[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

රටට සශ්‍රීකත්වය උදාකරමින් මහනුවර ඇසළ මහා පෙරහර වීදි සංචාරය කරන වගයි

රටට සශ්‍රීකත්වය උදාකරමින් මහනුවර ඇසළ මහා පෙරහර වීදි සංචාරය කරන වගයි

දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්‍යය දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා අසිරිමත් මංගල සම්මත පෙරහර මංගල්‍යයකි

දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්‍යය පරම පූජනීය ශ්‍රී දළදා වහන්සේ විෂයයෙහි සිදු කෙරෙන වාර්ෂික සතර මංගල්‍යයන් අතුරෙන් සුවිශේෂී පූජා මංගල්‍යයකි. දළදා පූජෝපහාරය, සිවු මහා දේවාලයන්හි දෙවියන්ට භක්ති ප්‍රණාමය දැක්වීම, කලට වැසි ලබා සශ්‍රීකත්වය හා සෞභාග්‍යය ඇති කර ගැනීම අරමුණුූ කොට ගෙන මෙම උතුම් මංගල්‍යය වාර්ෂිකව පැවැත්වේ.

ව්‍යවහාර වර්ෂ 310 වැන්නේ කිත්සිරිමෙවන් රජු දවස පටන් ආරම්භ වූ මේ පූජෝත්සවය ජාතියේ ප්‍රෞඪත්වය හා බෞද්ධ සංස්කෘතියේ අනන්‍යතාව විදහා දක්වන හෙළ මහා කලා මංගල්‍යය සේ දෙස් විදෙස් ජනී ජනයාගේ සිත්සතන් සැදැහැයෙන් පුරවන චිරාගත සාම්ප්‍රදායික පුදසිරිත්වලට අනුගතව සුබ නැකැත් මුහුර්තීන්ට අනුව පැවැත්වේ.

පෞරාණික සිරිතට

විසිතුරු ඇසළ පෙරහර, මංගල්‍යයේ මූලික කටයුත්ත වනුයේ පෞරාණික සිරිත් ප්‍රකාර “පණස’ වර්ගයේ කිරි වෑහෙන ඵල නොදරන කොස් පැළයක් තෝරාගෙන එය වටා පිරිසුදු කොට වටතිර ඇද, වියන් බැඳ, සඳුන් දියර ඉස, දුම්මල අල්වා, පහන් දල්වා පේකර අලුත්නුවර පොරෝකරුවා දෙහි ඇඹුල් ගා ස්නානය කොට ස්තෝත්‍ර ගායනා මැද්දේ ගස කපා හෙළීමයි.

කැපූ ගසින් වියත් තුනක පමණ ප්‍රමාණයක් පිරිසුදු කොට සුදු රෙද්දකින් ඔතා පෙරහරින් ඇතකු පිටින් මහනුවර විෂ්ණු දේවාලයට රැගෙන ඒම සිරිතයි. එහිදී නාථ, විෂ්ණුූ, කතරගම, පත්තිනි යන සිවු මහා දේවාලයන්ට කොටස් කර සතර දේවාලවල බස්නායක නිලමේවරුන් හමුවේ බෙදා දෙන අතර, ඒ ඒ දේවාලයන්හි කපුවන් විසින් කප රැගෙන සුදු රෙද්දකින් ඔතාගෙන ඇතකු පිට නැඟී පෙරහරින් වැඩමවීම සිදු කෙරේ. කප සිටුවීමට දේවාලයේ නියමිත ස්ථානය පිරිසුදු කොට, වට තිර වියන් බැඳ, ගොක් කොළ හා මලින් සරසා ඉන්ද්‍ර දෙවියන් සංකේතවත් කොට දෙපස පොල්ගෙඩි දෙකක් මත තැබූ පහන් දල්වා, ස්තෝත්‍ර ගායනා මැද්දේ කප සිටුවීම සුබමුහුර්තියෙන් සිදු කෙරේ. මෙවර එම කප් සිටුවීමේ මංගල්‍යය මෙම මස 17 වැනි ගුරු දින පෙරවරු 06 පසුවී විනාඩි 12ට වයඹ දිශාභිමුඛව සිරිත් පරිදි පේකොට තබන ලද පණස වෘක්ෂයේ ශාකාවක් ගෙන මහනුවර සිවු මහා දේවාලයන්හි පූර්වාභිමත්ව ඇසළ කප සිටුවීමෙන් ඇරඹුණි. එසේ කප සිටුවීමෙන් අනතුරුව ඒ ඒ දේවාලයේ දුන්න, ඊතලය සහිත දේවාභරණ කෙටි පෙරහරකින් වැඩමවා කප වටා ප්‍රදක්ෂිණා කිරීම සිදු වේ.

