[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සතුට සොයා යන සත්ත්වයා පසු පසදුක ලුහුබඳින හැටි

සම්බුදු සසුනේ ධර්ම රත්නය ලොවට දායාද කළ දවස ඇසළ පොහෝ දිනය යි. කසී රට බරණැස් නුවර ඉසිපතන මිගදායේ දී දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව දේශනා කරන ලදී. ගයාවේ සිට යොදුන් දහඅටක් පමණ දුර ගෙවා ඉසිපතනයට වඩින අතරතුර දී බුදු මුවින් සම්බුදු වදනක් ශ්‍රවණය කිරීමේ මුල්ම වාසනාව උදාකර ගැනීමට කුසල සම්පත්තිය උදාවූයේ උපක ආජීවකතුමාට ය. “ධර්මචක්‍රය ප්‍රවර්තනය කිරීම සඳහා මම කසීරට බරණැසට වඩිමි. අවිද්‍යා අන්ධකාරයෙන් වැසී ගිය ලෝසතුන්, උදෙසා අමා දම් බෙර වයමි. උපක ආජීවකයන්ට තමා ‘ජින’ වෙමියි” හඳුන්වා දුන් අතර බරණැසට වැඩම කළහ. දීපංකර බුදු පාමුල සම්බුද්ධත්වයට පත්වීම සඳහා නියත විවරණ ලැබු දා සිට සමතිස් පාරමී ධර්ම සපුරා සුවාසු දහසක් ධර්මස්කන්ධය දේශනා කිරීමට පස්වග තවුසන් තෝරාගනු ලැබුයේ සම්මා සම්බුදුවරයකුගේ පළමු ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට එකී තවුසන් භාග්‍යවන්ත වූ නිසා ම ය. සුන්දර ඉසිපතනාරාමයේ මනුෂ්‍යයන් නියෝජනය කළේ ගණනින් පස් දෙනෙකි. දස දහසක් සක්වලින් එක්රැස් වූ දෙවියන්, බ්‍රහ්මයන් පිරිස අපමණ විය. මුවන්,ගෝනුන් වග වලසුන් සහිත තුරුලතා සහිත පරිසරය නිහඬ නිසංසල ශාන්ත බවක් ඇති කළේ ය. දහම් අමාව, බ්‍රහ්ම ස්වරය, භවාග්‍රය තෙක් ඇති දස දහසක් ලෝක ධාතුවට හා අවීචි මහ නරකාදියට විහිදී ගිය අතර, අටලොස් කෙළක් බ්‍රහ්ම රජවරු සියුම් වෙස් මවාගෙන බරණැස ඉසිපතන මිගදායට පැමිණ සිටියෝ ය. බුද්ධගයාවේ බෝමැඩ දී සර්වඥතා ඤාණය අවබෝධ කර ගත් තථාගතයන් වහන්සේ කාමසුඛල්ලිකානුයෝගය සහ අත්ථකිලමතානුයෝගය නම් හීන වූ ද, ග්‍රාම්‍ය වූ ද, පුහුදුන් වූ ද, බුද්ධිය මොට කරන්නා වූ ද, මෙම උභය අන්තයන්ට නො පැමිණ නිවන් අවබෝධ කිරීමට හේතුවන, නුවණැස ලබා දෙන, කෙලෙස් තවාලන, මධ්‍යම ප්‍රතිපදාව ලෝකයාට දේශනා කරන ලදී. දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ හරය නම් සිව්සස් දහමයි. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කරන මාර්ගය යි. ලෝකය දුක මත පිහිටා ඇති බවත්, සියලු සත්වයන් දුක උරුම කොට ඇති බවත්, සිව්සස් දහම අවබෝධ නො කරනතාක් සත්වයා පසුපස දුක ලුහුබඳින බවත් පෙන්වා දුන්හ. දුකට හේතුව වන්නේ තෘෂ්ණාව බවත්, එකී තෘෂ්ණාව සහමුලින්ම බැහැර කළ යුතු බවත්, සත්වයෙක්, පුද්ගලයෙක් නැති භවයෙන් භවයට ගමන් කරන්නා වූ සිතිවිලි පරම්පරාව සම්පූර්ණයෙන් ම අවසන් කිරීමට හේතුපාධක වන අසිරිමත් ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාව බවත්, එය දුකින් මිදීමේ අසිරිමත් මාර්ගය බවත් දේශනා කළහ.


අධි ඇසළ පුර අටවක

ජුනි 26 සඳුදා පූ.භා. 00.25 න්
පුර අටවක ලබා 27 අඟහරුවාදා පූ.භා. 02.04 න් ගෙවේ.
26 සඳුදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

Full Moonඅමාවක

ජූලි 17


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]