාවේ යෙදීම පසෙකලා දහම් දැනුමට පමණක් මුල් තැන ලබා දීම නිසා ගුණධර්ම දියුණූුව පරිහානියට පත් වී ඇත.

එබැවින් ගුණධර්ම වැඩෙන ප්‍රායෝගික ප්‍රතිපදාවේ වටිනාකම, ධර්ම දේශනයක දී මතුකර පෙන්වා දෙන්නේ නම්, එය ධර්මය බොහෝ කලක් ආරක්ෂා වී පැවතීමට උපකාරවත් වේ. සමාජයේ පොදු යහපතට ද ඉවහල් වේ.

දහම් දැනුමෙන් හෝ ප්‍රායෝගික ප්‍රතිපදාවෙන් හෝ පරිපූර්ණ වූ කිසිවකු මෙකල සිටී දැයි අප නො දනිමු. එබැවින් ත්‍රිපිටක ධර්මය ඇසුරින් කරුණු මතුකර පෙන්වා දීමේ දී, අන් අයගේ අදහස්වලට ද ගරු කිරීමට තරම් අප නිහතමානී විය යුතු ය. එසේම තමන්ගේ අදහස පරිපූර්ණ යැයි දැඩිව ගැනීම ද නො කළ යුතු ය. ධර්ම දේශනයක දී, දේශකයාගේ මෙන් ම ශ්‍රාවකයන්ගේ ද සිත් සංසිඳෙන අයුරින්, ධර්ම ගෞරවය ඇතිවන අයුරින්, ප්‍රතිපදාවට යොමුවන අයුරින් එය කළ හැකි නම් එය සාර්ථක ධර්ම දේශනයක් වේ.

බිනර  පුර අටවක

සැප්තැමිබර් 22 සිකුරාදා අ.භා. 01.32 න් පුර අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 12.15 න් ගෙවේ. 22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]