[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කෘෂි කර්මාන්තයට මුල්තැන දුන් භාරතීය ආර්ථිකය

කෘෂි කර්මාන්තයට මුල්තැන දුන් භාරතීය ආර්ථිකය

බුද්ධ කාලීන භාරතය නාගරික ශිෂ්ඨාචාරයකින් හා කෘෂිකර්මාන්තය පදනම් කරගත් අර්ථ ක්‍රමයකින් සමන්විත විය. “දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රයේ” විවිධ වෘත්තීන් පිළිබඳ දැක්වෙන තොරතුරුවලින් එකල පැවති අර්ධ නාගරික ශිෂ්ඨාචාරයෙහි ස්වරූපය අනාවරණය වේ. එකල කෘෂිකර්මාන්ත කටයුතුවලට ද හිමි වූයේ ඉතා උසස් තැනකි.

ගෞතම බුදුරදුන්ගේ පරපුර ම පවා කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් පරපුරකි. “බුදුන් වහන්සේගේ ශාක්‍ය පරම්පරාව වනාහි රෝහිණී නදී තීරයේ වැඩුණු සාරවත් සහල්වලින් පෝෂණය වූ පවුලක් යැයි” එච්. ජී. රෝලින්සන් පවසයි.

ආර්යාගමනයේ සිට විවිධ වෙනස්වීම්වලට භාජනය වෙමින් පැමිණි ආර්යයන්ගෙන් කොටසක් වන “වෛශ්‍යයන්” බුද්ධ කාලය වන විට කෘෂිකාර්මික ප්‍රජාව හා වෙළඳ ප්‍රජාව යනුවෙන් කොටස් දෙකකට බෙදී තිබුණේ ය. එම කෘෂිකාර්මික හා වෙළඳ ප්‍රජාව යටතේ ගොඩනැගුණු භාරතීය ආර්ථික ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදා දැක්විය හැකිය. එනම්

කෘෂිකර්මය, සත්ව පාලනය හා ධීවර කටයුතු

විවිධ නිශ්පාදන කර්මාන්ත ආශ්‍රිත කටයුතු

භාණ්ඩ බෙදාහැරීම හා වෙළඳාම පිළිබඳ කටයුතු

විවිධ සේවා සැපයීම්වලට අදාළ කටයුතු

වශයෙනි.

මෙම ආර්ථික ක්‍රම මූලික වශයෙන් වැඩවසම් ලක්ෂණ පිළිබිඹු කරනු ලැබේ. රජය විසින් ආර්ථික කටයුතුවලට මූලික වශයෙන් මෙහෙයවීමක් නොවූ අතර, යම් ප්‍රමාණයකින් සම්බන්ධ වී ඇත. මෙම ආර්ථික කටයුතු පෞද්ගලික මට්ටමෙන් හා සාමූහික මට්ටමෙන් සිදු වී ඇත.

භාරතීය ආර්ථික කටයුතු දෙස බලන විට එහි මුල්තැනක් ගත්තේ කෘෂි කර්මාන්තය යි. එකල සමාජ සංවිධානය අනුව කෘෂිකර්මාන්තයේ යෙදී ඇත්තේ ක්‍ෂත්‍රිය වංශිකයන් ය. ඒ බව දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ මෙසේ දැක්වේ.

“ඛෙත්තානං අධිපතීති ඛො වාසෙට්ඨා ඛත්තියෝ”

පුරාණ භාරතීය ගමක ජන ජීවිතයේ ආර්ථිකය ඉතා සරල විය. සාමූහිකත්වයට තැන දුන් එහි නිවාස ඉතා ළං ළංව පිහිටියේ ය. පොදු වැටෙකින් ආරක්ෂා වූ කුඹුරු යායේ සියලුම ගොවීහු ඒකමතික තීරණ ගෙන ඒ අනුව කෘෂිකාර්මික කටයුතු කළහ. ගමේ පොකුණු තැනවීම, මාර්ග සකස් කිරීම ආදිය සාමූහික මතයට අනුව පොදු ශ්‍රමයෙන් සිදු කෙරිණි. ගව පාලනය සඳහා අවශ්‍ය වන තණ බිමකින් ද, එසේම කැලෑ ප්‍රදේශයකින් ද ගම සමන්විත විය.

