[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සුවපත් මනසක් සුවබර දිවියක් - 05 කොටස: භාවනාව එවේලෙහිම ප්‍රයෝජන ලැබෙන ප්‍රායෝගික කුසලතාවකි

සුවපත් මනසක් සුවබර දිවියක් - 05 කොටස:

භාවනාව එවේලෙහිම ප්‍රයෝජන ලැබෙන ප්‍රායෝගික කුසලතාවකි

‘ලෝකයේ භාෂා 32කට පරිවර්තනය වී ඇති Mindfulness In plain English (සතිමත් බව වැඩීම) කෘතිය භාවනාවේ ආචාර්යවරයකු ලෙස පෙන්වා දිය හැකි ය. පහසුවෙන් භාවනාව වැඩිය හැකි මේ කෘතියේ සිංහල පරිවර්තනය බුදුසරණ පාඨකයන් වෙනුවෙන් මෙසේ කොටස් වශයෙන් පළ වේ. අද පළවන්නේ එම ලිපි පෙළේ පසවැන්නයි.‘

මෙය මැනවින් තේරුම් ගැනීම සඳහා සීලයේ මට්ටම් කීපයක් ඇති බව උපකල්පනය කරමු. කිසියම් පුද්ගලයකු විසින් සම්පාදනය කළ රෙගුලාසි මාලාවකට අනුව ජීවත් වීම සීලයේ ප්‍රාථමික මට්ටම ලෙස ගැනීමට පුළුවන. ඒ ඔබගේ ශාස්තෘවරයකු, පවතින රජය, ගෝත්‍රික නායකයා හෝ පියා විසින් සැකසූ නීති මාලාවක් විය හැක.

මේ මට්ටමේ දී ඔබ කරන එකම දෙය වන්නේ එම රෙගුලාසි දැනගෙන ඒවා අනුගමනය කිරීමයි. රොබෝ යන්ත්‍රයකට පවා එය කළ හැකියි. නීති රෙගුලාසි ඉතා සරල නම් හා පිළිනොපදින සෑම අවස්ථාවක දී ම පහරක් ගැසීමට කිසිවකු සිටී නම්, පුහුණු කළ චිම්පන්සියකු හට වුව ද එය කළ හැකියි. මෙහිදී භාවනාව කිසිසේත්ම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ රෙගුලාසි මාලාවක් හා දඬුවම් පහරක් දීමට පුද්ගලයකු පමණි.

පහරක් ගැසීමට කිසිවකු නොසිටින අවස්ථාවක දී පවා එම නීති රෙගුලාසි පිළිපැදීම සීලයේ දෙවන මට්ටමයි. ඔබ එම නීති ඉගෙන ගෙන ඇත. ඒවා කඩන සෑම අවස්ථාවක දී ම ඔබ ම ඔබට පහරක් ගසා ගනියි. මෙම මට්ටමේ දී යම්කිසි ප්‍රමාණයක සිත පාලනය කිරීමක් අවශ්‍යයි. ඔබගේ සිතිවිලි රටා ව්‍යාකූල වන විට හැසිරීම ද ඒ අනුව ව්‍යාකූල වීමට පුළුවන. මානසික වගාව මානසික ව්‍යාකූලතාවඅඩු කරයි.

සීලයේ තුන්වැනි මට්ටම සදාචාරය ලෙස හැඳීන්වීම වඩාත් සුදුසු යැයි සිතමි. මෙය විශාල පිම්මක් වන පුරුදු චින්තන රටාව වෙනස් කිරීමකි. කිසියම් අධිකාරියක් මගින් පනවන තද නීති මාලාවකට හිස නැමීම හෝ කීකරුවීම සදාචාරාත්මක මට්ටමේ දී සිදු නොවෙයි.

යම් පුද්ගලයෙක් තමාගේ සිහිකල්පනාව, ප්‍රඥාව හා කරුණා මෛත්‍රීය මඟින් පෙන්වනු ලබන මාර්ගය අනුගමනය කිරීමට තීරණය කරයි. සෑම අවස්ථාවක දී ම කරුණු කාරණා තෝරා බේරාගෙන, අද්විතීය, නිර්මාණශීලී හා වඩාත්ම සුදුසු ප්‍රතිචාරය දැක්වීම සඳහා සැබෑ බුද්ධියක් මෙහිදී වුවමනා කරයි.

