අධි ඇසළ පුර අටවක 2023-06-26 දෙලොව යහපත පිණිස
අපිරිසුදු ජල බඳුනකට පිරිසුදු ජලය වත් කළේ නම් ඒ ජලය ද අපවිත්‍ර වන්නේ ය. ඒ,
අපවිත්‍ර බඳුන ස්පර්ශ වීම නිසා ය. ජලය වත් කිරීමට පළමුව බඳුනේ පවිත්‍රබව පිළිබඳ
අවධානයට ගත යුතු එහෙයිනි. එවිට පසුවට කරදර වන්නට හෝ දුකට අපහසුතාවට පත්වන්නට සිදු
නොවේ. මේ සාමාන්‍ය දැනීම කුඩා දරුවකුට වුව පවතී. එහෙයින් නොදැකීම නිසා මිස අපවිත්‍ර
බඳුනකට පිරිසුදු ජලය වත්කර ගන්නේ නැත.
අපේ ජීවිතයේ දී ද මෙවැනි අවස්ථා හමුවේ. ඇසුර එහිදී මුල් තැනට පැමිණේ. නරක ඇසුරකට
වැටුණේ නම් අප වෙත වන හොඳ ඉක්මවා නරකට ම ඇබ්බැහි වේ. ජල බඳුනේ අපවිත්‍ර බව දැක එය
ප්‍රතික්ෂේප කළත් නරක ඇසුර නම් එසේ ප්‍රතික්ෂේප නොවීම අභාග්‍යයකි. ඒ සාමාන්‍ය දැනීම
අතින් නම් බොහෝ දෙනෙක් ඝෘණ අගයක සිටින බව පෙනේ. අයහපත් ඇසුර නිසා ජීවිතයම විනාශයට
පත්කර ගන්නා ස්වභාවය කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ම අද ඇස ගැටෙන්නට තිබේ.
විශේෂයෙන් අපේ ඇතැම් තරුණ කණ්ඩායම් අයහපත් ඇසුර නිසා මත්ද්‍රව්‍ය භාවිතයට, විවිධ
අපරාධ කල්ලිවලට යොමුවීමට, සොරකමට, වංචාවට, දූෂණයට ඇදී යන ආකාරයක් සමාජය තුළ දර්ශනය
වෙමින් තිබේ.
නරකට යොමු වුවෝ’ ම නරක ප්‍රතිඵල ලබති, එයින් අපට කම් නැත, අපි නරකට යොමු නොවෙමු’යි
කෙනෙක් සැහැල්ලුවෙන් සිතීමට පුළුවන. එහෙත් එක් පුද්ගලයකුගේ නරක කටයුතුවල බලපෑම ඔහුට
පමණක් නොව සමස්ත සමාජයටම භුක්ති විඳීමට සිදුවේ. එහෙයින් සියලු දෙනාගේ අවධානය ඊට
යොමු විය යුතු ය.
තුරුණු විය යනු විනාශයට පත්කර ගත යුතු, කාලය කා දැමිය යුතු වයසක් නොවේ. එම වයසේ කාය
බලය ශක්තිමත් ය. අතපය වෙහෙසා, මනස වෙහෙසා කළ හැකි යහපත්, නිර්මාණශීලි දේ බොහෝ ය. මං
මුළා වුවන් සේ ජීවිතය ගෙවී යන්නට නොදී, නරක ඇසුරට යොමු නොවී තම ජීවිතය මෙහෙයවා
ගැනීම තුරුණු වියේ වගකීමකි. නැතහොත් සිදුවන්නේ දිය සිඳී ගිය විලක් දෙස සුසුම්
හෙළමින් බලා සිටින කොස්වාලිහිණියකුට සේ කාය බලය සිඳී ගිය කල දුක් සුසුම් මැද
දුක්ඛිත ජීවිතයක් ගත කරන්නට ය. එවිට මොනතරම් උත්සාහ කළ ද, ගෙවී ගිය කාලය නම්
ඇතකුලවා වත් අද්දවා ගැනීමට නොහැකි ය.
පෙර බරණැස් නුවර මචල නම් ගමක මඝ නම් තරුණයෙක් විය. ඔහු සමාජ සේවයට ලැදි ය. යහපත්
හැසිරීම් ඇත්තේ ය. එහි පැහැදුණු තවත් තරුණයන් තිස් දෙදෙනකු ඔහුට එක් විය. ඒ ශක්තිය
මොනතරම් ද? යහපතට යහපත එක් වූ තැන ඒ ශක්තිය තවත් ප්‍රබල ය. එවිට තමන් වෙනුවෙන්, ගම
රට වෙනුවෙන් මොනතරම් අර්ථයක් ගෙන දිය හැකි ද? මඝ ප්‍රධාන තරුණ පිරිස ද කළේ ඒ ප්‍රබල
ශක්තිය සමාජය වෙනුවෙන් දානය කිරීම ය. ඒ තුළ සියලු දෙනාගේ යහපත උදෙසා ළිං, පොකුණු,
ඇළ, දොළ, ගංගා, වැව්, ඒ දඬු, මල්වතු, පලතුරු වතු, එළවළු, ඖෂධ වතු, මං මාවත්,
වැසිකිළි කැසිකිළි, ආරෝග්‍ය ශාලා, පාසල්, විහාරාරාම ආදි බොහෝ දේ ඉදිවුණි.
ඒ අතර ම ඔවුහු මව් පිය උපස්ථානය, වැඩිහිටියන්ට පුද සත්කාර කිරීම, යහපත් වචන, සමගිය
ඇතිවන වචන ම කතා කිරීම, ත්‍යාගී ගුණය, මෛත්‍රිය කිරීම ආදි යහගුණ ධර්ම ද වැඩුවෝ ය.
මෙලොව ද යහපත්ව ජීවත් වී මරණින් මතු දෙව්ලොව ඉපදීමට පවා ඔවුන්ට ඒ යහපත්කම්
හේතුවුණි.
ජීවිතය ඇඳුරට වැටෙනවා වෙනුවට මෙවැනි ආදර්ශවත් චරිත ජීවිතයට ආදර්ශයක් කර ගන්නවා නම්
දොලොව ම යහපත ඒකාන්ත ය. |