සිදුහත් බෝසතුන් පධන් වීර්ය වැඩීම සඳහා උරුවෙල් දනව්වේ සේනානි නම් නියං ගම තෝරාගනු ලැබුවේ රමණීය භූමි භාගයත්, සිත් අලවන වන ලැහැබත්, ගලා යන නදියත්, සුදු වැලි තලාවත්, හාත්පසින්ම වට වූ ගොදුරු ග්‍රාමයත් නිසා බව මජ්ඣිම නිකායේ අරිය පරියේසන සූත්‍රයේ සඳහන් වේ.

“රමණීයො වත භූමිකාගො, පාසාදිකො ච වනසණෙඩා නදී ච සන්දනි, සෙතතා සුපතිත්ථා, රමණීයො සමන්නා ච ගොචර ගාමො, අලංවනිදං කුලපුත්තස්ස පධානත්ථකස්ස පධානාති...”

පොදු ජනතාවගේ ප්‍රධාන රැකියාව වූයේ වී ගොවිතැන යි. වී හැරුණු විට යව, මුං ආදී ධාන්‍ය වර්ග ද, පලතුරු හා එළවළු වතු ආදිය ද ඊට ඇතුළත් විණිි. වේරඤ්ජනා නුවර වස් විසූ බුදුරජාණන් වහන්සේට තුන් මසක් යව හාල් වැළ¼දීමට සිදු වූ කතා පුවතෙන් එකල සමාජයේ යව වැනි ධාන්‍ය වර්ග පැවති බව විශද වේ.

තත්කාලීන භාරතීය අර්ථ ක්‍රමයේ එක් ලක්ෂණයක් නම්, ස්වභාවික සම්පත් ප්‍රයෝජනයට ගැනීමත්, ඊට අනුකූල වන ලෙස කුඩා පරිමාණ කර්මාන්ත දියුණු කර ගැනීමත් ය. මුතු, සක්, කොරල්, මැණික් හා දියමන්ති ඛනිජ සම්පත් අතර වැදගත් විය. ලුණු නිශ්පාදනය, සීනි කර්මාන්තය, කපු කර්මාන්තය, පේෂ කර්මාන්තය, කුඹල් කර්මාන්තය, රථ හා වඩු කර්මාන්තය ආදී කුඩා පරිමාණ කර්මාන්ත ද විය.

මේ හැරුණු විට නැව් තැනීම වැනි කර්මාන්ත ද විය. මෙයින් පැහැදිලි වන්නේ නගර සංකේන්ද්‍රගතව ස්වභාවධර්මයට අනුකූල වූ වාණිජ ආර්ථික රටාවක් එකල තිබූ බවයි. මුගපක්ඛ ජාතක කතාවේ එන කාර්මික ශ්‍රේණි කිහිපයක් ගැන විමසීමක් කරන රීස් ඩේවිඩ්ස් වත්මන් වෘත්තිය සමිතිවල ස්වරූපය දරන සංගම් දහඅටක් ගැන සඳහන් කරයි.

ගොවිතැනටත්, වෙළඳාමටත් බොහෝ උපකාරී වූ ගවයන් බුද්ධකාලීන භාරතීය ජන ජීවිතය හා දැඩිව බැඳුණු සතෙකි. ගවයාගෙන් ඉන්ධන හා ආහාර මෙන් ම ප්‍රවාහන පහසුකම් ද සැලසිණි. සාමූහිකත්වයට තැන දුන් බැවින් ගවයන් සඳහා ගමෙහි සිටියේ එක ම පොදු පාලකයෙකි. මෙය වෛශ්‍යයන්ට හිමි ව තිබූ කාර්යයකි.

“නත්ථි ගො සමිතං දනං” එමෙන්ම මජ්ඣිම නිකායේ ගෝපාලක සූත්‍රයේ ගවයන් බලා ගන්නා ගොපල්ලකු ගැන සඳහන් වේ.