තමාගේ සීමිත පුද්ගලික දෘෂ්ටියෙන් පිටතට පැමිණ තීරණ ගැනීම ද මෙහිදී අවශ්‍ය කරුණකි. තමාගේ මෙන්ම අන් අයගේ අවශ්‍යතාවන් කෙරෙහි ද සමාන වැදගත්කමක් දෙමින් ඔහු සම්පූර්ණ අපක්ෂපාතීව හා ස්වාධීනව දැකිය යුතුයි.

තවත් ආකාරයකින් කිවහොත් සාමාන්‍යයෙන් අනෙක් පුද්ගලයාගේ පැත්තෙන් ගැටලුවක් දෙස බැලීමට මඟ අවුරන තෘෂ්ණාව, වෛරය, ඊර්ෂ්‍යාව, හා අනෙකුත් ආත්මාර්ථකාමී සිතිවිලිවලින් තොර වීම අත්‍යවශ්‍යයි. එවිට, අදාළ අවස්ථාවට ඉතාමත් උචිත වූත්, නිවැරැදි වූත් ක්‍රියා මාර්ගයක් තෝරා ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

උපතින්ම ශාන්තුවරයෙක් නොවන සෑම කෙනකුටම, මෙවැනි උසස් සීලයක් අත්කර ගැනීම සඳහා භාවනා පුහුණුව අනිවාර්යයෙන් උපකාරී වන අභ්‍යාසයකි. එම කුසලතාව වඩවා ගත හැකි අන් මාර්ගයක් නොමැත. එමෙන්ම මෙහිදී අවශ්‍ය කරන තේරීමේ ක්‍රියාවලිය මහත් වෙහෙසකාරී එකකි. සෑම අවස්ථාවක දී ම, සියලුම කරුණු කාරණා සමඟ අඩව් ඇල්ලීම උඩුසිත වෙහෙසට පත්කරවන්නකි. සාමාන්‍ය බුද්ධියට එය අධික බර පැටවීමකි. වාසනාවකට මෙන් ගැඹුරු බුද්ධි තලයක දී මෙය ඉතා පහසුවෙන් සිදු කළ හැකියි. භාවනාව මෙවැනි දත්ත සම්පාදනයන් ඔබ වෙනුවෙන් ඉටු කර දෙයි.

දිනෙක ඔබට විඳීමට ‘අන්කල් හර්මන්ගේ‘ නවතම දික්කසාදය පිළිබඳ ගැටලුව ඇතැයි සිතමු. එය බැලූ බැල්මට විසඳුමක් පේන තෙක් මානයේ නැති, ඥානවන්ත සොලමන්ට පවා විසඳීමට නොහැකි, “විය හැකියාවන්ගෙන්” පිරුණු ප්‍රශ්නයකි.

ඊළඟ දවසේ ඔබ පිඟන් සෝදමින් සිටින අතර, හදිසියෙන් ම විසඳුමක් සිතට නැඟෙයි. එය ගැඹුරු මනසින් හිටි අඩියේ පැන නඟින විට ඔබ “අහා” යයි එය වටහා ගන්නවා ඇත. ප්‍රශ්නය නිරාකරණය වී ඇත. මෙවැනි සහජ ඥානය ක්‍රියාත්මක වන්නේ ප්‍රශ්නය තර්කානුකූල මනසින් මුදා හැර, විසඳුමක් සෙවීමට යටි සිතට බාරදුන් විටයි. මෙහිදී සවිඥාන උඩුසිත බාධා ඇති කරයි. සිතීමේ ක්‍රියාවලියෙන් ඔබ නිදහස් වන්නේ කෙසේද යන්න භාවනාව මගින් ඔබට උගන්වයි. එය එදිනෙදා ජීවිතයේ දී ඉතා ප්‍රයෝජනවත් මානසික කලාවක් වන තමතමාගේ මාර්ගයෙන් ඉවතට පියනඟන ක්‍රමයයි.

භාවනාව, ඔබට අදාළ නොවන, තාපසවරුන්ට පමණක් සීමාවූ, අභ්‍යාසයක් නොවෙයි. එය සෑම කෙනකුට ම එවේලෙහිම ප්‍රයෝජනයට ගත හැකි, එදිනෙදා ජීවිත සිදුවීම් ආශ්‍රයෙන් ගොඩනැඟෙන ප්‍රායෝගික කුසලතාවකි. එය පරලොවට අයිති දෙයක් නොවෙයි.

