[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගිනි ගත් සිත් මෙත් සිසිල් දියෙන් නිවා සැනසූ මහා කාරුණිකයාණන් වහන්සේ

ගිනි ගත් සිත් මෙත් සිසිල් දියෙන් නිවා සැනසූ මහා කාරුණිකයාණන් වහන්සේ

එකල මුළු අලව් නුවරට ම බිය ගෙන දුන් ආලවක නම් යක්ෂයෙක් විය. අලව් නුවර රජු බිය වද්දා දිනපතා ම දරුවකු බිල්ලට ගැනීමට ආලවකයා රජු පොරොන්දු කරවා ගත්තේ ය. මේ දරුණු යකාට බියව රජතුමා දිනපතා ම යකුට බිල්ලක් ලෙස දරුවකු යැවීමට පටන් ගත්තේ ය. මුළු නුවරම දරුවන් යකාට බිලිවී අවසාන ය. අලව් නුවර රජුගේ පුත් කුමරා යකුට බිලිදීමට නියමිත දිනය උදා විය.

එදින අලුයම මහා කරුණා සමාපත්තියට සමවැදුණු බුදුන් වහනන්සේ ලොව බලන සේක්. මේ යක්ෂයාගෙන් අලව් නුවරට සිදු වූ විපත දුටු සේක. කුමාරයා අනාගාමී ඵලයට පත් වීමටත් ආලවක යක්ෂයා සෝවාන් ඵලයට පත් වීමටත්, වාසනාව ඇති බව උන්වහන්සේට වැටහිණි.

උදෑසන දන් වැළඳූ බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි සිට තිස් යොදුනක් මඟ ගෙවා අලව් යක් භවනට වැඩියේ මොවුන්ට වාසනාව පාදා දීමට ය.

උන්වහන්සේ කිසිදු බියක් නොදක්වා ආලවකයාගේ වාසස්ථානයට වැඩි සේක. එවේලෙහි යක්ෂයා වාසස්ථානයෙහි නොවීය. සිටියේ ඔහුගේ භාර්යාවන් පමණකි. බුදුන් වහන්සේගේ සිරුරෙන් විහිදුණු රශ්මි මාලාවෙනුත්, පියකරු ශාන්ත දාන්ත පෙනුමෙනුත් පැහැදුනු යක් ස්ත්‍රීහු බුදුන්වහන්සේ වෙත පැමිණ පසඟ පිහිටුවා වැන්දාහ. බුදුන් වහන්සේ යකුගේ ආසනයෙහි වැඩ හිඳ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක.

මුළු ප්‍රදේශයෙහි ම අණසක පතුරුවා ගෙන සිටින යක්ෂයා පැමිණ, තමාගේ ආසනයේ කිසි බියක් සැකක් නැතිව වැඩහිඳින බුදුන් වහන්සේ දැක දණ්ඩෙන් පහරලත් සර්පයකු සේ කිපුණේ ය.

“තා වනසමි. පරසක්වළ ගසම්'යි

තර්ජනය කරන්නට විය. එහෙත් බියක් සැකක් නැතිව ශාන්ත දාන්තව පියකරු පෙනුමින් වැඩ සිටින බුදුන් වහන්සේ දුටු ඔහු පුදුමයට පත් විය. උන්වහන්සේට හිරිහැර, ගැහැට කිරීමට සිතාගත් නමුත් ඉන් පලක් නොවීය.

“මහණ වහාම මාගේ භවනයෙන් පිට වෙව“ ඒ යකුගේ අණසකයි. "යහපත් මිතුර" යි කියා යකුගේ සිත මොළොක් කිරීම පිණිස කුඩා දරුවකු මෙන් කීකරු බවක් පෙන්වා බුදුන් වහන්සේ විමානයෙන් පිටතට වැඩි සේක.