ගැල්කරු වෙළඳ කණ්ඩායම් මඟින් භාණ්ඩ බෙදාහැරීම සිදු කෙරිණ. ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවල භාණ්ඩවලට භාණ්ඩ හුවමාරු කිරීමේ ආර්ථික ක්‍රමයක ලක්ෂණ පැවතුණි. මුදල් ව්‍යවහාරයේ දී රන්, රිදී, මසු, කහවණු හා අඩ කහවණු ආදිය ලැබී ඇත. වාණිජ ව්‍යාපාරයන්ගේ මෙම අභිවර්ධනයත් ඒ සමග ම ඇති වූ මුදල් ආර්ථික රටාවත් බුද්ධකාලීන භාරතීය අර්ථ ක්‍රමයේ තවත් ලක්ෂණයකි. අංගුත්තර නිකායේ වණිජ්ජා සූත්‍රයේ නොකළ යුතු වෙළඳාම් පහක් ගැන සඳහන් වීමෙන් එකල සමාජයේ වෙළඳාම තිබූ බවට සාක්ෂි සපයයි.

සත්ත වණිජ්ජා - වහල් වෙළඳාම හෙවත් සතුන් හා මිනිසුන් වෙළඳාම

සත්ථ වණිජ්ජා - අවි ආයුධ වෙළඳාම

විස වණිජ්ජා - වසවිස වෙළඳාම

මංස වණිජ්ජා - මස් වෙළඳාම

මජ්ජ වණිජ්ජා - මත්ද්‍රව්‍ය වෙළඳාම

මීට අමතරව වෙළඳාම වඤ්චනික විය හැකි කරුණු හයක් දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රයේ දැක්වේ.

තුලා කූට - හොර තරාදියෙන් කිරීම.

කංස කූට - බාල දේ උසස් යැයි පවසා විකිණීම.

මාන කූට - හොර මිනුම් ක්‍රමවලින් මැනීම.

උක්කෝටන - අල්ලස් ගෙන බොරු අයිතිකරුවන් වීම.

වඤ්චන - නොයෙක් උපායෙන් අනුන් රැවටීම.

නිකති - අගනා දෙයට සමාන බාල දෙයක් පෙන්වා දීම.

එමෙන්ම ගැල් මඟින් බරණැස් නුවර සිට උදේනි නුවරට වෙළඳාමේ ගිය බව ගුත්තිල ජාතකයෙහි දැක්වේ.

බුද්ධ කාලයේ පැවති වෙළඳාම

රට අභ්‍යන්තර වෙළඳාම.

ජාත්‍යන්තර වෙළඳාම.

වශයෙන් කොටස් දෙකකි. අභ්‍යන්තර වෙළඳාම නිසා ගම්, නගර යා කරමින් මහ මාර්ග පද්ධතියක් බිහිව තිබුණි. ගැල් 500-1000 වැනි එකවර ගමන් කරන වෙළඳ ගමන් සිදුවිය. මේ වෙරළ මාර්ග ජාත්‍යන්තර වරායවල් දක්වා විහිදී තිබුණි. නිදසුනක් ලෙස නාමිරලිප්නි නම් ගංගානම් ගඟේ වරායේ සිට පැරැණි චම්පා නුවර දක්වා පාටලී පුත්‍ර බරණැස් නුවර මැදින් කෝසම්බිය තෙක් දිවෙන මාර්ගය දැක්විය හැකි ය. ඊටත් අමතරව රටේ ගංගා පද්ධතිය සහය කර ගෙන ඔරු-පාරු, කුඩා නැව් සහය කරගෙන වෙළඳ භාණ්ඩ ප්‍රවාහනය සිදු වී ඇත. ජාතක පාලියේ වණ්ණුපත ජාතකය මීට නිදසුන් ය.

බුදුදහමේ ප්‍රථම ද්වේවාචික සරණ ගිය දෙදෙනා වනුයේ තපස්සු, භල්ලුක නම් වෙළඳ දෙබෑයන් දෙදෙනෙක් ය. එම කරුණ තුළින් බුද්ධ කාලීන භාරතයේ ආර්ථිකයක් පැවති බවටත්, සංචාරක වෙළඳාමක් පැවති බවටත් සාධක දැක්වේ.

වාණිජ්‍ය ක්‍රමයේ අවස්ථා තුනක් දක්නට ලැබේ.