අවාසනාවකට මෙන් මෙම සාධකය ම සමහර භාවනා සිසුන් පසුබට කිරීමට හේතුවක් වේ. ඔවුන් භාවනාව පටන් ගන්නේ ක්ෂණිකව දේවදූතයින්ගේ ගායනා සමඟ විශ්ව එළිදරව් කිරීම් බලාපොරොත්තුවෙනි. එනමුත් සාමාන්‍යයෙන් ඔවුනට ලැබෙන්නේ සිතෙහි ඇති කුණුකන්දල් ඉවත් කිරීම සඳහා වඩා කාර්යක්ෂම ක්‍රම හා අන්කල් හර්මන්ගේ ගැටලුව සඳහා වන විසඳුම් වෙයි. එවිට ඔවුහු අනවශ්‍ය ලෙස බලාපෙරොත්තු සුන්කර ගනිති. කුණු ඉවත් කිරීමේ විසඳුම් පළමුව පැමිණෙයි. දේවදූතයන්ගේ කටහඬ ඇසෙන්නේ සෑහෙන කාලයකට පසු ය.

භාවනාව යථාර්ථයෙන් පලා යෑමක් ද?

නැත. එය වැරදියි. භාවනාව යනු යථාර්ථය වෙතට දිව යෑමකි. එය ඔබගේ ජීවිතයේ වේදනාවන්ගෙන් වෙන් කරන්නේ නැත. වේදනාවේ බාධක සිදුරු කර ගෙන දුක ඉක්මවා යෑම සඳහා ජීවිතයේ සෑම පැතිකඩක් ම අළලා ගැඹුරින් ගවේෂණය කිරීමට එය ඔබට ඉඩ සලස්වයි.

විපස්සනාව යනු ජීවිතයේ යථාර්ථයට මුහුණ දී, ජීවිතය සම්පූර්ණයෙන් ඇති සැටියෙන් අත් දැක, තමාට එහි දී මුණගැසෙන සියල්ල නිසිපරිදි හසුරුවා ගැනීමේ අදහසින් කෙරෙන අභ්‍යාසයකි. එය මායාවේ කඩතුරු ඉවත් කර, ඔබ ඔබට ම කියාගන්නා බොරුවලින් ඔබ ව නිදහස් කරයි. පවතින දේ පවතියි. ඔබ ඔබ ම වෙයි. ඔබගේ දුර්වලකම් හා පෙළඹවීම් ගැන ඔබට ම කර ගන්නා වංචාවෙන් සිදුවන්නේ වඩාත් තදින් මායා චක්‍රයේ වෙළීමයි.

විපස්සනාව තමාගේ ගැටලුව වසා දමන හෝ තමාව අමතක කර දැමීමට ගන්නා උත්සාහයක් නොවෙයි. එය ඔබ සිටින ආකාරයෙන් ම ඔබව දැක ගැනීමට ඉගෙන ගැනීමයි. පවතින දේ කුමක් දැයි දැක එය මුළුමනින් ම බාර ගැනීමයි. ඔබට වෙනස් වීමට හැකි වන්නේ එවිට පමණි.

මහත් ප්‍රීති ප්‍රමෝදයක් අත් කර ගනු සඳහා භාවනාව කදිම මාර්ගයක් ද?

පිළිතුර? ඔව් සහ නැත.