දේවාල අභ්‍යන්තර පෙරහර ඇතුලේ පෙරහර වශයෙන් ද භාවිත වේ. එය ඉතා කෙටි පෙරහරකි. පන්දම්, විලක්කු ගෙන ප්‍රධාන කපුවා විසින් දේවාභරණ කප වටා වැඩමවීම එහි සිරිතයි. මෙහි අරමුණ වන්නේ පෙරහර මංගල්‍යය කිසිම උපද්‍රවයකින් තොරව සාර්ථකව පැවැත්වීමට හා සහභාගි වන කලාකරුවන් ඇතුළු සියලු දෙනාගේ ආයුරාරෝග්‍ය සම්පත්තිය හා සුබ ශාන්තිය වඩා වර්ධනය කර ගැනීම ය.

ඉන් අනතුරුව අගෝස්තු මස 21 දින සිට 25 දින දක්වා වීදි සංචාරය කෙරෙන කුඹල් පෙරහර පහක් ද, අගෝස්තු මස 26 වැනි දින සිට 30 දින දක්වා රන්දෝලි පෙරහර පහක් ද, අවසන් රන්දෝලි මහ පෙරහර අවසානයේ මධ්‍යම රාත්‍රියෙහි ගෙඩිගේ විහාරයට පෙරහර කරඬුව වැඩමවන පෙරහරක් ද, පසු දින දහවල් පෙරහරක් ද පැවැත්වීමෙන් පසු ගෙවැදී ඓතිහාසික සෙංකඩගල පුර ඇසළ පෙරහර මංගල්‍යය සමාප්ත වේ.

අනතුරුව රටේ පාලක ප්‍රධානියා වන අතිගරු ජනාධිපතිතුමා වෙත පෙරහර සංදේශය පිළිගැන්වීම ද, ශ්‍රී විෂ්ණු දේවාලයේ පැවැත්වෙන වලියක් නැටුම ද යන සුවිශේෂී කරුණුූවලින් පෙරහරේ කටයුතු සපුරා අවසන් වේ.

පෙර රජ දවසේ

ඇසළ පෙරහරේ පළමුව ගමන් කරනුයේ ශ්‍රී දළදා මාළිගාවේ පෙරහරයි. වර්තමානයේ මෙම පෙරහරේ වැඩම වනුයේ දළදා වහන්සේ නොව සධාතුක ධාතුන් වහන්සේ තැන්පත් කළ පෙරහර කරඬුවයි. දෙවනුව නාථ, විෂ්ණු, කතරගම හා ශ්‍රී පත්තිනි දේවාල පෙරහර අනුපිළිවෙළින් ගමන් කරනු ලැබේ.

දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්‍යය දෙස් විදෙස් නරඹන්නන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා අසිරිමත් මංගල සම්මත පෙරහර මංගල්‍යයකි. මෙකී පෙරහර ආරම්භ වූයේ කිත්සිරිමෙවන් මහ රජු (ක්‍රි.ව. 301 -328) දවස දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟ ය.

මහාවංසයේ සඳහන් වන අයුරු” රජ තෙමේ නව ලක්ෂයක් දන විසඳා දළදා මහ පෙරහර කළේ ය. අවුරුදු පතා අභයගිරි විහාරයට වඩා ගෙන ගොස් දන්ත ධාතුවට මෙබඳු පූජා කරවයි. නියෝග කළේ ය යන්නෙන් එය සනාථ වෙයි.

