[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පහන් සිතක කවි

බුදු මඟ යමු

සවිබල තෙදැති නිරෝගිකම සත ගතෙහී
තිබුණත් සැමදා එය නොරැකෙයි සැබවී
රෝග විසින් කොයියම් හෝ මොහොතක දී
සවිබල ගතෙහි ලෙඩ දුක් පතුරයි නිතිනී

පෙර පින් නිසා ලද ජීවිත මනු ලොවෙහී
මරු බිලි ගනු ඇත ඉඩ ලද එක් සැණෙනී
උපත විපත යන දෙක කාසියෙ දෙපැතී
වාගේමයි වළකනු බැහැ සසරෙ හැටී

ජරා මරණ ලෙඩ දුක් ගිනි හිමි වෙන්නේ
ඉපදුණ නිසාවෙනි ලෝකයෙ සැබවින්නේ
බුදුහිමි පෙන්වූ මඟෙ යනු මැන මිනිසුන්නේ
එවිට මෙදුක් ගිනි සැම නිති දුරු වෙන්නේ


රත්නපුර හිදැල්ලන වීරගොඩ වෙහෙර හිඳි පිළිම වහන්සේ

අප නොදකින ලොවක් දකින සොඳුරු ‍ෙනතින්
දස දහසක් පිළිම නෙළූ රළු දෙ අතින්
සිය දහසක් දෙනෙත් යොමන රුවන් මතින්
රුවන් පුරට හිමි වැඩියා පුදමු බැතින්

පුදා මල් පහන් පෝදා හිමි මත්තේ
නොදා කිලිටි පව් සිතිවිලි සිත මත්තේ
ඉද්ද රෝස සුදු අරලිය එක ඉත්තේ
සමිඳුනි ඔබේ කරුණාවෙනි පැහැ ගත්තේ

තිස් තුන් කෝටියක් දෙවිවරු ප්‍රමුඛ සමන්
දෙවිඳු සමඟ අප සැම හිමි දෙසට නුවන්
යොමා සසර වසනා තුරු මැණික් පහන්
දල්වා නිතින හිමි ගුණ සිහි කරමු සහන්

පිරුවට ඇඳන් සිත සරසා යහපතිනේ
සමන් දෙවිඳු අවසර ගෙන හද බැතිනේ
තෙරුවන් සරණ ලැබ ඔබ පා මුල සෙවණේ
කරුණා කරමු සිරිපා සමනල මුඳුනේ


සරණාගමනය

ගෞතම නම් සමිඳ බුදු
සරණාගමනයෙන් ඉඳු
නෙක මලින් බුදුන් පිදු
විට පින් බෝවේ ය සිදු

තෙරුවනට කරලා ගරු
අප ජීවිත කරමු සරු
ආවත් ඒ රුදුරු මරු
දහම් මඟේ වෙමු විරු

දන් පැන් ගෙන මුනිඳු පිදු
සැම වෙත පින් වේ ය සිදු
රහතුන් ඒ කෙලෙස් සිදු
ඝොර සසරින් ඔවුහු මිදු


වටිනාකම

ආවේ හිස් අතින්
යන්නෙන් හිස් අතින්
ගෙන යන්නෙ
පින පව කියා කීවත්
ඇයි පුත
මට කියන්නේ
ගෙනයන්න
අවමංගල්‍ය අධ්‍යක්ෂ
නුඹට දුන්
තුට්ටුවක් නොවටින
පෙට්ටියක්.....


පුන් පෝ දා

පහන් හැඟුම් සෙමින් සෙමින් ලැඟුම් ගනියි සුවෙන්
සිහින් සරින් පවන් හමයි සිසිල් බවින් නැවුම්
දසුන් කුසුම් පිපෙයි සුපින් බිමෙන් උතුම් ලෙසින්
පහන් දොරින් ගලයි කැළුම් හැඟුම් ගුවන් ගැබින්

සමන් මලින් නෙළුම් මලින් පිරෙයි පිදුම් අසුන්
උදම් නගයි දහම් පදෙන් නිවන් ගැටුම් බැඳුම්
සුපින්වතුන් සුදින් දිලෙයි නැවුම් වතින් උතුම්
වනන්තරෙන් ඇසෙයි ගැයුම් වැයුම් උදම් හඬින්

බුදුන් නමින් පිදෙයි නිරන්තරෙන් කුසුම් බඳුන්
වඳියි බැතින් දහම් රසින් කියන් තමන් පැතුම්
සඳුන් දුමයි සුගන්ධයෙන් නිතින් පිනයි බැතින්
සුපින්වතුන් පුදයි උතුම් “බුදුන්” “දහම්” “සඟුන්”


උපෙක්ඛා ගුණය

දුකක දි පසුතැවුම හුඟ තැනක දි දකින
සැපතෙ දි තුටු නැඟුම මිනිසුන් පි‍්‍රය කරන
මෙම විදි දෙකම සමබර ලෙස ගෙන නැඟෙන
මන රැඳි උපෙක්ඛා ගුණය ම ලොව දිනන

බඹ විහරණ තුළ ද පුද දෙන ලද ගුණය
සිත මත රැඳෙන විට මතුකරලයි විනය
ඇත කුසලය ද ලෙස නම් කර හැම දිනය
රැස්කරලමු උපෙක්ඛා ගුණ නම් ධනය


සැප සහ දුක

සිතුණත් සැපක් යැයි මෙලොවෙහි ඉපදීම
හැකි වෙද විඳින්නට සැපතක් හැමදාම
සැප යැයි සිතන සැම දෙය දෙස බැලුවා ම
දුකමයි පෙනෙන්නේ නැත මෙහි වැරදීම

වඩමින් ඔවුන් කළ හැකි නම් සිත දියුණූ
හැකි වේ නැසීමට තණ්හා මුල් පිරුණූ
නැසුවොත් සියලු මුල් තණ්හාවේ තියුණූ
වැලකේ ඉපදීම ලොව නැවතත් සිතනු


වන්දේ පා පියුම් අනුබුදු හිමි සාධු

අඹතලයට වැඩිය අනුබුදු මිහිඳු හිමි
ඒ මේ අත දුවපු පව් මල අඳුරෙ තෙමී
පෑතිස් නිරිඳු සිවු හෙළයෙම කිරුළ හිමි
පා යුග වැඳපු හැටි මතකයි දෙදණ නැමී

මුව දඩයමේ ගිය මුත් අවි දරා ගෙන
ලුහු බඳිනවා පව් මල ඔබ සොයා ගෙන
සදහම් පණිවිඩය සිත තුළැ දරා ගෙන
අවිහිංසාව පැතුරුණ සිත හදා ගෙන

අම්බස්තලය දෙදරා දම් නද වීදු
පව් මල අඳුර බිඳ බුදු මොක් මඟ පෑදු
ලක් මෑණියන්ගේ ළය පව් මල සේදු
වන්දේ පා පියුම් අනු බුදු හිමි සාධු

නිකිණි පුර අටවක

අගෝස්තු 24 බ්‍රහස්පතින්දා
පූ.භා. 03.31 න් පුර අටවක ලබා
25 සිකුරාදා පූ.භා. 03.10 න් ගෙවේ.
24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]