[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ලක්දිව වැඩ සිටි රහතන් වහන්සේ

ලක්දිව වැඩ සිටි රහතන් වහන්සේ

බුදු දහමේ ඉගැන්වෙන පරම නිෂ්ටාව වශයෙන් සැලකෙනුයේ නිවනයි. වාණ සංඛ්‍යාත තෘෂ්ණාවෙන් මිදීම නිවන වශයෙන් ථේරවාදී ඇදුරෝ විස්තර කරති. තෘෂ්ණාව හෙවත් ආශාව මුල්කොට ඇති කෙලෙසුන් ප්‍රහීණ කළ පුද්ගලයා රහතන් වහන්සේ ය. රහත් යන්න අර්හත් යන පදය හා සම්බන්ධ ය. එය අර්හත් යන ධාතුවෙන් නිපදී තිබේ. එයින් අදහස් කරනුයේ යෝග්‍ය, සුදුසු පුද්ගලයා යන්නයි.

මෙහි නිරුක්ති අර්ථ රැසක් විසුද්ධි මග්ගයෙහි දැක්වේ. රහතන් වහන්සේ යන අරුත දීමට ක්ෂීණාශ්‍රව යන්න ද වහරට පත්ව ඇත. ක්ෂීණ වූ – පහවූ ආශ්‍රව ඇති තැනැත්තා යනු එහි අරුතයි. කාම, භව, දිට්ඨි සහ අවිජ්ජා වශයෙන් ආශ්‍රව සතරකි. රහත් බවට පත්වීමේ දී මේ ආශ්‍රව සියල්ල ඔහුගේ සන්තානයෙන් බැහැර වේ. එවිට ඔහු නිවනට පැමිණුනා වේ.

“ඛීණා ජාති වූසිතං බ්‍රහ්ම චරියං කතං කරණීයං නාපරං ඉත්ථත්ථාය” යනුවෙන් දැක්වෙන පරිදි එබඳු ශ්‍රේෂ්ඨ පුද්ගලයා ජාතිය හෙවත් උපත පහකොට ඇත. ඒ සඳහා බඹසර හැසිර ඇත. කිරීමට තවත් යමක් ඉතිරි වී නැත. සියලු කෙලෙසුන් නසා ඇත.

නිවන අවබෝධ කිරීමේ මාර්ග තුනක් බුදු දහමේ විස්තර වී ඇත. බුද්ධ, පච්චේකබුද්ධ, අරහත් යනු ඒ මාර්ග තුනයි. රහතන් වහන්සේ අරිය යන නාමයෙන් ද හැඳින්වේ. සියලු පුද්ගලයෝ පෘථග්ජන හා ආර්ය වශයෙන් කොටස් දෙකකට බෙදෙති. කෙලෙස් සහිත පුද්ගලයා පෘථග්ජන වශයෙන් සැලකෙන අතර , උතුම් මගඵලයකට පත් පුද්ගලයා ආර්ය නාමයෙන් හැඳින්වේ.

සෝතාපන්න, සකදාගාමී, අනාගාමී සහ අර්හත් යනුවෙන් ආර්ය භාවයට පත්වීමේ අවස්ථා හතරක් ඇත. මේ එක එකක් මාර්ග සහ ඵල වශයෙන් දෙකොටසකට බෙදේ. මිහිඳු මාහිමියන් ලංකාවේ දී දේශනා කළ පළමු සුත්‍රය වූ චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙන් ප්‍රකාශ වූ පරිදි බුද්ධ ශ්‍රාවකයා ආරම්භයේ සිට චූල, මජ්ක්‍ධිම හා මහා ශීලයන් සපුරා සිත සමාධියට නැඹුරු කළ යුතු ය. ප්‍රථමාදි ධ්‍යාන වැඩිය යුතු ය. අභිඥා උපදවා ගත යුතු ය. ත්‍රිලක්ෂණ අවබෝධය මුල්කොට ඇති විපස්සනා භාවනාවට සිත යොමු කළ යුතු ය. පුබ්බේවියාමය, දිබ්බචක්ඛු හා ආසවක්ඛය යන ත්‍රිවිද්‍යාව මඟින් සියලු කෙලෙස් ප්‍රහිණ කළ යුතු ය.

