[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පන්සාළිස් වසක් මුළුල්ලේ සිරි සදහම් පහස ලද උතුම් වාම ශ්‍රී දළදා වහන්සේ

පන්සාළිස් වසක් මුළුල්ලේ සිරි සදහම් පහස ලද උතුම් වාම ශ්‍රී දළදා වහන්සේ

සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු තථාගත ශ්‍රී ශරීරය ආදාහනය කළ අවස්ථාවෙහි බුදුන් වහන්සේගේ සමසතළිස් දළදා වහන්සේ අතුරින් සතර නමක් ශේෂ වූ බව මහා පරිනිබ්බාණ සූත්‍රය ඇතුළු සාහිත්‍යමය මූලාශ්‍රවල දැක් වේ.

මේ අතුරින් එක් නමක් සක් දෙවිඳු විසින් සිළුමිණ සෑයෙහි තැන්පත් කරන ලද අතර, එක් නමක් ජයසේන නම් නාරජු විසින් නා ලොව වෙත වැඩමවා පුද පූජා පවත්වන ලද බව පැවසේ. තවත් දළදා වහන්සේ නමක් ගන්ධාර දේශයෙහි සිට පැමිණි පුරුෂයකු විසින් ගන්ධාර දේශයට වැඩමවා පුද පූජා පවත්වන ලදී.

එසේ ම තථාගත ශ්‍රී ශරීරය ආදාහනය වන අවස්ථාවේ දී ඛේම නම් මහරහතන් වහන්සේ ඍද්ධි බලයෙන් බුදුන් වහන්සේගේ වම් රදනක දළදා වහන්සේ සියතට ලබා ගෙන කලිඟු රට බ්‍රහ්මදත්ත මහරජුට භාර දුන්හ. එම රජු විසින් මනහර දළදා මන්දිරයක් තනවා දළදා වහන්සේ එහි තැන්පත් කරවා මහත් පුද පූජා පවත්වන ලදී.

අනතුරු ව දීර්ඝ කාලයක් පුරාවට එම පරපුරෙහි කාසිරාජ, සුනන්ද ආදී රජදරුවන් ද එලෙස දළදා පූජා පවත්වන ලදී.

පසු ව, ගුහසීව නම් කාලිංග රජුගේ කාලයෙහි පැළලුප් නුවර පඬි රජු විසින් දළදා වහන්සේ පැහැර ගෙන නොයෙක් උත්සාහ දරා දළදා වහන්සේ විනාශ කිරීමට කටයුතු යොදන ලදී. එහෙත් එම සියලු ප්‍රයත්නයන් නිශ්ඵල වූ අතර දළදා වහන්සේගේ ආශ්චර්යවත් පෙළහර දැක පැහැදුණු පඬි රජු ද මනහර දළදා මන්දිරයක් කරවා දළදා පූජා පැවැත්වී ය.

පසු ව ක්ෂීරධාර නම් රජකු දළදා වහන්සේගේ හිමිකාරීත්වය ඉල්ලා පඬි රජු හා යුද වැදුණු අතර එහිදී පඬි රජු ජය ලැබූව ද දළදා වහන්සේගේ මතු සුරක්ෂිතතාව පිළිබඳ සලකා එතුමන් විසින් නැවතත් දළදා වහන්සේ ගුහසීව රජු වෙත ම භාර කරන ලදී.

පසුව ක්ෂීරධාර රජුගේ බෑණාවරු දෙදෙනෙක් යළිත් දළදා වහන්සේ අරභයා ගුහසීව රජු හා යුද වැදීමට පැමිණි අතර එම අවස්ථාවෙහි ගුහසීව රජු විසින් තම දියණිය වූ හේමමාලා කුමරිය හා බෑණනු වූ දන්ත කුමරු වෙත දළදා වහන්සේ ලක්දිවට වැඩමවන ලෙස භාර කරන ලදී.

මේ අනුව, ක්‍රි.ව. 311 දී එනම් අනුරාධපුර රාජධානි සමයේ දී ලක්දිව රජ පැමිණි කීර්ති ශ්‍රී මේඝවර්ණ මහ රජතුමන්ගේ රාජ්‍යත්වයෙන් නවවැනි වර්ෂයේ දී හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ එම වම් දළදා වහන්සේ ලංකා ද්වීපයට වැඩම කරවන ලදී.

පන්සාළිස් වසක් මුළුල්ලෙහි තථාගතයන් වහන්සේ විසින් ලෝක සත්ත්වයා කෙරෙහි පතළ වූ මහා කරුණාවෙන් යුතු ව දේශිත නිර්මල ධර්මස්කන්ධයෙහි පහස ලැබූ ඒ උතුම් දළදා වහන්සේ කිත්සිරිමෙවන් මහරජු විසින් අපමණ ප්‍රීතිප්‍රමෝදයෙන් යුතු ව පිළිගනිමින් මහ පෙරහරින් රාජමාළිගයට වැඩමවා විචිත්‍ර වූ ස්වර්ණමය කරඬුවක වඩා හිඳුවා මහත් වූ පුද පූජා පවත්වන ලදී.

