[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා මහානීය මෙහෙවරක ඇරඹුම සිදුවූ නිකිණි පුර පෝ දා

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා මහානීය මෙහෙවරක ඇරඹුම සිදුවූ නිකිණි පුර පෝ දා

වස්සාන සෘතුවෙහි දෙවැනි පුර පොහෝ දිනය නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයයි. ඇසළ මාසයේ වස් විසීමට නොහැකි වූ උපසම්පදා භික්ෂූන් වහන්සේ පසු වස් එළැඹෙන්නේ නිකිණි පුර පොහෝ දිනයට පසු එළඹෙන අව පෑලවිය දින යේ ය.

බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ශ්‍රාවක මහා සංඝරත්නය සිදු කළ මහානීය මෙහෙවරක් වූ ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වූයේ ද නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයේ දී ය. බුද්ධ පරිනිර්වාණය අවස්ථාවෙහි සොවින් තැවුණු පෘතග්ජන භික්ෂූන් සනසවනු පිණිස මහලු කල පැවිදි වූ සුභද්‍ර භික්ෂුව ඇවැත්නි ශෝක නොවන්න. ඒ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුනෙමු. දැන් අපට නීති පැනවීමට කෙනකු නැත. අපට රිසි දේ කළ හැකි ය. යනුවෙන් සිදු කළ අභද්‍ර ප්‍රකාශය මහාකාශ්‍යප මහ රහතන් වහන්සේගේ සවනට යොමු වූයෙන් ධර්ම සංවේග උපදවා මෙම ධර්ම සංගායනාවට කටයුතු සම්පාදනය කරන ලදී.

බුද්ධ පරිනිර්වාණයෙන් සත් දිනක් ඇවෑමෙන් බුදු සිරුර අදාහනය සිදු කිරීමෙන් පසුව එවක ශාසන භාරකාරිත්වයට පත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් විසිරී ඇති මල්ගොඩකට බඳු උපමා ඇති මේ දහම සංගායනා කළ යුතු බව භික්ෂූන් වහන්සේට දැන්වූහ.

බුදුරජාණන් වහන්සේ විවිධ ස්ථානවල දේශනා කළ ධර්මය පිළිවෙළකට ගොනු කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දී තිබේ.

එයට සුදුසුම ස්ථානය අජාසත්ත මහ රජතුමන්ගේ විජිතයෙහි වන රජගහනුවර බව තෝරා ගෙන අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන, ආදී ගුණයන්ගෙන් යුක්ත සිව්පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ 499 නම නමක් හා සේඛව සිටි ආනන්ද හිමියන් සමඟ එහි වැඩම කරන්නට වූහ.

මගධ රට පාලනය කළ අජාසත්ත මහ රජතුමාගේ අනුග්‍රහයෙන් රජගහනුවර වේහාර කඳුවැටි පාමුල සප්තපර්ණි ගුහා ද්වාරයේ පන්සියයක් මහ රහතන් වහන්සේගේ සහභාගීත්වයෙන් සත් මසක් සිදු කළ ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ වූයේ නිකිණි පුර පොහෝ දා ය.

ධර්ම සංගායනාව සඳහා ධර්ම භණ්ඩාගාරික වශයෙන් නම් ලබා සිටි ආනන්ද තෙරුන් අත්‍යාවශ්‍ය වුව ද එම හිමියන් ඒ වන තෙක් රහත් ඵලයට පත්ව නොසිටි බැවින් සංගායනාවට ඇතුළත් කිරීම දුෂ්කර විය. ආනන්ද තෙරුන් හැර ඉතිරි 499 නමක් තෝරා ගෙන සිටිද්දී සංගායනාවට පෙර දා රාත්‍රියේ සතර ඉරියව්වෙන් තොරව ආනන්ද තෙරුන් වහන්සේ රහත් ඵලයට පත් වූහ. එම රාත්‍රියේ ආනන්ද මාහිමියෝ රාත්‍රියෙහි බොහෝ වේලාවක් භාවනාදිය සිදු කිරීමෙන් පසු සක්මන් මලුවෙහි සක්මනෙහි යෙදුණ හ. ඉන් පසු එයිනුත් නික්ම සිය කුටිය තුළ විවේකය සදහා වැඩම කොට සිය කුටියෙහි වූ ඇඳ මතට වැඩම කරන්නට වූහ. එසේ වැඩ සිටින අතරතුර තමන් වහන්සේ ඇඳ මතට දෙපා ඔසවනවාත් සමඟ ම දෙපා ඇඳ මතට නොපැමිණියේ ය. හිස කොට්ටය මතට නොපැමිණියේ ය. උන්වහ්න්සේ ඒ මොහොත් ම සියලු කෙලෙසුන් නසා උතුම් වූ අර්හත්වයට පත් වූහ. එසේ රහත් භාවයට පත් ආනන්ද මහරහතන් වහන්සේ මේ ගෞතම බුද්ධ ශාසනෙහි සතර ඉරියව්වලින් තොරව රහත් වූ එක ම රහතන් වහන්සේ වන සේක.

ලක්දිව කාවන්තිස්ස මහ රජතුමා බුදුරජාණන් වහන්සේගේ නොවිසුරුණු විශාලතම ශාරීරික ධාතූන් වහන්සේ වූ, ලලාට ධාතූන් වහන්සේ (නළල් තලයේ අස්ථිය) නිධන් කොට සේරුවිල මංගල මහා සෑ රදුන් වහන්සේ තැනවීම ආරම්භ කරන ලද්දේ නිකිණි පොහෝ දිනයේ ය.

ඇසළ පෙරහර අතර මුල් තැනට පැමිණෙන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහරෙහි විචිත්‍රවත් ම අංගය වන අවසාන රන්දෝලි පෙරහර පැවැත්වෙන්නේ ද නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයේ ය.

නිකිණි පුර පසළොස්වක

අගෝස්තු 30 බදාදා
පූ.භා. 11.00 න් පුර පසළොස්වක ලබා 31 බ්‍රහස්පතින්දා
පූ.භා. 07.07 න් ගෙවේ.
30 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]