[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්: ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්

ධර්මාචාර්ය විභාග සඳහා අත්වැලක්:

ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්

01 කොටස

01.

1. ත්‍රිශික්ෂාවට අයත් තුන්වැනි ශික්ෂාව ලියන්න. එයට අදාළ මාර්ගාංග

දක්වන්න.

ප්‍රඥා (පඤ්ඤය)

සම්මා දිට්ඨි, සම්මා සංකප්ප

2. දුක දෙවියන්ගේ කැමැත්තට අනුව සිදුවන්නක් බව ප්‍රකාශ කළ ප්‍රාග් බෞද්ධ මතවාදය නම් කරන්න.

ඊශ්වර නිර්මාණවාදය

3. නියාම ධර්මවලින් හතරක් දක්වන්න.

උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම

4. ‘සුඛා විරාගා ලොකෙ’ මෙම පාලි පාඨයෙහි තේරුම ලියන්න.

නොඇලුණු බව ලෝකයේ සැපයකි

5. අභිධ්‍යා හා ව්‍යාපාද යන අකුසල ධර්මයෙහි වෙනස දක්වන්න.

අ) දැඩි ලෝභය

ආ) අනුන් නැසේවා වැනසේවා යි

ඇති කර ගන්නා දුෂ්ට චේතනව

6. සංස්කාරයන්ගේ ලක්ෂණ තුන නම් කරන්න.

1) උප්පාද 2) ඨිති 3) භංග

7. ත්‍රිවිධ තණ්හාවන් දක්වන්න.

1) කාම තණ්හා 2) භව තණ්හා

3) විභව තණ්හා

8. සප්ත විශුද්ධි ධර්මයන්ගෙන් හතරක් නම් කරන්න.

සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කංඛා විතරණ විසුද්ධිය, මභග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධිය, පටිපදා ඤාණදස්සන විසුද්ධිය, ඤාණදස්සන විසුද්ධිය

9. විපාක දෙන පිළිවෙළ අනුව කර්මය කොටස් හතරකට බෙදේ. ඒවා දක්වන්න.

ගරුක කර්ම, ආසන්න කර්ම,

ආචිණ්න කර්ම, කටත්තා කර්ම

10. පහත සඳහන් ගාථාව සම්පූර්ණ කරන්න.

පුඤ්ඤං චෙ පුරිසෝ කයිරා

කයිරොථෙතං පුනප්පුනං

තම්හි ඡන්දං කයිරාථ

සුඛො පුඤ්ඤස්ස උච්චයො

එහි තේරුම ද ලියන්න

ඉඳින් යමෙක් පිනක් කළේ නම් ඒ නැවත නැවත ද කළ යුතු ය. එහි සිත ඇලවිය යුතු ය. පින් රැස් කිරීම සැපයට හේතු වේ.

02 කොටස

2.

1. බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල දී නොයෙක් සූත්‍ර දේශනා මඟින් දුක විස්තර කොට වදාළහ. එබඳු සූත්‍ර දෙකක් දක්වන්න.

ධම්මචක්කප්පවත්තන සූත්‍රය

මහාසතිපට්ඨාන සූත්‍රය

සච්චවිභංග සූත්‍රය

2. අ) දුක්ඛාර්ය සත්‍යයෙහි දැක්වෙන තුන් වැදෑරුම් දුක් නම් කරන්න.

දුක්ඛ දුක්ඛතා , විපරිණාම දුක්ඛතා

සංඛාර දුක්ඛතා

ආ) ඒවා සැකෙවින් හඳුන්වන්න.

දුක්ඛ දුක්ඛතා

අමිහිරි අත්දැකීම්වලින් ඇතිවන සාමාන්‍ය

දුක්.

විපරිණාම දුක්ඛතා

පුද්ගලයා හා සම්බන්ධ බාහිර වූ ද ආධ්‍යාත්මික වූ ද සියල්ල මොහොතින් මොහොත වෙනස්වන බව.

සංඛාර දුක්ඛතා

බුදු දහමට අනුව සත්වයා, පුද්ගලයා, මම යන නයින් ගන්නා ස්කන්ධ පංචකයට මොහොතින් මොහොත වෙනස්වන සුළු කායික මානසික ශක්තීන්ගේ සකස් වූවකි. මෙය වෙනස් වන ගතියෙන් යුක්ත වේ. එම වෙනස්වීම් ස්වභාවය නිසා ඇතිවන්නා වූ දුක සංඛාර දුක්ඛ නමින් හඳුන්වයි.