භාවනාවේ යෙදෙන සමහර අවස්ථාවල දී ප්‍රමෝදමත් හැඟීම් ජනිත වෙයි. නමුත් ඒවා ප්‍රධාන අපේක්ෂාව නොවෙයි. ඒවා සෑම භාවනා කාලයක දී ම අත් නොදකියි. සිහිකල්පනාව (එළැඹි සිහිය) වඩා ගැනීමේ අභිප්‍රායෙන් තොරව, ප්‍රමෝදයක් අපේක්ෂාවෙන් භාවනාවට වාඩි වූ විට එය ඉටු නොවීමේ ඉඩකඩ වැඩියි. ප්‍රමෝදය හට ගන්නේ මානසික විවේකය තුළිනි. මානසික විවේකය ඇති වන්නේ ආතතිය මුදාහළ විටයි. භාවනාවෙන් ප්‍රමෝදය බලාපොරොත්තු වීම නිසා ඉපදෙන ආතතිය මගින් ක්‍රියාදාමය විසිරී යයි. එය තවත් උගුලකි. ප්‍රමෝදය ලබා ගැනීමට නම් එය පසුපස හඹා නො යා යුතුයි. ඔබ ලබා ගැනීමට උත්සාහ දරන්නේ ඉතා සුන්දර හැඟීම් හා මහත් ප්‍රීතිය නම්, ඒවා ලබා ගත හැකි අන් පහසු ක්‍රම ඇත. රට පුරා තැබෑරුම්වල දී සහ දුරාචාරයේ යෙදෙන පුද්ගලයන් වෙතින් වීදි කොනේ දී ඒවා ලබා ගත හැක. භාවනාවෙන් අප සොයන්නේ මහත් සොම්නසක් හෝ දිව්‍ය සැපත නොවෙයි. නිතරම ඇතිවුණ ද එය අතුරු ඵලයක් පමණක් ලෙස සැලකිය යුත්තකි. එය ඉතා ප්‍රියජනක වූ ද දිගු කාලයක් භාවනාවේ යෙදෙන විට නිතර නිතර අත්විදීමට හැකි අතුරු ඵලයකි. ඉතා ප්‍රවීණ භාවනානුයෝගීන් වුව ද මෙම කරුණු පිළිබඳ එකඟ වනු ඇත.

භාවනාව ආත්මාර්ථකාමී ක්‍රියාවක් ද?

සැබවින්ම එය පෙනෙන්නේ එසේ ය. භාවනානුයෝගියා කුෂන් කොට්ටයක් මත වාඩිවී හිඳීයි. ඔහු ලේ දන්දෙමින් හිඳීයි ද? නැත. ඔහු ආපදාවන්ට ලක්වූවන්ට සහන සලසමින් සිටියි ද? නැත. නමුත් අපි ඔහුගේ චේතනාව විමසා බලමු. ඔහු මෙසේ කරන්නේ කුමක් නිසා ද?

තමාගේ සිතෙන් තරහව, අගතිය හා වෛරය පහ කිරීමේ අදහසින් ඔහු එසේ කරයි. ඔහු ඉතා ක්‍රියාශීලී ලෙස තෘෂ්ණාව, ආතතිය, අසංවේදී බව ඉවතලෑමේ ක්‍රියාවේ නිරතව සිටියි. අන් අය වෙත දක්වන කරුණා මෛත්‍රියට හරස් කපන්නේ ද මෙම සිතුවිලි වෙයි. මෙම කිලිටි සිතුවිලි පහවී නොයන තුරු, ඉටු කරන යහපත් ක්‍රියා බොහෝදුරට තමාගේ මමත්වය තහවුරු කරන්නක් පමණක් විය හැකි බැවින් අවසානයේ දී ඉන් එතරම් වැඩක් නොවීමට පුළුවන.

උපකාර කිරීමේ නාමයෙන් අවැඩක් කිරීම, ඉතා පැරණි අභ්‍යාසයකි. ස්පාඤ්ඤ පරීක්ෂණ සභාවේ ප්‍රධාන විමර්ශකයා එම පරීක්ෂණයට උදාර හේතු දැක්විය. “සාලෙම්” මායාකාරියන්ට විරුද්ධ අපරාධ නඩු විභාගයක් පවත්වන ලද්දේ “මහජන සුභසිද්ධිය” සඳහා බව කියන ලදී.

ප්‍රවීණ භාවනානුයෝගීන්ගේ පෞද්ගලික ජීවිත පිරික්සා බලන කල ඔවුන් සැබැවින් ම මානව සුභසිද්ධිය උදෙසා සේවයේ යෙදී සිටින බව දැකගත හැකි ය. උසස් ආගමික අරමුණක් උදෙසා බව අඟවමින් අනුන්ගේ ජීවිත බිලි දීමට නොපසුබට වන ඇතැම් ධර්ම දූතයන් මෙන් ඔවුහු ක්‍රියා නොකරති. ඇත්ත පිළිගන්නේ නම් අප සිතා සිටිනවාට වඩා අපි ආත්මාර්ථකාමීහු වෙමු. මමත්වය මුල් වූ විට ඉතාම උදාර කාර්යයක් පවා නොවටිනා පහත් තත්ත්වයකට ඇද වැටෙයි. ආත්මාර්ථකාමි බව ප්‍රකාශ වන විවිධ සියුම් ක්‍රම හැඳීන්වීම තුළින් භාවනාවේ දී අපි අපගේ සැබෑ ස්වරූපය දැක ගනිමු. එවිට අපි සත්‍ය වශයෙන් ම ආත්මාර්ථයෙන් බැහැර වන්නට පටන් ගනිමු. එසේ නම් ආත්මාර්ථකාමි බවෙන් තමා සෝදා පවිත්‍ර කිරීම වන භාවනාව ආත්මාර්ථකාමී ක්‍රියාවක් වන්නේ නැත.