නිවන් අවබෝධය සම්බන්ධ පළමු පියවර සෝතාපන්න නම් වේ. මෙහිදී සක්කායදිට්ඨි විචිකිච්ඡා හා සීලබ්බත පරාමාස යන සංයෝජන තුන ප්‍රහීණ කෙරේ. කාමරාග සහ පටිඝ යන සංයෝජන දෙක සකදාගාමී මාර්ගයේ දී යටපත් කෙරේ. අනාගාමී මාර්ගයේ දී මුළුමනින් ම පහ කෙරේ. සෙසු සංයෝජන පස අර්හත් මාර්ගයේ පහ කෙරේ. එකී සංයෝජන නම් රූපරාග, අරූපරාග මාන, දිට්ඨි සහ අවිජ්ජා යනුයි.

මෙසේ සියලු සංයෝජන ප්‍රහීණ කිරීමෙන් අර්හත් බවට පත්වේ. සංයෝජන නමින් දැක්වෙන්නේ පුද්ගලයා සසරට බැඳ තබන කෙලෙස් බැමි ය. සෝවාන් ආදි මගඵලවලට පැමිණීමෙන් මේ බැමි බිඳහළ හැකි බව ථේරවාදීන්ගේ අදහසයි.

මිහිඳු මාහිමියන් ලංකාවට බුදුදහම හඳුන්වාදීමෙන් බලාපොරොත්තු වූයේ සියලු කෙලෙසුන් ප්‍රහීණ කිරීමෙන් ලබන රහත් බව පසක් කිරීමට මඟ පෙන්වීමයි. මේ සඳහා බුදුදහමේ නිර්දිෂ්ට අනුපූර්ව ප්‍රතිපදාව ලංකාදීපයෙහි බෞද්ධයන්ට ප්‍රගුණ කරවූ අතර, ඒ මඟ අනුව යමින් ඔවුහු මඟඵල පසක් කළහ. එකල දඹදිව දහස් ගණන් රහතන් වහන්සේගෙන් පිරී පැවති බව අටුවාවන්හි දැක්වෙයි. සංයුක්ත නිකාය අටුවාවේ සඳහන් පරිදි රුවන්වැලිසෑය දෙස බලමින් දකුණූු වාහල්කඩ සිට භික්ෂුන් තිස්දහසක් දෙනා රහත් වී ඇත. එසේම සෙසු වාහල්කඩවල සිටිමින් සෑය දෙස බලා සිට තිස් දහස බැගින් ම වූ භික්ෂූන් ද රහත් වී ඇත.

තිස්සමහාරාමයේ හා සිතුල්පව්වේ විසිහතරදාහක් රහත් භික්ෂූන් විසූහයි විභංග අටුවාවේ සඳහන් වේ. සුප්‍රසිද්ධ අරියවංශ දේශනාවන්හි දී ද රහත් බවට පත් අපමණ භික්ෂූන් සම්බන්ධ තොරතුරු මූලාශ්‍රයවලින් දත හැක.

මේ රහතන් වහන්සේගේ ස්වරූපය කෙබඳු ද? උන්වහන්සේ තුළ පැවති ආධ්‍යාත්මික ශක්තිය කෙබඳු වී ද? ඔවුන් සමාජය සමඟ එක්ව සිදු කළ මෙහෙය කෙබඳු ද? යන කරුණු කෙරේ අප අවධානය යොමුවීම ස්වභාවික ය.

මේ පිළිබඳ අටුවා හා වෙනත් මූලාශ්‍රයවලින් ලැබෙන තොරතුරු ද ඇසුරු කර පිළිගත හැකි විස්තරයක් වල්පල රාහුල හිමියන්ගෛ් “ලංකාවේ බුදුසමයේ ඉතිහාසය” නමැති කෘතියේ දැක්වේ.

එකී විස්තරය හා වෙනත් මූලාශ්‍රයන් අනුව පෙනී යන කරුණක් නම් රහතන් වහන්සේ සෘද්ධි ප්‍රාතිහාර්ය පෑමේ සමත්, අත්‍යන්ත විවේකකාමී, අල්පේච්ඡ වූ ද, යථාලාභ සන්තුෂ්ටියෙන් යුක්ත වූ ද පිරිසක් බවයි. රහතන් වහන්සේ හැම දෙනම ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ සමත් වූහ යි මින් අදහස් නොකෙරේ.

බුද්ධ කාලයේ ම රහතුන් දෙකොටසක් විසූ බවට සාධක ලැබේ. ඉන් එක් කොටසක් අභිඥාලාභී වශයෙනුත්, එක් කොටසක් ශුෂ්ක විදර්ශක වශයෙනුත් හැඳින්විණ. අහසින් යාම, අහසේ පළක් බැඳ වැඩ සිටීම, දියෙහි මෙන් පොළොවෙහි ද කිමිදි යාම වැනි විවිධ ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ සමත්කමක් අභිඥාලාභී රහතන් වහන්සේ සතුව පැවතිණි.

