[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සසර බැමි තද කොට අනන්ත සසර දුක් විඳින්නේ ඇයි?

සසර බැමි තද කොට අනන්ත සසර දුක් විඳින්නේ ඇයි?

බුදුරජාණන් වහන්සේ වජ්ජී ජනපදයෙහි ගංගානදී තෙර උක්කවේලා නම් ගම් ප්‍රදේශයේ වැඩ වාසය කරමින් සිටියා. එහි වැඩවාසය කරන බුදුරජාණන් වහන්සේ දවසක් දා මෙන්න මේ ආකාරයෙන් ප්‍රකාශයක් කළා.

ඒ කාලයෙහි මගධ දේශයෙහි වාසය කළ අනුවණ ගොපල්ලෙක් වස්සාන සෘතුවෙහි අවසාන මාසයෙහි සරත් කාලය එළඹෙමින් පවතින අවදියෙහි කිසිදු වගවිභාගයක් නො කර තම ගවයන් මෙතෙර සිට විදේහිකයන් වාසය කරන උතුරු තීරයට එගොඩ කරමින් සිටියා. වස්සාන සෘතුවෙහි අවසාන කාලය කියන්නේ එම සෘතුව පුරාම වැස්ස වැහැලා පහළ ප්‍රදේශවලට විශාල ජල කඳක් ඇදී ගෙනවිත් මහමුහුදට ගලා ගෙන යන තත්වයක් ඇති අවධියක්. ඒ විතරකුත් නොවේ. මේ අනුවණ ගොපල්ලා එසේ එතෙර කරමින් සිටියේ සාමාන්‍යයෙන් ගවයන් එතෙර කිරීමට මීට පෙර යොදා නො ගත් තොටුපළකිනු යි. මේ නිසා ගව රැළ ම ගඟ මැද දී දිය සුළියකට හසු වී විපතට පත් වී දිවි තොර කර ගත්තා.

මේ ආකාරයෙන් මේ ලෝකයෙහි වාසය කරන කුමන හෝ බමුණු පිරිසක් වුවත්, ශ්‍රමණ පිරිසක් වුවත්, මේ ලෝකයෙහිත්, පර ලෝකයෙහිත් කෙලෙස් බැමිවලින් වෙළී මේ සසරෙහි අවසාන විමුක්තියක් සොයා ගැනීමේ ව්‍යායාමයෙහි දී අදක්ෂ ලෙස, මැලිකමින් ක්‍රියා කරනවා නම් මේ හේතුවෙන් ඔවුන්ට මේ සසරෙහි බොහෝ කාලයක් දුක් විඳීමින් කල් යැවීමට සිදුවනවා මහත් දුක් රැසකට මුහුණ දෙනවා” කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා.

නැවතත් බුදුරජාණන් වහන්සේ වදාරනවා, ”මහණෙනි, මේ අතර තවත් නැණවත් ගොපල්ලෙක් සිටියා. ඒ ගොපල්ලා ඒ ආකාරයෙන් ම වස්සාන සෘතුව හමාර වෙමින් තිබිය දී, සරත් සෘතුව එළඹෙමින් තිබියදී ගංගා නම් ගඟේ මෙතෙර සිට විදේහිකයන් ජීවත් වන උතුරු තොටට ගවයන් එතෙර කරවමින් ක්‍රියා කළා.

ඉතින් ඔහු මේ ක්‍රියාවලියේ දී බුද්ධිමත් පිළිවෙතක් අනුගමනය කළා. මේ අවධියේ හැටියට එදා ගවයන් නිතර එතෙර කරන සුදුසු ම තොටුපළ පළමුවෙන් ම තෝරා ගැනීම පළමුවෙනි පියවර වුණා. දෙවනුව එම ගව රැළ කොටස් වශයෙන් එතෙර කරවීමටත් කටයුතු කළා. එසේ කොටස් කිරීමේදීත් ඊට සුදුසු වන ආකාරයෙන් ගවයන් තෝරා බේරා වෙන් කර ගත්තා. ඔහු වෘෂභ යන ව්‍යවහාරයට ගැනෙන ගවයන්ට නායකත්වය දෙන ශක්තිමත් පෙනුමැති ගවයන් පළමුවෙන් ම එතෙර කළා. ඔවුන් සියලු දෙනා ගඟේ සැඬ ජල තරංග කපා ගෙන වේගයෙන් එගොඩට ගියා.