“එනු” යක්ෂයා නැවතත් විධානය කළේ ය. ඒ විධානයට ද බුදුන් වහන්සේ කීකරු බවක් පෙන්වූහ. මෙසේ තෙවරක් ම යක්ෂ අණට අවනතව ගෙන් පිටවීම හා නැවත ඇතුළු වීම කළ නමුදු සතර වන වර භවනින් පිටතට යන ලෙස යකුගෙන් අණ ලැබුණු විට බුදුන් වහන්සේ ඊට අවනත නොවී ‘මිතුර’ ඔබට හැකි දෙයක් කරන්න. මම මෙතැනින් පිට නොවෙමි’යි ශාන්ත දාන්ත වදනින් පිළිතුරු දුන්හ.

කෝපයෙන් පිපිරි පිපිරී සිටි ආලවකට කරකියාගත හැකි දෙයක් නොවීය. ඔහු බුදුරදුන් වෙහෙසකරවාලීමට සිතන්නේ තමා මවුපියන්ගෙන් ඉගෙන ගෙන තිබුණු ප්‍රශ්න මාලාවක් බුදුරදුන් වෙත ඉදිරිපත් කළේ ය.

“මහණ, මම තොපගෙන් පැනයක් අසමි. ඒ පැනයට පිළිතුරු දීමට නොහැකි වුවහොත් මම තොපගේ සිහිය විකල් කරමි. ඔබගේ හදවත ඉරා දමමි” ආලවක කීය. බුදුන් වහන්සේ යක්ෂයාට පිළිතුරු දෙමින් මාගේ සිහිය විකල් කිරීමට හෝ ගඟින් එතෙරට විසි කිරීමට හෝ හදවත ඉරා දැමීමට හෝ හැකි කෙනෙක් දෙව්බඹුන් මරුන් සහිත මෙලොව නැත. ඉදින් ඔබට යම් ප්‍රශ්නයක් ඇසීමට ඇත්නම් අසව“යි කී සේක.

එවිට ආලවක අසන්නේ “මොලොව මිනිසුනට ඇති ශ්‍රේෂ්ඨතම ධනය කුමක්ද?” කුමක් පුහුණු කිරීමෙන් සැප ලැබේද? රසවලින් අග්‍ර ම රසය කුමක්ද? කෙසේ ජීවත්වන තැනැත්තාගේ ජීවිතය ශ්‍රේෂ්ඨද? යි විමසීය.

ඉක්බිති බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙමින්

“මෙලොව මිනිසාට ශ්‍රේෂ්ඨ ම ධනය ශ්‍රද්ධාවයි. සැප ලැබෙන්නේ ධර්මය හොඳින් පුහුණු කිරීමෙනි. රසවලින් අග්‍ර ම රසය සත්‍යයයි. ජීවිතය ශ්‍රේෂ්ඨ වන්නේ නුවණැති ව ජීවත් වීමෙනි’ යි වදාළ සේක.

නැවතත් ආලවක

“ඕඝ තරණය කරන්නේ කෙසේද? සසර තරණය කරන්නේ කෙසේද? දුක් ඉවතලන්නේත්, පිරිසුදු වන්නේත් කෙසේද? යි විමසීය.

ශ්‍රද්ධාවෙන් ඕඝ තරණය කළ හැකි ය. අප්‍රමාදයෙන් සසර තරණය කැරේ. වීර්යයෙන් දුක් දුරු වේ. ප්‍රඥාවෙන් පිරිසුදු බව ලැබෙයි. පිළිතුරු ලැබිණි

මෙසේ ප්‍රශ්න විසඳෙත් ම ආලවකගේ සැර පරුෂ බව ක්‍රමයෙන් හීන වන්නට විය. බුදුන් වහන්සේගේ මෙත් සිසිලෙන් ඔහුගේ සිත ද සිසිල් විය. ඉක්බිතිව නැවතත් ආලවක අසන්නේ

“ස්වාමීනි, බුදුරජාණන් වහන්ස කෙනකු ප්‍රඥාව ලබන්නේ කෙසේද? ධනය ලබන්නේ කෙසේද? කීර්තියට පත් වන්නේත්, මිතුරන් ලබන්නේත් කෙසේද? මෙලොවින් පරලොවට ගොස් ශෝක නොවන්නේ කෙසේද? යන මේවා මට පැහැදිලි කර දෙන සේක්වා’යි ඉල්ලීය.

