තෙරුවනට
නින්දා කරන අය ඉදිරියේ කෝපයට පත්වෙනවා ද?
කුරුණෑගල මහ දිසාවේ
අධිකරණ සංඝනායක
රාජකීය පණ්ඩිත
වලස්වැවේ ඤාණරතන නා හිමි
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. බ්‍රහ්මජාල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණ වූ මහත්
බික්සඟන සමඟ රජගහ නුවරටත්, නාලන්දා නුවරටත්, අතරෙහි දීර්ඝ මාර්ගයට පිළිපන් සේක්
වෙති.
සුප්පිය නම් පිරිවැජියාත් බඹදත් නම් තරුණ අතැවැස්සා සමඟ රජගහ නුවරටත්, නාලන්දා
නුවරටත් අතරැ වූ දික් මඟට පිළිපන්නේ වේ.
එහි දී සුප්පිය පිරිවැජි නොයෙක් කරුණින් බුදුරජාණන් වහන්සේට දොස් කියයි, ධර්මයට
දොස් කියයි, සංඝයාට දොස් කියයි. එහෙත් ඔහුගේ අතැවැසි තරුණ බඹදත් තෙමේ නොයෙක්
කරුණින් බුදුරජාණන් වහන්සේ පසසයි, ධර්මය පසසයි, සංඝයා පසසයි. මෙසේ ඒ ඇදුරු අතැවැසි
දෙදෙන එකෙක් අනෙකාට ඉඳුරා ම විරුද්ධවාද ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේත් බික්සඟ පිරිසත්
අනුව ගියෝ වෙත්.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අම්බලට්ඨිකා උයනෙහි රාජාගාරකයෙහි (රජගෙහි) බික්සඟන සමඟ
එක් රැයක් නවාතැනකට එළැඹි සේක. බඹදත් නම් තරුණ අතැවැස්සා හා සුප්පිය පිරිවැජියාත්
එක් රැයක් විසීමට එහි ම එළැඹියේ ය. එහි දී ද සුප්පිය පිරිවැජියා නොයෙක් කරුණින්
බුදුරජාණන් වහන්සේට නින්දා කෙරෙයි, ධර්මයට නින්දා කෙරෙයි, සංඝයාට නින්දා කෙරෙයි.
ඔහුගේ අතැවැසි තරුණ බඹදත් නොයෙක් කරුණින් බුදු ගුණ කියයි, දහම් ගුණ කියයි, සඟ ගුණ
කියයි. මෙසේ ඒ ඇදුරු අතැවැසි දෙදෙනා එකෙක් අනෙකාට ඉඳුරා ම විරුද්ධවාද ඇත්තෝ වැ
වෙසෙත්.
ඉක්බිති රෑ අලුයම්හි නැඟී සිටි, නිෂීදන ශාලායෙහි රැස් වැ හුන් බොහෝ භික්ෂූන් අතරැ
මේ කතාව පහළ විය.
“ඇවැත්නි, සත්ත්වයන්ගේ ආශයානුශයයන් දක්නා, අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ
භාග්‍යවතුන් වහන්සේ විසින් සත්ත්වයන්ගේ එකකු අනෙකකුට වෙනස් අදහස් ඇති නියාව කොතරම්
මැනැවින් සියල්ල දන්නා ලද්දේ ද යන මෙය ආශ්චර්ය ය, අද්භූත ය. මේ සුප්පිය පිරිවැජියා
වනාහි නොයෙක් කරුණින් බුදුරජාණන් වහන්සේට දොස් කියයි. ධර්මයට දොස් කියයි. සංඝයාට
දොස් කියයි. එහෙත් මොහු තරුණ අතැවැසි බඹදත් තෙමේ නොයෙක් කරුණින් බුදුගුණ කියයි.
දහම් ගුණ කියයි. සඟගුණ කියයි. මෙසේ මේ ඇදුරු අතැවැසි දෙදෙන එකෙක් අනෙකාට ඉඳුරා
විරුද්ධ කතා ඇත්තෝ භාග්‍යවතුන් වහන්සේත්, භික්ෂු සංඝයාත් පසුපස්සෙහි ගියෝ වෙති”
යනුයි.
එ කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන්ගේ මේ කතාව දැන, නිෂීදන ශාලාව කරා එළැඹි සේක.
එළැඹ, පණවන ලද අස්නෙහි හිඳගත් සේක. හිඳ ගෙන ම, භික්ෂූන් අමතා
“මහණෙනි, තෙපි දැන් කවර කතාවෙකින් හුන්නෝව හු ද? කවර නම් අතුරු කතාවෙක් තොප විසින්
අඩාල කරන ලද ද?” යි විචාරා වදාළ සේක.
මෙසේ වදාළ කල්හි, ඒ භික්ෂුහු “වහන්ස, මෙහි රෑ අලුයම්හි නැඟී සිටි, නිෂීදන ශාලායෙහි
රැස්ව හුන් අප අතරැ මේ කතාව පහළ විය.