සුළු පරිමාණයේ වෙළඳාම

මධ්‍යම පරිමාණයේ වෙළඳාම

මහා පරිමාණයේ වෙළඳාම යනුවෙනි.

බුද්ධ කාලය වන විට වෛශ්‍යයන්ගෙන් කොටසක් වන වෙළඳ ප්‍රජාව බොහෝ ධනස්කන්දයකට උරුමකම් කියූ පිරිසක් වූ අතර ඔවුන් හඳුන්වා ඇත්තේ ‘සිටු’ යන නාමයෙනි. ඔවුන් එදා ජන සමාජය තුළ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් සිටි ප්‍රභූ පිරිස් අතර, බොහෝ සැප සම්පත් භුක්ති විඳී පිරිසක් වූවා මෙන් ම රජවරුන්ට පවා අභියෝග කළ හැකි පිරිසක් බවට පත්ව සිටියේ ය. බෞද්ධ සාහිත්‍යය අධ්‍යයනය කිරීමේ දී දක්නට ලැබෙන්නේ මේ සිටු ප්‍රජාව රජවරුන්ට පවා දෙවෙනි නොවූ ආර්ථිකය අතින් උසස් පිරිසක් බවයි.

රජවරුන් ද සිටුවරුන්ගේ ධනය කෙරෙහි උකුසු ඇස යොමු කරමින් සිටි බවට තොරතුරු කෝසල සංයුක්තයේ පඨම හා දුතිය අපුත්තක සූත්‍රයන්හි සඳහන් වේ. එහි දැක්වෙන අන්දමට කොසොල් රජතුමා බුදුන් වහන්සේට ප්‍රකාශ කර සිටියේ සැවැත්නුවර සිට කළුරිය කළ, පුතුන් රහිත අපුත්තක සිටුවරයාගේ ධනය රාජ මාළිගයට ගෙන එන බව ය.

“ඉධ භනෙත සාවත්තියං සෙට්ඨි ගහාපති කාලකතො නමහං අපුන්නකං සාපනෙය්‍ය රාජනෙතපුරං අනහරිත්වා ආගච්ඡාමි”

බුද්ධ කාලය වන විට ඉතා දියුණු ලෙසින් ද, පුළුල් ව ද, සංකීර්ණ ව ද, වෙළඳ රටාවක් පැවති නිසා ම රජගහනුවර, ශ්‍රාවස්තිය, උදේනිය වැනි නාගරීකරණයට පත් වූ වෙළඳ නගර පවා ඇති වී තිබිණි. තව ද අංග ජනපදයේ ආපන නගරය, භද්දිය නගරය යන නගර බුද්ධ කාලයේ ඉතා ප්‍රසිද්ධ නගර දෙකකි. ආපන නගරය විශාල වෙළඳ මධ්‍යස්ථානයක් වූ අතර භද්දිය නගරය මහා ධන සිටුවරුන්ගේ වාසභූමියක් විය. සාමාවතියගේ පියාණන් වූ භද්‍රාවතී හා විශාඛාවගේ පියාණන් වූ ධනංජය යන සිටුවරු භද්දිය නගරයේ සිටි සිටුවරුන් දෙදෙනෙකි.

මේ කරුණ තුළින් අනාවරණය වන්නේ ආර්ථිකය අතින් සමෘද්ධිමත් පිරිසක් බුද්ධ කාලීන භාරතයේ විසූ බවයි. ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලිය කෘතියේ මච්ඡරිය කෝසිය සිටාණන්ගේ කතා වස්තුවෙහි දැක්වෙන්නේ සිටාණන්ට කැවුම් කෑමේ ආසාව ඇති වූ විට බිරිඳ සිටාණන්ට පවසා සිටියේ මුළු නගරයට ම කැවුම් සාදා දිය හැකි බවයි. එම ප්‍රකාශයෙන් ම ඔවුන් තුළ පැවති ආර්ථික ශක්තිය විශද වේ.