ඊළඟට තරමත් කුළෑටි ගවයන්, හීළෑ ගවයන් තෝරා ගෙන ඒ දෙපක්ෂය ම එකට මිශ්‍ර කර එගොඩට යැවුවා. මේ පිරිසත් ගඟ මැද දිය සුළි දෙපලු කර නිරුපද්‍රිතව එගොඩට ගියා. ඊ ළඟට ගව නාම්බන් හා නෑම්බියන් ද ගඟ මැද දිය සුළි කපා ගෙන සුව සේ එගොඩට සේන්දු වුණා. අවසානයේ මේ නුවණැති ගොපල්ලා දුබල තත්වයෙන් සිටි වස්සන් එගොඩ කරවිමට ක්‍රියා කළා. ඔවුනුත් දිය සුළි කපා ගෙන නිරුපද්‍රිතව එගොඩට ගියා. මේ අතර එදාම උපන් වසු පැටියෙක් ද තම මවු වැස්සියගේ ඇකයට වී සැඩ පහර කපා ගෙන ගොස් එතෙර යාමට සැලැස්සුවා. මේ ආකාරයෙන් සෑම ගවයකුගේ ම ජීවිතාරක්ෂාවට හේතු වුණේ නියමිත පළපුරුදු තොටින්ම පියවර වශයෙන් ගවයන් එතෙර කරවිමට නුවණැති ගොපල්ලා ක්‍රියාකිරීම නිස යි.

බුදුරජාණන් වහන්සේ මෙහි දී පෙන්වා දෙන්නේ මේ ආකාරයෙන් කුමන හෝ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වේ නම් ඔවුන් මේ ලෝකයෙහි වගේ ම පරලෝකයෙහිත් දක්ෂ නම් ඔවුන්ගේ දේශනා ඇදහිය හැකි නම් එය සත්ව ප්‍රජාවගේ හිතසුව පිණිස පවතිනවා ” කියලා පෙන්වා දුන්නා.

බුදුරජාණන් වහන්සේ මේ අනුවණ හා නුවණැති ගොපල්ලන් දෙදෙනා නිදසුන් වශයෙන් ගෙන පැහැදිලි කරන්නට උත්සාහ කර ඇත්තේ මේ ලෝකයෙහි ජීවත්වන විවිධ ඉගැන්විම් අනුව සසර දුක් විඳීන සත්වයාට එයින් මිදීම සඳහා කුමන හෝ ශාස්තෘවරයකුගේ යුතුකම වන්නේ තම ශ්‍රාවක පිරිසට අවශ්‍ය නිවැරැදි මඟ පළමුවෙන් ම පෙන්වා දීමේ වැදගත්කමයි.

ඒ අනුව මේ සසරින් එතෙර වීමට අවශ්‍ය කරන සුදුසුම, විශ්වාස කළ හැකි, ඇදහිය හැකි, දේශනාවන්ගෙන් පැහැදිලි කරන මාර්ගය පළමුවෙන් ම තෝරා ගත යුතු වෙනවා. ඒ අනුව මේ සසර දිනීමට හෙවත් මාර පරාජයට සුදුසු වන්නේ උන්වහන්සේ අවබෝධ කර ගෙන පෙන්වා දුන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එයින් කියැවෙන ශීල, සමාධි, ප්‍රඥා යන අනුපුර්ව ප්‍රතිපදාව යි.

එය ඊළඟට පෙන්වා දෙන්නේ අපුරු පිළිවෙළකට යි. මුලින් කී නුවණැති ගොපල්ලා වෘෂභ තත්වයේ ශක්තිමත් ගවයා තෝරා ගත්තා මෙන් සසර තරණය කර සිටින්නේ ඒ සඳහා සසර දිගු කලක් පෙරුම්පුරා සුදුසුකම සපුරා වහන්සේ. උන්වහන්සේ නිර්භය යි. එය දේශනාවේ සඳහන් වන්නේ අකුතෝභය යනුවෙන්. උන්වහන්සේට අවවාද අනුශාසනා මගපෙන්වීම් අවශ්‍ය නැහැ. උන්වහන්සේ සසර බැඳ තබන සියලු සංයෝජන ධර්ම දුරු කළ උත්තරීතර පිරිස යි. උන්වහන්සේ මාරයාගේ සැඩ පහර සුණු විසුණු කිරීමට සමත් පිරිස යි.

දෙවනුව එතෙර කරන්නේ කුලෑටි ගවයන් හා හීලෑ ගවයන්. මේ පිරිස ඕරම්භාගිය සංයෝජන ක්ෂය කළ ඕපපාතිකව බඹලොව ඉපිද එහිම සසර දුක් නසා පිරිනිවන්පාන පිරිස යි.

තෙවනුව පරතෙරට යවන්නේ නාම්බන් හා නෑම්බියන්. මේ පිරිස සක්කායදිට්ඨි විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන හා රාග දෝස යන කෙලෙස් තුනී කළ පිරිස යි. මේ පිරිස එක්වරක් පමණක් මෙලොව ඉපිද එම භවයෙහි ම රහත් ව පිරිනිවන් පාන පිරිස යි.

සිව්වනුව එතෙර කරවන්නේ ගඟ හරහා ගිය දුබල වස්සන් මෙන් වූ මුල් සංයෝජන තුන සපුරා ක්ෂය කළ සත්වරක් පමණක් භවගාමි වන එහෙත් සම්බෝධිය උරුම කර ගත් සෝවාන් වූ පිරිස යි.

මවු වැස්සිගේ ආරක්ෂාව යටතේ එතෙර කරවන්නේ ධම්මානුසාරි හා සද්ධානුසාරි පිරිස යි.

මේ සියලු කොටස් මාර බැම්මෙන් මිදෙන පිරිස් ලෙස යි මෙම සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ.