පාහියන්ගේ දේශාටන වාර්තාවෙහි රජ තෙමේ තුන් වන මස මැද දී (ඇසළ මස) බුදුරජාණන් වහන්සේගේ දළදාව පෙන්වනු ලැබේ. මෙයට දින දහයකට පෙරාතුව කීමෙහි බිනීමෙහි දක්ෂ මිනිසකු රජ ඇඳුම් පැළඳුම් හඳවා, පළඳවා, මොනවට සැරසූ ඇතක්හු පිට නඟවා, නුවර හැවිද අණ බෙර ගසා මෙසේ කියන්ට සලස්වයි.

“බෝසතාණන් වහන්සේ අසෙකි කපක් මහත් වැර වඩා, පෙරුම් පිරූ සේක. සිය සැප පහසු නොතකා සිය රජය ද, සිය බිසව ද දරුවන් ද, දන් දුන් සේක. තමන් ඇස් උගුල්ලා එය ඉල්ලා ආවුනට දුන් සේක.

අද සිට දස දිනකින් ඒ බුදුරදුන්ගේ දළදාව එළියට වැඩමවා අභයගිරි වෙහෙරට පමුණුවනු ලැබේ. පින් කැමති සියල්ලෝ මඟ සම කෙරෙත්වා. කෝවේ. මහවේ සරසත්වා , පුද පිණිස මල් හා සුවඳ පිළියෙළ කෙරෙත්වා”

යනුවෙන් කෙරෙන විස්තරයෙන් එ දවස ඇසළ පෙරහර සංවිධානය වූ ආකාරය කියැවෙයි.

අනුරපුර රාජධානියෙන් අනතුරුව පොලොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගඟසිරිපුර, කෝට්ටේ , සීතාවක යන රාජධානියන්හි ද නොකඩ කොට ඉපැරැණි චාරිත්‍රානුකූලව පෙරහර මංගල්‍යයන් පැවැත්වූ අයුරු මූලාශ්‍රයන්ගෙන් හෙළි වේ.

ඇතැම් සතුරු උපද්‍රව සමයන්හි පෙරහර වීදි සංචාරය නොකළ ද මේ පෙරහර චාරිත්‍රයන් දළදා මාළිගාව අභ්‍යන්තරයෙහි හෝ අඛණ්ඩව පවත්වා ගෙන ඒමට අපේ රජවරු හා දියවඩන නිලමේවරු සමත් වූහ.

චිරාගත සම්ප්‍රදායානුකූලව

වර්ෂ 1592 දී පළමු වැනි විමලධර්මසූරිය රජු දවස ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල පුර රාජධානියට වැඩම වීමෙන් අනතුරුව වර්තමානය දක්වා දළදා පෙරහර මංගල්‍යය අඛණ්ඩව පවත්වා ගෙන ආ බවක් දක්නා ලැබේ. මහනුවර රාජාවලියේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව. 1747 -1781) දවස ක්‍රි.ව. 1753 දී දළදා පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණුූ, කතරගම, පත්තිනි සිව් මහා දේවාලය අනුපිළිවෙළට ගමන් ගන්නා ආකාරයට ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම ආරම්භ විය.

එතැන් සිට අද දක්වා ම මෙම පෙරහර මංගල්‍යය චිරාගත සම්ප්‍රදායානුකූලව ශ්‍රී දළදා මාළිගාව පෙරටුකොට පැවැත්වීම සිරිතයි. චිරාගත සම්ප්‍රදායානුකූලව පවත්වා ගෙන ආ මෙම මංගල්‍යය අපේ රජවරුන් හා ඔවුන්ගෙන් අනතුරුව දියවඩන නිලමේවරුන් විසින් නොකඩ කොට පවත්වා ගෙන විත් වර්තමානයට දායාද කොට ඇත.

