නිකිණි පුර පසළොස්වක පෝ දා 2023-08-30
හොඳම රැකවරණය
ශාසන ඉතිහාසයේ වෙසෙස් සිදුවීම් රැසකට මුල් වූ නිකිණි පුන් පෝ දිනය අදයි. වසරේ අන්
කාලසීමාවන්ට වඩා වස්සාන සමයේ එළඹෙන පුන් පෝ දිනයන්හි වෙහෙර විහාරස්ථාන අතුරු සිදුරු
නොමැතිව උපාසක උපාසිකාවන්ගෙන් පිරී පවතිනු දකින්නට ලැබේ. ඒ වස් කාලය ජීවිතයට පින්
පුරවා ගත හැකි වටිනා ම කාලය බවට බෞද්ධයින් දැඩි සේ විශ්වාස කරන බැවිනි. දැහැමි
සමාජයකට ඒ විශ්වාසය ශක්තිමත් අත්තිවාරමකි.
පුඤ්ඤං වෙ පුරිසො කයිරා
කයිරාථෙ තං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ
සුඛො පුඤ්ඤස්ස උච්චයො
පිනක් කළේ නම් එය නැවත නැවතත් කරන්න. කුසල් රැස්වීම සැපයට කරුණු ය යනුවෙන් ධම්ම
පදයේ පාප වග්ගයේ සඳහන් ය.
අපේ බොදු ජනතාවට දන්දීම, සිල් රැකීම, භාවනා වැඩීම, පින් දීම, පින් අනුමෝදන් වීම,
වතාවත් කිරීම, පිදිය යුත්තන් පිදීම, දහම් දෙසීම, දහම් ඇසීම, සම්දිටු බව දැඩි කිරීම
යන දස මහ කුසල් හි නිරතව ජීවිතයට පින් පුරවා ගත හැකි ය. මේ උදාරතර වස්සානය ඊට විශේෂ
කොට, අධිෂ්ඨානයක් ලෙස සිතෙහි ධාරණය කරමින් ජීවිතයට ප්‍රායෝගික කර ගත හැකි ය.
අපේ බෞද්ධයෝ බොහෝ දෙනෙක් දන් දීමෙහි ඇළුණෝ වෙති. කන්නට ගන්නා බත් පිඟාන වුව ද
කුසගින්නේ පෙළෙන තිරිසන් සතකුට වුව පරිත්‍යාග කරන්නට තරම් ඔවුහු නිර්ලෝභීහු ය. ඒ,
දහම තුළ පුරුදු පුහුණු කළ යහ ගුණ ය. බෞද්ධයා මසුරු මළ දුරු කළ අයෙකි.
සිල්වත් පුද්ගලයාගේ සිත, කය සේ ම වචනය ද සංවර ය. ඒ තුළ අවංක බව විනිවිද දැකිය හැකි
විය යුතු ය. අනුන්ට පෙනෙන්නට රකින සීලය නිෂ්ප්‍රයෝජන ය. තමන්ගේ පටු පරමාර්ථ මුදුන්
පමුණුවා ගන්නවා මිස වෙන යම් සෙතක් නැත.
“ධම්මො හවෙ රක්ඛති ධම්ම චාරි”
ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය තුළින් ම ආරක්ෂා කරන බව ය දහමෙහි අවධාරණය කරන්නේ. එසේ
නම් අපේ සිතිවිලි දැහැමි විය යුතු ය. ක්‍රියාවන්, වචනය දැහැමි විය යුතු ය.
අද බොහෝ දෙනකුගේ ජීවිත විවිධාකාර පැතිවලින් අනාරක්ෂිත වන බවක් පෙනේ. විශේෂයෙන් අපේ
ළමා පරපුර විනාශයට ඇද දමන මත්ද්‍රව්‍ය පාසල පවා ආක්‍රමණය කරමින් සිටින බව ය, සමාජය
තුළින් අසන්නට දකින්නට ලැබෙන්නේ. ජීවිතයේ අත්තිවාරම ළමා කාලයයි. එය ශක්තිමත් වූ
තරමට ය වැඩිහිටියකු ලෙස ඔහුට සමාජයට කරදරයක් නොවී දෙපයින් නැඟී සිටීමට හැකි වන්නේ.
එම ව්‍යසනකාරී තත්ත්වයන්ගෙන් ළමයා මුදා ගැන්ම නීතියට පමණක් කළ නොහැක්කකි. බෞද්ධයන්
ලෙස ළමයාට වග කියන සෑම කෙනකුම ධර්මය තුළ දරුවා හික්මවා ධර්මයේ රැකවරණය ලබා දීමට
වෙහෙසෙනවා නම් අපේ දරුවන්ගේ ළමාවිය කිසිවකුට විනාශ කළ නොහැකි වනු ඇත.
භාවනාව තුළ ලැබෙන ආධ්‍යාත්මික සුවය තමන්ට සේ ම අනුන්ට ද යහපත සදයි. භාවනා කරන
පුද්ගලයා ලෝභ, ද්වේෂ, මෝහාදී සිතිවිලි ටිකෙන් ටික යටපත් කර ගනියි. ඊර්ෂ්‍යාව, වෛරය,
ක්‍රෝධය ආදී විනාශකාරී සිතිවිලි ක්‍රියාවට නොනඟයි. සමාජයේ මිනිසා නිසා වන ව්‍යසන මේ
අනර්ථකාරී කෙලෙස් කෙරෙහි ඇලීම හා ගැටීම මත සිදුවන දේ ය.
බෞද්ධයාට ඒ සියල්ලෙන් වෙන් ව ජීවත් වන්නට මහැඟි සදුපදේශ ධර්මය තුළ අප්‍රමාණ ය. මේ
පෝදා ඒ දහම් දැන ඉගෙන ජීවිතයට ගළපා ගන්නට අප්‍රමාදී වෙමු. එවිට නිසැකව ම තම තමන්
ආරක්ෂා වනු ඇත. |