ශුෂ්ක විදර්ශකයෝ හුදෙක් විදර්ශනා වඩා කෙලෙසුන් නැසූ උතුමන් වූ අතර, ඔවුනට යටකී ආකාරයේ ප්‍රාතිහාර්ය පෑමේ සමත්කමක් නොවීය.

ධම්මපදට්ඨ කථාවේ විස්තර වන චක්ඛුපාල හිමි ශුෂ්ක විදර්ශකයෙක් විය. ඔහුට ප්‍රාතිහාර්ය පෑමේ සමත්කමක් නොවීය. බුදු සමයේ පණිවුඩය රැගෙන ලංකාවට වැඩම කළ මිහිඳු මාහිමියන් මෙහි වැඩියේ අහසින් බව කියැවේ. උන්වහන්සේ අභිඥාලාභී රහත් නමක් වූහ.

උන්වහන්සේගේ පණිවුඩයක් ද රැගෙන දහම්සෝ රජු හමුවට ගිය සුමන සාමණේරයන් වහන්සේ ද ධාතුන් වහන්සේ රැගෙන ලංකාවට වැඩියේත්, ධාතු සඳහා ඉන්දියාවට වැඩියේත් ඍද්ධියෙන් බව මහාවංශයේ දැක්වේ.

බුදුන් වහන්සේ ජීවමාන කාලයේ පිණ්ඩෝල භාරද්වාජ නමින් ප්‍රසිද්ධ රහත් නමක් විසින් සිදු කරන ලද ප්‍රාතිහාර්යයක් පිළිබඳ විස්තරයක් ධම්මපදට්ඨ කතාවේ එයි.

ඒ අයුරින් සකසන ලද වඩාත් නිර්මාණාත්මක රචනයක් බුත්සරණේ ද දැක්වෙයි.

එහි දැක්වෙන පරිදි බොහෝ දෙනා බලා සිටියදී ඍද්ධියෙන් අහසට නඟින භාරද්වාජ රහත් නම සැට රියන් ලීයක පිහිටුවන ලද පාත්‍රය ද රැගෙන බිමට බැස්සේ ය. මේ සිද්ධිය බුදුරදුන්ගේ දෝෂ දර්ශනයට ලක් වූ අතර, මෙබඳු කරුණෙහි ප්‍රාතිහාර්ය පෑම ද තහනම් කරන ලදී.

ජනතාවගෙන් ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ ආශාවෙන් හෝ තමාගේ ප්‍රාතිහාර්ය මහිමය පෙන්වීම සඳහා හෝ ඉන්පසු භික්ෂූහු පෙළහර පෑමෙන් වැළකුණහ.

තමන්ගේ රහත් ගුණය හෝ සෙසු ආධ්‍යාත්මික ශක්තිය ප්‍රදර්ශනය කිරීමට රහත්හු නොකැමැති වූහ. එමෙන් ම අත්‍යන්ත විවේකය පි‍්‍රය කළහ. මංගනවාසී ඛුජ්ජතිස්ස තෙරුන්ගේ කථාවෙන් මේ සඳහා තොරතුරු ලැබේ.

උන් වහන්සේගේ රහත් ගුණය අසා වරක් සද්ධාතිස්ස රජු එතුමන් බැහැදැකීමට පැමිණි සැටිත්, ඒ අවස්ථාවේ ඇඳේ වාඩි වී බිම ඉරි අඳිමින් සිටි සැටිත්, රජු කළකිරී ආපසු ගිය සැටිත් එම කථාවෙන් කියැවේ. තමා බැහැදැකීමට රජුගේ පැමිණීම පවා මුන්වහන්සේ නොරිස්සූ අයුරු මෙයින් පැහැදිලි වේ.

රහතුන් තුළ පැවැති සංවරය පිළිබඳ කතා පුවතක් විසුද්ධී මාර්ගයේ එයි. වරක් භික්ෂූන් කීපනමක් විහාර චාරිකාවේ යමින් කරඬු ලෙනට පැමිණ එහි සත්බුදුවරුන්ගේ දැකුම්කලු සිතුවම් බලා එහි වැසි භික්ෂුවට මේ ගැන දක්වා ඇත. සැට අවුරුද්දක් එහි සිටි භික්ෂුව එය එතෙක් නොදැන සිටි බව එහිදී හෙළිවිය. උන්වහන්සේ එතරම්ම ඉන්ද්‍රිය සංවරය පුහුණු කර ඇත.