බ්‍රිතාන්‍ය ආක්‍රමණයන්ගෙන් අනතුරුව ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීමේ භාරදූර වගකීම පැවරුණේ දියවඩන නිලමේ වෙතයි. දියවඩන නිලමේවරයකු සතු ප්‍රධානතම නිල කාර්යභාරයක් වන්නේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්ලය චිරාගත සම්ප්‍රදායානු ගත පුද සිරිත්වලට අනුගතව ම පැවැත්වීමයි. වර්තමාන දියවඩන නිලමේතුමන්ගේ නිල කාලය තුළ ද චිරාගත සාම්ප්‍රදායික පුදසිරිත්වලට අනුගතව ම මුළු හෙළයම අසිරිමත් කරවන මෙම පෙරහර මංගල්‍යය වඩාත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට තම දායකත්වය හා ඇප කැප වීම මැනවින් ලබා දීම ජාතියේ වාසනාවකි.

උසස් රස වින්දනයක්

ඇසළ පෙරහර මංගල්‍යයේ චිරාගත සාම්ප්‍රදායික පුද සිරිත් ආරක්ෂා කර ගැනීම වනාහි දියවඩන නිලමේතුමකුගෙන් අපේක්ෂිත මූලික වගකීමකි. එම වගකීම් සම්භාරය මැනවින් දැන හඳුනාගෙන සෙංකඩගල පුර ඇසළ පෙරහර මංගල්‍යයේ ඓතිහාසිකත්වයට, අභිමානත්වයට, අලංකාරයට හා උත්කර්ෂවත් භාවයට කිසිදු හානියක් නොවන අයුරින් වසරින් වසර මෙම දළදා පූජෝත්සව මංගල්‍යය, අත්‍යන්තයෙන් ම පූජෝපහාර මංගල්‍යයක් වශයෙන් පැවැත්වීමට වර්තමාන දියවඩන නිලමේතුමන් සමත් වී තිබීම අගය කළ යුතු ය.

ඒ සඳහා එතුමන්ට මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි අතිපූජ්‍ය මහානායක මා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ, තේවාභාර නාහිමිපාණන් වහන්සේගේ මාර්ගෝපදේශනය හා ආශීර්වාදය නොමඳව ලැබිණ. පෙරහර කාර්යාවලියේ සෑම අවස්ථාවක දී ම වාගේ මහා සංඝරත්නයේ උපදෙස් අනුව යමින් පැරැණි චිරාගත සම්ප්‍රදායික පෙරහර චාරිත්‍රයන්ට හානියක් නොවන පරිදි එය වඩා වර්ධනය කොට උත්කර්ෂවත් ලෙස පැවැත්වීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.

විදේශිකයන් පවා දහස් ගණනින් මෙම පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණියේ එහි පවත්නා චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍රයන් මැනවින් දැක බලා අධ්‍යයනය කොට ගවේෂණය කර රසවින්දනය සඳහා ය. එබැවින් මෙම පෙරහර මංගල්‍යයේ දර්ශනීයත්වය හා ආකර්ෂණීයත්වය මැනවින් ආරක්ෂා කර ගත යුතුව පවතී.

පාරම්පරික නැටුම් කලාවට ඇගයීමක්

සෙංකඩගල පුර ඇසළ පෙරහර මංගල්‍යය ආකර්ෂණීය හා දර්ශනීය මංගල්‍යයක් කර ගැනීමෙහිලා වඩාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනුයේ නර්තන හා වාදන කලා ශිල්පීහු ය. එහෙත් ඔවුනට ලැබෙන සමාජ තත්ත්වය හා පිළිගැනීම නිසි අයුරින් නොලැබීම හේතු කොට ගෙන අනාගතයට සිදුවිය හැකි බලවත් පාඩුව දැන හඳුනාගෙන, පාරම්පරික කලා ශිල්පීන්ගේ ජීවන තත්ත්වය හා කලා කුසලතාව ඉහළ නංවා ගැනීමේ පියවර රාශියක් එතුමා විසින් ගනු ලැබ ඇත.

කලා ශිල්පීන්ගේ ජීවනෝපාය නංවාලීමට අවශ්‍ය පියවර ගන්නා අතර, ඔවුන්ගේ කලා කුසලතාවන් අගයමින් මූල්‍ය තිළිණ ප්‍රදානය, ඇඳුම් ආයිත්තම් සපයා දීම, වාද්‍ය භාණ්ඩ සපයා දීම මැනවින් ඉටු කරමින් මෙම කලාවන්හි නියැළී සිටීමට අවශ්‍ය අභිපේ‍්‍රරණය ලබාදී ඇත්තේ ය.