එපමණක් ද නොව එතුමන් විසින් එතැන් පටන් ලක්දිව රාජ්‍යත්වයට පත් වන සෑම පාලකයකු විසින් ම ශ්‍රී දළදා වහන්සේට සිදුකළ යුතු පුද සත්කාර නොකඩවා, නිසි අයුරින් පවත්වා ගෙන යා යුතු බවට රාජ නියෝගයක් ද පනවන ලදී. එතැන් සිට ලක්දිව රාජ්‍යත්වයට පත්වූ දෙවැනි ජෙට්ඨතිස්ස, බුද්ධදාස, දෙවැනි උපතිස්ස ආදී මහරජවරු ද දළදා වහන්සේ ආරක්ෂා කිරීම හා පුද පූජා පැවැත්වීම තම පරම යුතුකම සේ සලකා නොයෙක් අයුරින් විවිධ පුද පූජාවන් මහත් භක්තියෙන් යුතු ව සිදුකළ බව දළදා වහන්සේගේ ඉතිහාසය විස්තර කරමින් පොළොන්නරු යුගයේ දී සම්පාදිත දාඨාවංසයෙහි දැක්වේ.

මේ අයුරින් ලාංකේය බෞද්ධ ජනයා විසින් අපමණ භක්ත්‍යාදරයෙන් යුතු ව දළදා වහන්සේ ජීවමාන බුදුරදුන් ලෙස සලකමින් විවිධ පුද පූජා පවත්වන්නට වූ අතර කල් යාමේ දී මෙරට රාජ්‍යත්වයේ සංකේතය බවට ද දළදා වහන්සේ පත්වූහ. එ සමයෙහි දළදා වහන්සේ යම් පුද්ගලයකු සතු වී ද හෙතෙම මෙරට පාලකයා ලෙස පිළිගැනීමට රටවැසියෝ උත්සුක වූහ.

අනුරාධපුර යුගයේ සිට සිදුවූ රාජධානි ව්‍යාප්තියත් සමඟ දළදා වහන්සේ ද ක්‍රමයෙන් පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව. කුරුණෑගල. ගම්පොළ හා කෝට්ටේ ආදී රාජධානිවලට වැඩමවා අතීත රජදරුවන් විසින් අලංකාර දළදා මන්දිර ඉදිකර ඒවාහි මහත් ගෞරවයෙන් වඩාහිඳුවා පුදසත්කාර පවත්වන ලදී.

එසේ ම විවිධ කාලවකවානුවල දී පරසතුරු ආක්‍රමණයන්ට රාජ්‍යය නතු වූ අවස්ථාවන්හි දී ශාසන මාමක මහ තෙරවරුන් වහන්සේ හා රාජරාජ මහාමාත්‍යාදීහු තම දිවි දෙවැනි කොට මහත් පරිශ්‍රමයක් දරා දළදා වහන්සේ ආරක්ෂා කළහ.

සෙංකඩගල තම රාජධානිය කර ගනිමින් ක්‍රි.ව. 1592 දී ලක්දිව රාජ්‍යත්වයට පත් පළමු වැනි විමලධර්මසූරිය මහරජතුමන් විසින් පන්සාළිස් වසක් පුරාවට කුරුවිට දෙල්ගමු විහාරයෙහි කුරහන් ගලක සඟවා තිබූ දළදා වහන්සේ මහපෙරහරින් මහනුවරට වැඩමවා විචිත්‍ර වූ දෙමහල් දළදා මන්දිරයක් ඉදිකරවා ස්වර්ණමය කරඬුවක වඩාහිඳුවා පෙර රජදරුවන් සේ ම දළදා වහන්සේ උදෙසා සිදුකළ යුතු සියලු පුද පූජාවන් නිසි අයුරින් නොකඩවා පැවැත්වීම ආරම්භ කරන ලදී. එතැන් සිට මහනුවර රාජධානියෙහි අවසානය දක්වා රාජ්‍යත්වයට පත් වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, ශ්‍රී විජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ ආදී සියලු රජදරුවෝ තම දිවි දෙවැනි කොට දළදා වහන්සේ ආරක්ෂා කළහ.

කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් විසින් දළදා වහන්සේ උදෙසා සිදු කරන ලද පූජාවන් මේ අතුරින් වඩාත් සුවිශේෂී වේ.

ස්‍යාමෝපසම්පදාවතෙහි දැක්වෙන පරිදි එතුමන් විසින් නිරන්තරයෙන් දළදා වහන්සේ උදෙසා සුමන, චම්පකාදී නොයෙක් පුෂ්පයන්ගෙන් ද සඳුන්, අගරු, දෙව්දුරු ආදී සුවඳ ද්‍රව්‍යයන්ගෙන් ද, ගිතෙල්, සකුරු ආදියෙන් ද, මිහිරි ආහාරපානාදියෙන් ද, විවිධ රසකැවිලි ආදියෙන් ද, නොයෙක් තුරු ඵලයන්ගෙන් ද, දැහැත් කපුරු ආදියෙන් ද සුවඳ තෙලින් දල්වන ලද ප්‍රදීපයන්ගෙන් ද, පංච තූර්ය නාදයන්ගෙන් ද, නා නා විධ වස්ත්‍රාභරණාදියෙන් ද, මාහැඟි සිවුරු පිරිකර ආදියෙන් හා ඇත්, අස්, ගවමහිෂ, දැසිදැස්, ගම්බිම් කෙත්වතු ආදී බොහෝ වස්තූන්ගෙන් ද පුද පූජා පවත්වන ලද බව ස්‍යාමෝපසම්පදාවෙහි පශ්චිම භාගයෙහි දක්වා ඇත.