ඇතැම් කතාවක එන තොරතුරු අනුව ජනතාවගේ ශ්‍රද්ධාව වැඩෙන පරිද්දෙන් ප්‍රාතිහාර්ය පෑමට ඇතැම් රහත්හු ඉදිරිපත් වී ඇත. කලින් සඳහන් කළ මංගනවාසී ඛුජ්ජතිස්ස තෙරුන්ගේ ආදාහන ශිවිකාව අනුරාධපුරයට අහසින් පැමිණි විට දහස් ගණන් සැදැහැවත්හු සැදැහැයෙන් ඉපිළී සාධු නාද පැවැත්වූහ. මෙය ඇසු ලෝහපාසාදවාසී මහාව්‍යග්ඝ රහතන් වහන්සේ ද එබඳුම උදාර අන්දමේ ආදාහනයකට කැමැති වූහ.

මේ අනුව පෙනී යන්නේ ඇතැම් රහතුන්ගේ මේ ආකාර අභිලාෂයක් පැවැති බවයි. රහතුන්ගේ පරිනිර්වාණ ඉරියව් පිළිබඳ සාකච්ඡාවක දී අනාවරණය වී ඇත්තේ ඔවුන් වාඩි වී හෝ දිග ඇදි හෝ සක්මන් කරමින් සිටියදී පිරිනිවන් පාන බව ය. බිම මෙන් ම අහසේ වාඩි වී සිටියදී ද පිරිනිවන්පාන බව දැක්වෙන කතා පුවත් ඇත.

රහතන් වහන්සේගේ කතා පුවත් කීපයක් ගැන සඳහන් කරන රාහුල හිමි උන්වහන්සේ තුළ පැවැතිනැයි පෙනුණු ඇතැම් කුඩා දුර්වලතා කීපයක් ද ඉදිරිපත් කරයි. තලංගරවාසී ධම්මදින්න රහතුන් වහන්සේ වරක් අරියවංස දේශනාව සඳහා තිස්සමහා විහාරයට වැඩි නමුත් උන්වහන්සේ සුදුසු පරිදි පිළි නොගැනීම නිසා කමටහන් දීම ද නොකර ආපසු හැරී ආ බව එක් කතාවකින් කියැවෙයි.

දුටුගැමුණු රජු යුද්ධයේ දී දෙමළ භටයන් මැරීම සම්බන්ධයෙන් තැවෙමින් සිටිය දී රජු සනසාලීමට ලියඟුදිවයින් වාසී රහතුන් විසින් දෙන ලද උපදෙස් රහත් හිමිවරුන්ට අනුරූප නොවන බව පෙන්වා දෙන රාහුල හිමි පස්වන සියවස වන විට රහතුන් වහන්සේ මෙබඳු අදහස් දරන්නට ඇතැයි පිළිගැනීමක් තිබුණා විය හැකියි පළ කරයි.

අන් අය මෙන් රහතන් වහන්සේ ද මහාචේතිය හෝ ශ්‍රී මහා බෝධිය වන්දනා කිරීමෙහි නිරත වූ බව කියැවෙන කතා අටුවාවන්හි දැක්වෙයි. ඇතැම්විට රහත්හු සාමාන්‍ය සමාජ සම්මතයන් නොතකා ක්‍රියා කර ඇති බව දැක්වෙන කථා පුවත් ද හමුවේ. වරෙක ගමක විසූ රහතන් වහන්සේ නමක් තරුණ භික්ෂුවක සමඟ පිණ්ඩපාතයේ යමින් සිටියදී පළමු වැනි ගෙයින් උණු කැඳක් ලැබුණි.

තෙරනම උදරාබාධයකින් පෙළුණු බැවින් දොරපඩියක් ලෙස තබා තිබුණූ කොටය උඩ වාඩිවී කැඳ ටික උණු උණූුවේ ම පානය කළහ. මෙය දුටු තරුණ භික්ෂුව මහලු භික්ෂුවට දොස් නඟමින් ඔහු නුසුදුසු ක්‍රියාවක් කරන ලදැයි ප්‍රකාශ කළේ ය. මෙය විග්‍රහ කරන රාහුල හිමි මෙය විනය අනුව නිවැරැදි වුවත්, රහතන් වහන්සේ විශිෂ්ට ගණයේ චර්යාවෙන් යුක්ත වූ කෙනෙකුන් වශයෙන් ප්‍රසිද්ධව ඇති බව පෙන්වා දෙයි. කෙසේ වුව ද මෙම කතාවෙන් අනාවරණය වන පරිදි එම රහතන් වහන්සේ සමාජ සම්මතය නොතකා හැර ඇත.