එසේම පෙරහරේ නර්තන ශිල්පීන් පිළිබඳ පෙර පුහුණුවීම් හා පෙරදැකුම් පැවැත්වීම තුළින් මනා ගුණාත්මක අගයක් පෙරහර මංගල්‍යය තුළ ඇති කර ගැනීමට යත්න දරා ඇත්තේ ය. ඒ සමඟම පාරම්පරික නැටුම් කලාවේ තිර පැවැත්ම අරභයා පාසල් සිසුන්ගෙන් තෝරා ගත් නර්තන කණ්ඩායම් කිහිපයක් පාරම්පරික ප්‍රවීණ කලාකරුවන්ගේ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත පුහුණුූ කරවා පෙරහරට සහභාගි කරවා ගැනීමට පියවර ගැනීම එම උතුම් මංගල්‍යයේ අනාගතය නිසි සේ සුරක්ෂිත කර ප්‍රවර්ධනය කිරීමට ගත් මාහැඟි පියවරකි.

එසේම මාළිගාව විසින් පුහුණු කළ දක්ෂ තරුණ නැටුම් කණ්ඩායම් කිහිපයක් පෙරහරට එක් කර ගැනීම තුළින් එහි විචිත්‍රත්වය වඩාත් ඔප් නංවා ගෙන ඇත.

හීලෑ අලි ඇතුන්ගේ හිඟය වසරින් වසර ඉහළ යාම නිසා පෙරහර මංගල්‍යයට අලි ඇතුන් සහභාගි කරවා ගැනීමේ දුෂ්කරතාව ශ්‍රී දළදා මාළිගාවේ පෙරහර මංගල්‍යයන්ට පමණක් නොව සෙසු පූජනීය පෙරහර මංගල්‍යයන්ට ද ඇතිවෙමින් පවත්නා බලවත් දුෂ්කරතාවකි. එම දුෂ්කරතාව සමනය කර ගනු වස් එතුමා විසින් රජයේ අවධානය යොමු කරවා බුරුමය වැනි රාජ්‍යයන්ගේ අනුග්‍රහයෙන් මාළිගාවේ ඇත් පන්තිය වැඩි කර ගැනීමට පියවර ගත්තේ ය. ඇත්ගොව්වන්ගේ ජීවන තත්ත්වය නඟාලමින් අලි ඇතුන් මනාව රැක බලා ගැනීමට ද පියවර ගෙන ඇත.

නන් දෙසින් සපැමිණෙන ජනතාවට පහසුකම්

පෙරහර නැරඹීමට එන ජනතාවට පහසුකම් රැසක් ද වත්මන් දියවඩන නිලමේතුමා යටතේ සැපයින. මහනුවරට නන්දෙසින් ඇදී එන ජනතාවගේ ආරක්ෂාව, පිරිසුදු ජලය සැපයීම, සනීපාරක්ෂාව සඳහා විධිමත් සැලසුම් කීපයක් ම එතුමා විසින් ක්‍රියාත්මක කරන ලදී.

මෙවර පෙරහර මංගල්‍යය වඩාත් උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට පියවර රැසක් ගෙන ඇති එතුමන්ට එම පෙරහර මංගල්‍යය දළදා පූජෝපහාර මංගල්‍යයක් වශයෙන්, අසිරිමත් ලෙස පැවැත්වීමට දළදා සමිඳුන්ගේ ශුභාශිර්වාදයෙන්, සිවු මහා දේවාලයන්හි දෙවිවරුන්ගේ පිහිටෙන් සෑම සියලුම දෙනාගේ ම සහයානුග්‍රහය නොමඳව ලැබේවා’යි ආශිංසනය කරමු.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 30 බදාදා
පූ.භා. 11.00 න් පුර පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා
පූ.භා. 07.07 න් ගෙවේ.
30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]