3. “බුදු සමය ගැටලු නිරාකරණයට මඟ පෙන්වා දෙන දහමකි.” චතුරාර්ය සත්‍යය ආශ්‍රයෙන් මෙම ප්‍රකාශයේ වැදගත්කම පහදා දෙන්න.

චතුරාර්ය සත්‍යය තුළ අන්තර්ගත මූලධර්මය නම් දුකත්, දුකට හේතුවත්, සැපයත් සැපයට හේතුවත් යන මූලධර්මයකි. වෙනත් ලෙසකින් කිවහොත් මෙහි ඇත්තේ ද හේතුඵල දහම මුල්කොට ගත් ගැටලු විසඳීමේ න්‍යායකි. චතුරාර්ය සත්‍ය දේශනාවේ දී දුක මුල්කොට ගත්ත ද මෙම මූලධර්මයට අනුව විග්‍රහ කළ හැකි බව විවරණය කළ හැකි ය.

03. 1. අ) භාරතීය කර්ම සංකල්පයේ ආදිතම අවස්ථාව (යුගය) දක්වන්න

වෛදික යුගය

ආ) එම සංකල්පයේ දැක්වෙන සදාචාරය

පාලනය කරන දෙවියාගේ නම ලියන්න.

වරුණ දෙවියා

2. බුදු දහමේ කර්මයට අතිරේකව කර්ම පථයක් ගැන ද ඉගැන්වෙයි. ඒ අනුව කර්මයේ හා කර්ම පථයේ වෙනස නිදසුනක් මඟින් පහදා දෙන්න.

චේතනාත්මක කායික, වාචසික, මානසික ක්‍රියා කර්ම නම් වෙයි. එම චේතනා මාත්‍රය ක්‍රියාත්මක වී සම්පූර්ණ වූ විට කර්ම පථයක් බවට පත් වේ. ගසක මල් හටගැනීම මිස පල හට ගැනීමේ ශක්තිය නැති නම් එය කර්මය හා සමාන වේ. පල හට ගැනීමේ ශක්තියක් ඇති කරන්නේ නම් එය කර්ම පථය හා සමාන වේ.

3. බුදු සමයට අනුව කර්මවාදය ඉගෙනීමෙන් සමාජයේ සිදුවන නොයෙකුත් අපරාධ මර්දනය කර ගැනීමටත්, සුචරිතය සංවර්ධනය කර ගැනීමටත් හැකි ය. මෙහි ඇති වැදගත්කම පෙන්වා දෙන්න.

හොඳ - නරක, පින් - පව්, යහපත - අයහපත කවරේදැයි තේරුම් ගැනීමට කර්මය පිළිබඳ අවබෝධයක් තිබිය යුතු ය. කර්මය පිළිබඳ ලියැවී ඇති සූත්‍ර ධර්ම හා බණ කතා සාහිත්‍යය කියවීමෙන් ඒ පිළිබඳ අවබෝධයක් ඇති කර ගත් අය තම තමා විසින් කරනු ලබන අපරාධ අඩු කර ගෙන සුචරිතය වර්ධනය කර ගැනීමට ගන්නා උත්සාහය.

04. 1. දිට්ඨිය හා සම්මා දිට්ඨිය යන දෙකෙහි වෙනස පහදා දෙන්න.

දිට්ඨිය යන්නෙහි තේරුම දැකීම, දර්ශනය, යනුයි. ශාස්වත දෘෂ්ටි ආදී තන්හි යෙදී ඇති දිට්ඨි යන්නෙහි එම යෙදුම දැක්වේ. එහෙත් සම්මාදිට්ඨි යන්නෙන් යහපත් දැකීම, නිවැරැදි දැකීම යන අර්ථ ගෙන දේ.

2. ආර්ය මාර්ගයෙහිලා සම්මා දිට්ඨිය පූර්වාංගම වන අයුරු පැහැදිලි කරන්න.

ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පළමුවැන්න සම්මාදිට්ඨිය වන අතර ඉදිරි අංග සඳහා ද සම්මාදිට්ඨිය ම පෙරටු වෙයි. ඒ බව මජ්ක්‍ධිම නිකායේ මහාචත්තාරීස සූත්‍රයෙහි පැහැදිලිව ම දක්වා තිබේ.

3. ධාර්මික ජීවිතයක් ගොඩ නැඟීම සඳහා සම්මා දිට්ඨිය ඉවහල් වන අයුරු විමසීමට ලක් කරන්න.