ඇතැම් පෘථග්ජන සුසිල්වත් භික්ෂූන් ද රහතන් වහන්සේ වශයෙන් වරදවා පිළිගෙන තිබුණූ බැව් දැක්වෙන කතා මෙන් ම රහත් වීමට තරම් ආධ්‍යාත්මික දියුණුවක් ලබා සිටි එහෙත් රහත් බවට නොපත් හිමිවරුන් ගැන තොරතුරු දැක්වෙන කතා පුවත් ද අපේ අටුවාවන්හි හමුවේ.

සුප්‍රසිද්ධ තලංගරවාසී ධම්මදින්න තෙරුන් වහන්සේ වරක් සිය ආචාර්යවරයා වූ උච්චාලිකා වාසී මහානාග තෙරුන්ගේ මගඵල අවබෝධය ගැන සොයා බලා පිහිටවීමට උන්වහන්සේ හමුවට ගියහ. මූලික සාකච්ඡාවෙන් පසු ලද අධිගමය ගැන විමසූ විට හැට වසරකට පෙර රහත් බව ලැබිණැයි මහානාග හිමියෝ පළ කළහ. සමාධියට සමවැදී ඍද්ධියෙන් ඇතකු මවන ලෙස ධම්මදින්න හිමියෝ ඇයැදියහ. මහානාග තෙරුන් තමා ම මැවූ ඇත්රුවට බිය වී දුවන්නට සූදානම් වූ විට සිවුරින් අල්ලා කමටහන් දුන්නෙන් කෙටිකලක දී රහත් බව පසක් කිරීමට ඒ හිමිට හැකි විය.

මෙහි එන මහානාග හිමියෝ අභිඥාලාභියකු වූ හෙයින් රහත් වී ඇතැයි සිතා සිටියහ. විසුද්ධිමග්ගයෙහි එන තවත් කථාවක දැක්වෙන පරිදි මහාසංඝරක්ඛිත නම් වූ අසූ හැවිරිදි භික්ෂුවක් සුසිල්වත් හිමිනමක් වශයෙන් ප්‍රසිද්ධියට පත්ව විසූහ.

මහජනතාව සිතා සිටියේ උන්වහන්සේ රහත් නමක ලෙසිනි. උන්වහන්සේ මරණාසන්න ව සිටින බව ඇසු දොළොස් යොදුනක මහජනයා එහි රැස්වූහ. උන්වහන්සේගේ අධිගමය ගැන විමසූ විට තමන් තවමත් පෘථග්ජන භාවයෙහි සිටින බව යටකී සංඝරක්ඛිත හිමියෝ ප්‍රකාශ කළහ. එමඟින් තමන්ට අගෞරවයක් වන බව උපස්ථායක භික්ෂුව මහතෙරුන්ට දැන්වූයෙන් මොහොතක් තමාට අවකාශ දෙන ලෙස මහතෙරහු කීහ.

කාමරයෙන් පිටවෙන්නට සූදානම් වන විට ම අසුරු ගසා උපස්ථායකයා කැඳවූ මහාසංඝරක්ඛිත තෙරුන් වහන්සේ තමන් ඒ මොහොතේ රහත් වූ බව දැක්වූහ. තමන් එතෙක් රහත් බව ගැන කල්පනා නොකළේ මෛත්‍රිය බුදුන් දැක නිවන් දැකීමට බලාපොරොත්තුව සිටි හෙයිනැයි දැක්වූහ. මෙම කතාවෙන් අනාවරණය වන්නේ රහත් බව ආසන්නයට ම ළංවන පරිද්දෙන් එතුමා කෙලෙසුන් යටපත් කර තිබූ බවකි.

ලංකාවේ අවසන් රහතන් වහන්සේ කවුද යන්න විමසා බැලීම සුදුසු ය. බුද්ධ පරිනිර්වාණයෙන් වසර දහසක් යනතුරු අධිගමය පවත්නා බව පිළිගෙන ඇත. එතෙක් සෝවාන් ආදි මගඵල අවබෝධයට ඉඩ ඇත. දීඝනිකායේ මහා පරිනිබ්බාණ සූත්‍රයේ සඳහන් වන පරිදි භික්ෂුන් නියම ලෙස ප්‍රතිපත්ති පූරණයෙහි නිරත වෙන තාක් ලොව රහතුන්ගෙන් හිස් නොවේ. එසේ නම් අද ද මගඵල පසක් කළවුන් නැතැයි කිය නොහැක.