ධම්මානුසාරි හා සද්ධානුසාරි පිරිසට බුදුරජාණන් වහන්සේගේ සිව්වනක් පිරිසම අයත් වෙනවා.

මෙහි දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දීමට උත්සාහ කර ඇත්තේ වැරැදි මාර්ගයෙන් හෙවත් එදා ජීවත් වූ ෂට්ශාස්තෘන්වරු ඇතුළු අන්‍ය දෘෂ්ටිවාදීන්ගේ ඉගැන්වීම් අනුව විමුක්තිය ළඟා කර ගැනීමට ක්‍රියා කරන අනුවණ ජන කොටස් අවසානයේ දී සසර දිග් කර ගෙන නොයෙක් විපත්තීන්ට පත්වන බවයි.

ඉතින් නියම මාර්ගය කියා දෙන, සම්මා දිට්ඨියෙන් ක්‍රියා කරන, ආර්යඅෂ්ටාංගික මාර්ගයෙන්, මැදුම් පිළිවෙතින්, අනුපුර්ව ක්‍රියා මාර්ගයෙන් පියවරෙන් පියවර සසර දුක් නිවාලීමට කටයුතු කරන ආර්ය ශ්‍රාවකයා සෝතාපන්න තත්වයට මුලින් ම පත් වී අවසානයේ දී ක්‍රමානුකූලව දස සංයෝජන ධර්මයන් ප්‍රහීණ කිරීමෙන් නිවන් මඟ පසක් කර ගන්නා ආකාරය මෙම සූත්‍රයෙන් පැහැදිලි කර දෙනවා.

මෙම ගව රැළේ අවසානයට ගමන් කරන්නේ ඉතා දුර්වල ම එදා උපන් වසුපැටි පිරිස යි. එහෙම වුණත් මවු වැස්සිය එතෙරවන්නට සූදානම් නිසා වසු පැටියත් ඒ මඟ යන්නට බලවත් කැමැත්තෙන් තමයි ඉන්නේ.

යම් පමණකට හෝ ශ්‍රද්ධාව ඇති පුද්ගලයා පින, පව දෙකෙහි වෙනස දැන ක්‍රියා කරනවා. බුද්ධාදි රත්නත්‍රය පිළිබඳ විශ්වාසයක් ඇති කර ගන්නවා. කෙලෙස්වලට යටත් නොවී පිනෙහි පවෙහි විපාකය දැන යහපතෙහි පිහිටා ක්‍රියා කරන්නට උත්සාහවන්ත වෙනවා.

යම් පොකුණක මඩ ආදිය ඉවත් වී ඇති විට ජලය පෑදෙන්නා සේ සිතේ ප්‍රසන්න බවක් ඇති වෙනවා. අපේ බොදු පිරිස මේ කියන ශ්‍රද්ධාවෙන් යුක්ත යි. එය ස්ථිර සාර වූ තහවුරු වූ චෛතසික තත්ත්වයක් නොවුණත් ඊ ළඟට ඔහුට කල්‍යාණමිත්‍ර ආශ්‍රය සැලසුණොත් මේ තත්වය තවත් දියුණු කර ගත හැකි වෙනවා.

ඒවගේම දන්දීම්, සිල් රැකීම් ආදි බොදු පිළිවෙත්හි යෙදෙන පිරිස් ක්‍රමයෙන් කල්‍යාණ මිත්‍රයා තවදුරටත් ඇසුරු කරමින්, දහමට යොමු වෙමින්, ධර්මශ්‍රවණය කරමින් නුවණින් කටයුතු කිරීමේ ශක්තිය ඇති කර ගන්නවා. සතර සතිපට්ඨානයෙන් විස්තර වන්නේ මේ ක්‍රියා පිළිවෙත යි. ඒ අනුව මැදුම් පිළිවෙතෙහි පිහිටා විමුක්තිය සාදා ගන්නවා. මෙහි දී ඉතා වැදගත් නිවැරැදි මඟ තෝරා ගෙන ක්‍රියාකිරීම යි.

වැරැදි මඟ යන්නා වූ කවුරු වුව ද විනාශයට පත්වන ආකාරය මෙහි දී අපට පැහැදිලි වෙනවා. මේ තත්වය අද සමාජය දිහා බලන කොටත් අපට තේරුම් ගත හැකි වෙනවා.

බොදුනුවන්ගේ චංචල වූ ශ්‍රද්ධාව ප්‍රයෝජනයට ගෙන පිරිසුදු බුද්ධ වචනයට වැරැදි අර්ථකථන දෙමින්, මෙම සසර දිගු කරන දේශනාවන් කරන පිරිස් අද සමාජයේ ඉස්මතු වි ක්‍රියා කරනවා. ඔවුන් සසර බැමි තද කර ගනිමින් අනන්ත සසර දුක් විඳීනවා. අනිකුත් අයටත් අනුශාසනා, දේශනා පවත්වමින් ඒ අයත් විපතට හෙළනවා.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 30 බදාදා
පූ.භා. 11.00 න් පුර පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා
පූ.භා. 07.07 න් ගෙවේ.
30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]