භාවනාවේ දී වාඩි වී උදාර සිතිවිලි කල්පනා කරනවා ද?

නැවත වතාවක් ඔබ වැරදියි. මෙවැනි මෙනෙහි කිරීම් සිදුකරන කණ්ඩායම් ද ඇත. නමුත් එය විපස්සනාව නොවෙයි. විපස්සනාව යනු එළැඹි සිහියෙන් හිඳීමට පුරුදු පුහුණු වීමයි. පරම සත්‍යය හෝ වේවා තුට්ටුවක් නොවටිනා දේ හෝ වේවා වෙනසක් නැතිව සිත තුළ පවතින දේ පිළිබඳ දැන ගැනීමයි. සැබැවින් ම ඔබගේ භාවනා කාලය තුළදී උදාර සිතිවිලි පැන නැඟීමට ඉඩ ඇත. ඒවා කිසිසේත් ම මඟ හැරිය යුතු නැත. එමෙන්ම එවැනි දේ සොයා යෑම ද නොකරන්න. ඒවා හුදෙක්ම ප්‍රසන්න අතුරුඵලයන් පමණක් ම ය. විපස්සනාව සරල අභ්‍යාසයකි. විශේෂ මනාපයක් හෝ මානසික ලේබල ඇලවීමක් නැතිව, තම ජීවිතයේ සිදුවීම් ඍජුවම අත්දැකීම විපස්සනාවේ කාර්යයි. අපක්ෂපාතීව ඔබගේ ජීවිතය මොහොතින් මොහොත ඔබ ඉදිරියේ දිග හැරෙන සැටි බලා හිඳීම විපස්සනාවයි. සිදුවන දේවල් සිදුවෙයි. එය එතරම් ම සරල ය.

සති කිහිපයක් භාවනා පුහුණුවෙන් මගේ සියලුම ගැටලු නිරාකරණය වෙයි යන්න ද වැරැදි හැඟීමකි.

බොහොම කනගාටුයි. භාවනාව සියල්ල සඳහා වූ ක්ෂණික ප්‍රතිකාරයක් නොවෙයි. මුලසිටම ඔබට වෙනස්කම් දැකිය හැකි වුව ද, ප්‍රබල ප්‍රතිඵල ලැබෙන්නේ වසර ගණනාවකට පසුව ය. මෙය විශ්වය නිර්මාණය වී ඇති ආකාරයයි. වටිනා කිසිවක් එක රැයකින් දිනාගත නොහැක. සමහර පැතිවලින් ගත්කල භාවනා පුහුණුව අසීරු වීමට පිළිවන. දැඩි විනය සහ වේදනාකාරී පුහුණුවීමේ ක්‍රියාවලියක් එයට අවශ්‍ය කරයි. සෑම භාවනා අභ්‍යාස කාලයක්ම ප්‍රතිඵලදායී වන නමුදු ප්‍රතිඵල ඉතා සියුම් ය. ගැඹුරු මනසේ හටගන්නා වූ එම වෙනස්කම් ප්‍රකාශ වීමට දිගු කාලයක් ගතවෙයි.

වාඩි වී යෙදෙන භාවනා කාලයක දී ඔබ නිරතුරුවම ප්‍රබල ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වන්නේ නම්, සියුම් වෙනස්කම් ඔබට මඟ හැරී යයි.

මින් අධෛර්යයට පත්වෙන ඔබ උත්සාහය අත්හැර දමා වෙනසක් කිසිදාක සිදු නොවනු ඇති බවට සපථ කරයි. මෙහිදී ඉවසීම වැදගත් කුසලතාවකි. ඔබ වෙන කිසිවක් ඉගෙන නොගත්ත ද භාවනාවෙන් ඉවසීමට පුරුදු වෙයි. ඔබ ලබන ඉතා වටිනා පාඩම එය විය හැකියි.

මීළඟ කොටස බිනර පුර පසළොස්වක පෝදා කලාපයේ

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 30 බදාදා
පූ.භා. 11.00 න් පුර පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා
පූ.භා. 07.07 න් ගෙවේ.
30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]