බුද්ධකාලීන භාරතීය ආර්ථික ස්වභාවය පිළිබඳ තවදුරටත් කරුණු සොයා බැලීමේ දී දක්නට ලැබෙන්නේ කාලයාගේ ඇවෑමෙන් නගර ඉදිවීමත් සමඟ ලෝහ කාසි භාවිතයට ඒම නිසා කාසි භාවිත කරන්නවුන් කෘෂිකාර්මික ප්‍රජාවෙන් වෙන් ව කැපී පෙනෙන පිරිසක් බවට පත් වූ බව ය. බුද්ධ කාලය වන විට කාසි භාවිතය සිදු වූ අතර රන් කහවනු භාවිතය පිළිබඳ බෞද්ධ මූලාශ්‍රවලත් තොරතුරු දක්නට ඇත. ඊට අමතරව රිදී සහ ලෝකඩ ලෝහ ආශ්‍රිත කාසි නිසැක වශයෙන් පරිශීලනය වන්නට ඇතැයි කිව හැකි ය. භාණ්ඩ මිල පාලනයට රජය මැදිහත් වීමෙන් ද, සංවිධානගත ශක්තිමත් වෙළඳ ශ්‍රේණි මගින් ද සිදුවිය. අය බදු අය කිරීම පාලන තන්ත්‍රයේ කටයුතුවලට අයත් විය. වෙළඳ නායකයන්ට රජයේ අනුග්‍රහය, වරදාන, වරප්‍රසාද හිමි විය. අනේපිඬු සිටුතුමා විසින් පනස් කෝටියක් ධනය වියදම් කරවා ජේතවනාරාමය පූජා කිරීම, විශාඛාව විසින් සත්කෝටියක් වටිනා මහාමේල පළඳනාව විකුණා පූර්වාරාමය සාදා පූජා කිරීම බුද්ධකාලීන භාරතය තුළ කාසි මෙන් ම වෙළඳාම ද පැවති බව ප්‍රකට කරවයි.

බුද්ධකාලය වන විට භාරතීය වෙළෙන්දන්ගේ වෙළඳ සංවිධාන ඇති වී තිබිණි. නිගම, පූග, සංස, නිකාය, ශ්‍රේණි වැනි නම්වලින් එම සංවිධාන හඳුන්වා ඇත. එම සංවිධානවල ප්‍රධානීන් පමුඛ, ජෙට්ඨක, වැනි නම්වලින් හඳුන්වා ඇත.

මෙම වෙළඳ ප්‍රජාව අතර ප්‍රධාන වෙළෙන්දන් ‘මහා සෙට්ඨි’ යන නමින් ද, ඔවුන්ට වඩා පහළින් සිටින්නන් ‘උත්තර සෙට්ඨි’ හෙවත් ‘අනු සෙට්ඨි’ යන නමින් ද හඳුන්වනු ලැබීය. තව ද එකල සංචාරක වෙළඳාම, පදික වෙළඳාම, ස්ථාවර වෙළඳාම වැනි වෙළඳ ක්‍රම භාවිත කර ඇති බව සූත්‍ර සාහිත්‍යයෙන් ප්‍රකට වේ.

බුද්ධකාලීන භාරතයේ ආර්ථිකය අතින් සමෘද්ධිමත් ම පිරිස අතරින් ධනංජය, අනේපිඬු, සුදන්ත, පූර්ණවර්ධන ආදි සිටුවරුන් ප්‍රධාන තැනක් උසුලනු ලැබී ය. එමෙන්ම රජගහ නුවර අමිතභෝගී සිටුවරුන් පස් දෙනෙක් සිටි බවට බෞද්ධ සාහිත්‍යයෙන් දැකගත හැක. එම සිටුවරු වනුයේ ජෝතිය, ජටිල, මෙණ්ඩක, පුණ්ණක හා කාකාවලිය යන අයයි.