ඔහුගේ කතා විලාසයෙන් ම කෝපය සංසිඳුණු බව දිස්විය.

බුදුන් වහන්සේ වදාරන සේක්.

" පින්වත, අප්‍රමාද, දක්ෂ පුද්ගලයා ශ්‍රද්ධාවෙන් රහතන් වහන්සේලාගෙන් ධර්මය ඇසීමෙන් ප්‍රඥාව ලබයි. වගකීමෙන් වැඩ කරන උත්සාහවන්තයා ධනය ලබයි. කීර්තිය ලබන්නේ සත්‍යයෙනි."

“දීමෙන් මිතුරන් ලබයි.”

“ශ්‍රද්ධාවන්ත පුද්ගලයකු කෙරෙහි සත්‍යගරුක බව, ධර්මය, ශ්‍රද්ධාව, ත්‍යාගය තිබේ නම් මෙලොවින් පරලොව ගොස් ශෝක නොවෙයි. මෙයට බාධා වන යම් දෙයක් තිබේ නම් ඔබ වෙනත් බමුණන්ගෙන් අසා දැන ගන්න.”

ආලවකගේ කෝපය නිවිණි. දරුණු බව නැති විණි. නැණැස පෑදිණි . දොහොත් මුදුන් තබා බුදුන් වහන්සේට නමස්කාර කළ ආලවක

“නැත, නැත ස්වාමීනී, ඔබ වහන්සේගේ පිළිතුරු හොඳට ම සෑහේ. මාගේ යහපත සඳහාමයි. ඔබ වහන්සේ මෙහි වැඩම කළේ’යි කීය.

බුදුන් වහන්සේ කෙරෙහි බලවත් ලෙස පැහැදුණේ පැන විසඳෙනු සමඟම හෙතෙම සෝවාන් භාවයට පත්විය.

“ස්වාමීනි, මා අද පටන් දිවි හිමියෙන් බුදුන්, දහම් සඟ සරණ ගිය උපාසකයකු ලෙස පිළිගන්නා සේක්වා.

එදින ද වෙනදා මෙන් ඒ යකුට බිලි පිණිස දරුවෙක් ලැබිණ. ඒ අලව් රජුගේ පුත් කුමාරයා ය. රාජ පුරුෂයෝ බුදුන් වහන්සේ ඉදිරියේ දී ම ඒ දරුවා බිලි පූජාව සඳහා යකුට දුන්නේ ය. සෝවාන් ඵලයට පත්ව සිටි යකු මහත් ලජ්ජාවට පත් විණි. ඔහු ඒ බිල්ල පිළිගෙන, ඒ කුමරා නැවතත් බුදුරජාණන් වහන්සේට පූජා කළේ ය. බුදුන් වහන්සේ පුතා ඇති දැඩි කිරීම රජුට ම පැවරූ සේක. අතින් අතට පත්වෙමින් නැවතත් රජුට ම ලැබුණු මේ කුමරාට එතැන් පටන් “හත්ථාලවක” යන නම යෙදිණ.

බුදුන් වහන්සේගේ කරුණාව, ඉවසීම නිසා මුළු අලව් නුවරට ම සාමය උදා විණි. යක් බිය දුරු විණි.

නිකිණි පුර අටවක

අගෝස්තු 24 බ්‍රහස්පතින්දා
පූ.භා. 03.31 න් පුර අටවක ලබා
25 සිකුරාදා පූ.භා. 03.10 න් ගෙවේ.
24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]