සම්මා දිට්ඨිය යනු නිවැරැදි දැකීමයි. එදිනෙදා ජීවිතයේ දී තුන් දොරින් කරන ක්‍රියා තමාටත් අන්‍යයන්ටත් යහපත පිණිස පවතී ද, අයහපත පිණිස පවතී ද ආදී වශයෙන් සිතා යහපතට හේතුවන ක්‍රියා පිළිබඳ නිවැරැදි සිහිය ඇතිව ක්‍රියා කිරීමෙන් ධාර්මික ජීවිතයක් ගොඩනඟා ගත හැකි ය.

05. 1. “තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදානය වෙයි.”

අ) මෙහි ‘උපාදාන’ යන්නෙහි අර්ථය

දක්වන්න.

දැඩි කොට අල්ලා ගැනීම උපාදාන නම් වේ.

ආ) එබඳු උපාදාන දෙකක් නම් කරන්න.

කාම උපාදාන - දිට්ඨි උපාදාන

සිලබ්බත උපාදාන - අත්තවාද උපාදාන

2. පටිච්චසමුප්පාද ධර්ම න්‍යාය ඇතුළත් කෙටි සූත්‍රය ලියා දක්වන්න.

ඉමස්මිං සති ඉදං හෝති -

මෙය ඇති කල්හි මෙය වේ.

ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති -

මෙය ඉපදීමෙන් මෙය උපදී.

ඉමස්මිං අසති ඉදං න හෝති -

මෙය නැති විට මෙය නොමැත.

ඉමස්මිං නිරෝධා ඉදං නිරුජ්ඣති -

මෙය නැති වීමෙන් මෙය නැති වේ.

3. සමාජය හා ආර්ථික ගැටලු විශ්ලේෂණය

කර විසඳුම් සපයා ගැනීම සඳහා

පටිච්චසමුප්පාද දර්ශනය ඉවහල්

කර ගත හැකි ආකාරය විමසීමට ලක්

කරන්න.

යම් ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වූ විට එහි මූලබීජ හේතුව සොයා ඊට පිළියම් යෙදීමෙන් ගැටලුව, ප්‍රශ්නය විසඳා ගැනීමට හැකි වෙයි. ගෙදර දොර හෝ සමාජයේ හෝ යම් ආයතනයක ගැටලුවක් ඇති වූ විට මේ ක්‍රමයෙන් ගැටලුව විසඳා ගත හැකි ය.

06. 1. රූපස්කන්ධයට අයත් රූප සියල්ල ප්‍රධාන ප්‍රභේද දෙකකින් යුක්ත ය. සංඛ්‍යා සමඟ එම ප්‍රභේද දෙක දක්වන්න.

මහාභූත රූප 04යි.

උපාදාය රූප 28යි.

2. ස්කන්ධ පංචකයේ අස්ථිරබව ප්‍රකට කරමින් වදාළ උපමා පහ ඒ ඒ ස්කන්ධයන්ට අදාළ පරිද්දෙන් ඉදිරිපත් කරන්න.

රූප ස්කන්ධය - පෙණ පිඬුවකට - නිසරුය

වේදනා ස්කන්ධය - දිය බුබුලකට - බිඳෙන සුළු ය

සඤ්ඤා ස්කන්ධය - මිරිඟුවකට - රවටන සුළු ය

සංඛාර ස්කන්ධය - කෙසෙල් කඳකට - අරටුවක් නැති නිසා

විඤ්ඤාණ ස්කන්ධය - මායාවක් වැනි ය - නැති දේ ඇති සැටියෙන් දැක්වීම

3. “සත්ත්වයා ස්කන්ධ පංචකය වරදවා තේරුම් ගැනීම නිසා සංසාරයේ දුක් විඳින බවත්, එය විභාග කොට (පිරිසිඳ දැනීමෙන්) සසර තරණය කරන බවත් බුද්ධ දේශනාවයි” පහදන්න.

සත්ව, පුද්ගල සංකාව ඇති වන්නේ මමත්වය නිසා ය. එහෙත් එම සත්ත්වයා හෝ පුද්ගලයා ස්කන්ධ පහක නිර්මාණයකි. එම නිර්මාණය කොටස් වශයෙන් බෙදා දැක්වීමේ දී එබඳු සත්ත්වයකු හෝ පුද්ගලයකු නොමැත. ඇත්තේ ස්කන්ධ සමවායකි.

මේ ආත්ම වශයෙන් ගැනීමේ දී දුක ඇති වේ. ප්‍රඥාවෙන් විමසා බැලීමේ දී මමත්වයත් දුකත් නැති කර සසර තරණය කළ හැකි බව පැවසිය යුතු ය.

07. 1. සමථ භාවනාව කෙටියෙන් හඳුන්වා දෙන්න.