රටේ පාලකයා අධාර්මික වූ කල මහ ඇමතිවරු, මහ ජනතාව අධාර්මික වන බවත්, හිරු, සඳු, නැකැත්, තරු ගමන් කරන මාර්ගය වෙනස් වන බවත්, රාත්‍රි, දිවා, මාස, අර්ධ මාස, සෘතු සංවත්සර, සුළං හමන දිශාව වෙනස් වන බවත්, සුළං හමන දිශාව වෙනස්වීම කරණ කොටගෙන දෙවියන් කිපෙන බවත්, දෙවියන් කිපීමෙන් නිසි පරිදි වැස්ස ලබා නො දෙන බවත්, නිසි කලට වැස්ස නො ලැබීම නිසා මිනිසුන්ගේ කෘෂිකර්මාන්ත කටයුතු සාර්ථක කර ගනු පිණිස භෝගයන්ට වසවිස යොදන බවත්, වසවිස යොදන භෝගයන් අනුභව කිරීමෙන් මිනිසුන් බොහෝ දුර්වර්ණ වන බවත්, ලෙඩ රෝගයන්ට ගොදුරු වන බවත්, අකල්හි මිය යන බවත් අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතයේ අධම්මික රාජ සූත්‍රයේ සඳහන් වේ.

මෙම කරුණින් බුද්ධකාලීන භාරතයේ කෘෂිකර්මාන්තයක් පැවති බවට කරුණු අනාවරණය වේ.

බුදුන් වහන්සේ මගධ කෙත්යාය පෙන්වා ආනන්ද හිමියන්ට ප්‍රකාශ කර සිටියේ ‘ආනන්ද, අපේ චීවරයත් මගධ කෙත් යාය සේ විය යුතු බවයි. ඉන්පසු ආනන්ද හිමියන් මගධ කෙත් යායේ හැඩයට චීවරයක් මසා බුදුන් වහන්සේට පූජා කළ බව මහාවග්ගපාලියේ චීවරක්ඛන්ධකයේ සඳහන් වේ.

එසේම බුදුපුතුන් කෙතකට උපමා කර තිබීමෙන් ද විශද වන්නේ බුද්ධ කාලීන භාරතයේ වී වගාව පැවති බවයි.

එමෙන් ම සුද්ධෝදන, අමිතෝදන, ධෝතෝදන වැනි නම් තුළින් ද ප්‍රකට වන්නේ බුද්ධකාලීන භාරතයේ පැවති කෘෂි ආර්ථිකය යි. යථෝක්ත නාමයන්ගේ නාම මූලයන්ට ‘ඕදන’ යන්න සන්ධි වී ඇත. ‘ඕදන’ යනු බත් ය. සුද්ධෝදන, අමිතෝදන, ධෝතෝදන වැනි රජවරුන් එකම පරම්පරාවක වන අතර, එම පරම්පරාව කෘෂිකර්මාන්තය මූලික කර ගත් පරම්පරාවක් බව ඔවුන්ගේ නම් තුළින් ම ගම්‍ය වේ.

සිදුහත් කුමරුට පස් මසක් ගත වන වප් පුර පසළොස්වක් පොහෝ දවසේ කිඹුල්වත් නුවර පැවති වප්මඟුල් උත්සවයෙන් යථෝක්ත කරුණු ප්‍රකට වන අතර, එම වප් මගුල් උත්සවය රජතුමාගේ මූලිකත්වයෙන් සිදුවීමෙන් අර්ථවත් කෙරෙනුයේ එකල පැවති කෘෂිකර්මාන්තයට රාජ්‍ය සහය නො මදව ලැබුණු බව යි.

මේ සියලු කාරණා සලකා බලන කල බුදුන් වහන්සේ විසින් ආර්ථික සමෘද්ධිය ඇති කර ගැනීම සඳහා දේශනා කළ දීඝ නිකායේ සිඟාලෝවාද, කූටදත්ත, චක්කිකවත්ති සීහනාද , අංගුත්තර නිකායේ ව්‍යග්ඝපජ්ජ, පත්ථකම්ම, කසීභාරද්වාජ, සංයුක්ත නිකායේ කුල සූත්‍රය, සුත්ත නිපාතයේ පරාභව, වසල වැනි සූත්‍ර අධ්‍යනය කිරීමෙන් පිළබිඹු වන්නේ බුද්ධ කාලීන භාරතයේ ආර්ථික ස්වභාවය ඉතා දියුණු තත්ත්වයක පැවති බවයි.

නිකිණි පුර අටවක

අගෝස්තු 24 බ්‍රහස්පතින්දා
පූ.භා. 03.31 න් පුර අටවක ලබා
25 සිකුරාදා පූ.භා. 03.10 න් ගෙවේ.
24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]