එසේ ම විජය රාජසිංහ මහරජු විසින් ආරම්භ කොට අඩක් නිමවා තිබූ දළදා කරඬුව රනින් නිමවා මනහර විදුරුමිණක් මුදුනෙහි බඳවා තව ද වෛදූර්‍ය මාණික්‍ය එකසිය හැට අටක් ද, පුෂ්පරාග මාණික්‍ය එකසිය හැත්තෑ එකක් ද, නිල් මැණික් පන්සිය අසූ පහක් ද, රත් මැණික් සාරදහස් අටසිය අසූවක් ද, මුතු හැත්තෑ අටක් ද යනුවෙන් දක්වන ලද වටිනා මණික්‍යයන්ගෙන් සරසා, එකී කරඬුවෙහි තැන්පත් කිරීම සඳහා ඊට කුඩා කරඬු දෙකක් ද කරවා මාණික්‍යයන්ගෙන් සරසා පූජා කරන ලදී.

එසේ ම විමලධර්මසූරිය මහරජු විසින් රිදී විසි හතර දහසක් වැය කොට කරවන ලද දළදා කරඬුව ද ස්වර්ණාලේප කොට දළදා වහන්සේ විෂයයෙහි පූජා කර සියලු මහජනයා උදෙසා අවස්ථා කිහිපයක් දළදා ප්‍රදර්ශන පවත්වා ඇත. එම දළදා ප්‍රදර්ශන අවසානයෙහි මනහර රාජාභරණ සහිත සය ලක්ෂ හැටදහසක් වටිනා රන් රිදී මුතුමැණික් ආදී වස්තූන් ද අකවරදාගොඩ, මුතුගල යන ගම්වර ද පූජා කරන ලද බව ස්‍යාමෝපසම්පදාවතෙහි දක්වා ඇත.

එසේ ම පැරැණි දළදා මන්දිරයට ඉදිරියෙන් දැකුම්කළු දෙමහල් දළදා මන්දිරයක් ද එතුමන් විසින් නිර්මාණය කොට විචිත්‍ර චිත්‍ර කර්මාන්තයෙන් අලංකාර කොට රත්‍රන් හා ඇත්දළයෙන් විසිතුරු කැටයම් කරවා මාණික්‍යයන්ගෙන් විසිතුරු වූ මහදොරටු දෙකක් හා කළුවර දැව, ඇත්දළ, රිදී, යකඩ ආදියෙන් කරවන ලද කුඩා දොරටු තුනක් ද කරවා අභ්‍යන්තරයෙහි වෙස්සන්තර, ඒකරාජ, ලෝමහංස ආදී ජාතක කථා 30 ක් ද සක්‍ර, බ්‍රහ්මාදී රූ ද සහිත විසිතුරු සිතුවමින් අලංකාර කරන ලදී.

තව ද, ගල්ටැම් 32 කින් හා විවිධාංගයන්ගෙන් පරිපූර්ණ වූ හේවිසි මණ්ඩපය ද කරවා ධජපතාක, වියන්, වටතිර ආදිය බඳවා මිහිරි නාද ඇති ඝණ්ඨා පෙළින් ද, වෘක්ෂ සමූහයන්ගෙන් ද සරහා දෙව් විමනක් සේ එකී දළදා මන්දිරය අලංකාර කරවන ලදී. අනතුරු ව මුළු නුවර ම ධජපතාකාදියෙන් ද, විවිධාකාර තොරණවලින් ද සරසා අමාත්‍යවරුන් සහිත සියලු මහජනයා රැස්කරවා සර්වාභරණයෙන් සැරසුණු කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් විසින් වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන් ප්‍රමුඛ උභය විහාරවාසී මහානායක, අනුනායක ආදී මහ තෙරවරුන් හා අමාත්‍ය පිරිස ද සහිත ව වර්ෂ 1776 දී පැරැණි දළදා මන්දිරයෙන් අභිනව දළදා මන්දිරයට දළදා වහන්සේ වැඩම කරවූ බව ද එහි දක්වා ඇත.

අතීත දළදා පූජෝපහාර පිළිබඳ විස්තර ඇතුළත් මෙම ලිපියේ ඉතිරි කොටස නිකිණි අව අටවක පෝදා (06) අන්තර්ජාල කලාපයේ පළවේ.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 30 බදාදා
පූ.භා. 11.00 න් පුර පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා
පූ.භා. 07.07 න් ගෙවේ.
30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]