සමථ භාවනාව යනු ද චිත්ත භාවනාව යනු ද එකම භාවනා ක්‍රමයකි. සමථ භාවනාව පංචනීවරණ නමින් හැඳින්වෙන අකුසල ධර්ම සමනය කර ගැනීමට ඉවහල් වන භාවනාවයි. එම නීවරණ සංසිඳවා, සිත තැන්පත් බවට පමුණුවා, සිත දියුණු කරලීම මෙම භාවනාවෙන් සිදු වේ.

2. ආධ්‍යාත්මික වශයෙන් හා ලෞකික වශයෙන් සමථ භාවනාවෙන් ලද හැකි ප්‍රතිඵල කවරේදැයි දක්වන්න.

ආධ්‍යාත්මික වශයෙන් ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන උපදවා ගැනීම ඉක්මවා විදර්ශනා ප්‍රඥාව උපදවා ගැනීමට පසුබිම සකස් වන්නේ සමථ භාවනාවෙනි. මේ හැර සමථ භාවනාවෙන් සිත සන්සුන් කර ගැනීමට හැකිවීම, ඉගෙනීම් කටයුතු ආදියත් වෙනත් ක්‍රියාවලටත් සංයමයෙන් නිරවුල් මනසින් ක්‍රියා කිරීමට මෙම සමථ භාවනාව මග සලසයි.

3. අ) කමටහන් දීමේ දී සැලකිල්ලට ගෙන ඇති හැසිරීම් ස්වභාවය පදනම් කොට ගත් චරිත වර්ග හය දෙන්න.

පුද්ගලයකුගේ විවිධ හැසිරීම අනුව ගතිලක්ෂණ දැකගත හැකි ය. ඒ අතුරෙන් බහුලව දක්නට ලැබෙන ගතිලක්ෂණ අනුව රාග චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත යැයි චරිත වර්ග කෙරේ.

08. 1. අ) යථා භූත ඥාන දර්ශනය කෙටියෙන් හඳුන්වන්න.

අනිත්‍ය, දුක්ඛ, අනාත්ම

ආ) මෙමඟින් ලෝකය හා සත්ත්වයා ගැන ලැබෙන අවබෝධය දක්වන්න.

අනිත්‍ය - විශ්වගත සියලු සප්‍රාණික අප්‍රාණික දෙය මොහොතින් මොහොත වෙනස් වන බව.

දුක්ඛ - අනිත්‍යතාව නිසා සිදුවන ඉච්ඡාභංගයන් ආශ්‍රයෙන් ඇතිවන අමිහිරි වින්දනය.

අනාත්ම - තමා අයත් නොවන්නක් බව.

2. යතා භූත ඥාන දර්ශනය හා විදර්ශනාව අතර ඇති සම්බන්ධතාව පැහැදිලි කරන්න.

පංචස්කන්ධය අනිත්‍යාදී වශයෙන් විශේෂ ආකාරයෙන් සලකා බැලීම විදර්ශනාවයි. වෙනත් ලෙසකින් නම් ත්‍රිලක්ෂණය දැකීමයි. විදර්ශනා භාවනාවෙන් කෙරෙනුයේ යථාර්ථය අනිත්‍යාදී වශයෙන් දැකීමයි.

3. “යථාභූත ඥාන දර්ශනය අනුව යමෙකු කටයුතු කරන්නේ නම්, ඔහුට තම උභයාර්ථය සලසා ගත හැකි ය.” අදහස් දක්වන්න.

මෙලොව හා පරලොව දියුණුව සලසා ගැනීම උභයාර්ථ දියුණුවයි. ත්‍රිලක්ෂණාවබෝධය තුළින් ගිහි හෝ පැවිදි කා හට වුව ද මෙම කාර්ය සාධනය කර ගන්නට පුළුවන් වෙයි. පස්වග තවුසන්ගේ කතා පුවත මීට හොඳම නිදර්ශනයකි. තමා මෙන් ම තමා සතු සැප සම්පත් ආදිය ද වෙනස් වන බවත්, එය දුකට පත්වීමක් බවත් ඒ නිසාම එය ආත්මීය වශයෙන් ගත යුතු නොවන බවත් පසක් කර ගත් තැනැත්තා බුද්ධිමත්ව ක්‍රියා කරමින් ඇලීම් හා ගැටීම්වලින් තොරව ජීවිත ගමන සාර්ථක කර ගනී.

අධි ඇසළ පුර අටවක

ජුනි 26 සඳුදා පූ.භා. 00.25 න්
පුර අටවක ලබා 27 අඟහරුවාදා පූ.භා. 02.04 න් ගෙවේ.
26 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]