අටුවා හා ජාතක කතාවලට අනුව ලංකාවේ අවසන් රහතන් වහන්සේ ලෙස සැලකෙන්නේ මලියදේව තෙරුන් වහන්සේ ය. උන්වහන්සේ පිළිබඳ විසිතුරු කතා පුවත් අසන්නට ලැබේ. කෝට්ටේ යුගයේ වැඩ විසූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත සැළලිහිණි සන්දේශයේ එන පද්‍යයක් රචනා කර ඇත්තේ එබඳු ජනප්‍රවාදයක් ඇසුරෙනි.

ගිළිය නොදී සැට මහණන් බව මහණ
මළිය දෙව් තෙරිඳු වැඩ හිඳ දෙසු බණ
දිලිය පස් මහල් පායෙහි මිණි කිරණ
බැලිය හැකි විනම් දැක වැද යා කලණ

කැලණි විහාර භූමිය තුළ මෙකී ඓතිහාසික සිද්ධිය අනුස්මරණය කෙරෙන ගොඩනැඟිල්ලක් පැවති බව මින් අනාවරණය වෙයි.

මෙහි සඳහන් මලියදේව හිමියන් වාසය කළ කාල පරිච්ඡේදය නිරවුල්ව හඳුනාගෙන නැත. අටුවා කතාවල දැක්වෙන විස්තර තොරතුරු අනුව සුප්‍රසිද්ධ මලියදේව හිමියන් දුටුගැමුණු සද්ධාතිස්ස රජුන්ගේ කාලයේ වැඩ සිටිය බව සැලකේ. පසුකාලයේ මේ නමින් හැඳින්වුණු වෙනත් හිමිවරුන් ද විසූ බව පෙනේ. පාලි රසවාහිනියේ ද, එහි අනුවාදයක් වූ සද්ධර්මාලංකාරයේ ද මලියදේව හිමි නමක් ගැන තොරතුරු දැක්වෙන කතා පුවතක් එයි.

සද්ධර්මාලංකාරයෙහි දැක්වෙන අන්දමට මෙකී මලියදේව හිමි දැදුරු ඔයට නුදුරුව පිහිටි සුලුගුලු නම් විහාරයට ඍද්ධියෙන් වැඩ එහිදී සුලුගුලු උපාසකගේ බෙහෙත් කැඳක් ලැබ දිගුකලක් තිස්සේ පැවැති උදරාබාධය සුවපත් කරගෙන ඇත.

උපාසක බෙහෙත් පිළියෙළ කරන අතරතුර ම තෙරුන්ගේ ඍද්ධ්‍යාභාවයෙන් චුල්ලගල්ලත් සමඟ තව්තිසා භවනයට ගොස් සිළුමිණ සෑය ද වන්දනා කොට, මෙතේ බෝසතුන් හමු වී යළි එම විහාරයට පැමිණ ඇත. මේ ගමනේ දි මෙතේ බෝසතුන්ගෙන් චුල්ලගල්ල ලැබූ මහඟු සළු යුගලය මහජනයාට පෙන්වා ඔවුනුදු පැහැද වූ බව මේ කතාවේ වැඩිදුරටත් විස්තර වේ. (සද්ධර්මාලංකාරය බෙන්තර සද්ධාතිස්ස සංස්කරණය, 1934,695 පිට සිට ඉදිරියට)

කලින් ද සඳහන් කළ පරිදි රහතුන් වහන්සේ අතර, අභිඥාලාභීන් මෙන්ම ශුෂ්ක විදර්ශකයන් ද සිටින බව ප්‍රකට කරුණක් වුව ද සිංහල බෞද්ධයන් වැඩි දෙනා රහතන් වහන්සේ ලෙස සලකනුයේ ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමෙහි සමත් ක්ෂීණාශ්‍රවයන් වහන්සේ ය.

නිකිණි පුර අටවක

අගෝස්තු 24 බ්‍රහස්පතින්දා
පූ.භා. 03.31 න් පුර අටවක ලබා
25 සිකුරාදා පූ.භා. 03.10 න් ගෙවේ.
24 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසළොස්වක

අගෝස්තු  30

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]