‘ඇවැත්නි, සත්ත්වයන්ගේ ආශයනුශය දන්නා, සියල්ල දක්නා, ඒ භාග්‍යවත් සම්‍යක්
සම්බුද්ධයන් වහන්සේ විසින් සත්ත්වයන් එකකු අනෙකෙකුට වෙනස් අදහස් ඇති නිසා කො තරම්
මැනැවින් දන්නා ලද ද’ යන මෙය ආශ්චර්ය ය, අද්භූත ය.
මේ සුප්පිය පිරිවැජියා නොයෙක් කරුණින් බුදුරජාණන් වහන්සේට දොස් කියයි, ධර්මයට දොස්
කියයි, සංඝයාට දොස් කියයි. එහෙත් ඔහු තරුණ අතැවැසි බඹදතා නොයෙක් කරුණින් බුදු ගුණ
කියයි, දහම් ගුණ කියයි, සඟ ගුණ කියයි. මෙසේ මේ ඇදුරු අතැවැසි දෙදෙනා එකෙක් අනෙකාට
ඉඳුරා විරුද්ධ කතා ඇති වැ භාග්‍යවතුන් වහන්සේත්, භික්ෂු සංඝයාත් පසු පස්සෙහි ගියෝ
වෙති’ යි වහන්ස, අප අතරැ මේ කතාව අඩාල විය. එවිටැ භාග්‍යවතුන් වහන්සේ මෙහි
එළැඹිසේකැ’යි භාග්‍යවතුන් වහන්සේට සැළ කළහ.
(ඒ භික්ෂූන්ගේ කතාව අසා භාග්‍යවතුන් වහන්සේ වදාරන සේක්)
“මහණෙනි, අනුන් මට දොස් කියතොත්, ධර්මයට හෝ දොස් කියතොත්, සංඝයාට හෝ දොස් කියතොත්,
එ තන්හි දී තොප විසින් කෝප නො ඉපැදැවියැ යුතු ය. නො සතුට නොම ඉපැදැවියැ යුතු ය.
සිතැ අමනාප බව නො කට යුතු ය. මහණෙනි, අනුන් මට දොස් කීමෙහි තොපි කිපෙන්නහු නම්, නො
සතුටු හෝ වන්නහු නම්, එයින් තොපට ම (තොපගේ ම ධ්‍යානලාභාදියට) අන්තරාය (බාදා) වන්නේ
ය.
“මහණෙනි, අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් නගතොත්, එහි තෙපි කුපිත වන්නහු නම්,
එසේ කල්හි තෙපි ඒ අනුන් කී දෑ සුභාෂිත ද (සත්‍ය කථාවෙක් ද) නැතහොත් දුර්භාෂිත ද
(අසත්‍ය කතාවෙක්දැ) යි දැනැ ගත හැකි වන්නහු දැ?” යි ප්‍රශ්න කළ සේක.
“වහන්ස, මෙය නො වන්නේ ම යැ (කිපුණොත් කියන කතාවේ ඇත්ත නැත්ත දැන ගත හැකි නො වන්නමෝ
මැ යැ)” යි ඒ භික්ෂුහු උත්තර දුන්හ.
එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක
“මහණෙනි, අනුන් මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියතොත්, එහි තොප විසින් “මේ
කාරණයෙනුත් මෙය අභූතයෙකි. මේ කාරණයෙනුත් මෙය අසත්‍යයෙකි. මේ කියන දෝෂය අප කෙරෙහි
නැත, මෙය අප කෙරෙහි අවිද්‍යමාන යැ’යි නැති දොස් නැති සැටියට ම ලිහා ඉවත් කළ යුතු
ය.”
“මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත්, එහි තොප විසින්
පී‍්‍රතිය නො ඉපැදැවිය යුතු ය. සොම්නස නො කළ යුතු ය. සිතෙහි පී‍්‍රතියෙන් ඉල්පුණුබව
නො කළ යුතු ය. මහණෙනි, අනුන් මාගේ හෝ ගුණ කියතොත්, ධර්මයේ හෝ ගුණ කියතොත්, සංඝයාගේ
හෝ ගුණ කියතොත්, එහි තෙපි පී‍්‍රති වන්නහු නම්, සතුටු වන්නහු නම්, තොපට ම එයින්
අන්තරාය වේ. තොපගේ ම ධ්‍යානාදි ගුණලාභයට එය බාධක වේ. මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ
හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත්, එහි තොප විසින්
‘මේ කරුණිනුත් මෙය ඇත්ත ය. මේ කරුණිනුත් මෙය එසේම ඇති එකෙක. මෙය අප කෙරෙහි ඇත්තේ
වේ. මෙය අප තුළ විද්‍යමාන ම යැ’යි ඇතිගුණ ඇතිගුණ වශයෙන් පිළින කටයුතු යි. |