බොදු සිත් නිවා සනසන ඓතිහාසික දායාදය සෝමවතී
සෑ රදුන් වහන්සේ
මහාවිහාර වංශික ස්‍යාමෝපාලි
මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී,
ඓතිහාසික සෝමවතී රාජමහා
විහාරාධිපති,
ආචාර්ය
පහමුණේ සුමංගල හිමි
මෙම ලිපියේ මුල් කොටස පොසොන් පෝදා (03)පත්‍රයේ පළ විය
මිහිඳු මහරහතන් වහන්සේ වැඩම වූ පොසොන් පොහෝ දිනය මුල් කර ගෙන ථේරවාදී සම්බුද්ධ
ශාසනය වර්තමානය දක්වාම ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය, කාම්බෝජය ආදී රටවලත්,
මුළු ලෝකයේමත් දක්නට ලැබේ.
එම ථේරවාදී සම්බුද්ධ ශාසනය අද වන විට පොලොන්නරු යුගයේ සිට දඹදෙණිය, යාපහුව,
කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ ආදී යුගවල දී වැඩිදියණු වෙමින් හා පරිහානියට පත්ව අවුත්
මහනුවර සමය වන විට එකම උපසම්පදා භික්‍ෂූන් වහන්සේ නමක්වත් නැති වූ මොහොතක වැලිවිට
අසරණ සරණ සරංකර සංඝරාජ මාහිමියන් වහන්සේ විසින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ උදව්
උපකාර ලබා ගෙන තායිලන්තයට 03 වැනි වරටත් දූතයන් යවා පරම ධාර්මික රජතුමන් හා සංඝරාජ
මාහිමියන්ට කරුණු කාරණා සැලකොට උපාලි හිමියන් ප්‍රධාන සියම් දේශීය භික්‍ෂූන් වහන්සේ
ශ්‍රී ලංකාද්වීපයට වැඩමවූහ. 1753 ජූලි මස 15 වැනි දින කීර්ති ශ්‍රී රාජසිංහ මහ
රජතුමාගේ මල්වත්ත, මල්වතු විහාරයට බවට පත් කරමින් පෝය සීමා ආදිය ඉදිකොට පිහිටුවා
සිදු කරන ලද උපසම්පදා විනය කර්මය නිසාම, ශ්‍රී ලංකා ද්වීපයේ වර්තමාන සම්බුද්ධ ශාසනය
ආරම්භ විය.
අදට වසර 270 ට පෙර ආරම්භ කරන ලද මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු
පාර්ශ්වයීය උපසම්පදාව නිසා ම ශ්‍රී ලංකාද්වීපයේ සම්බුද්ධ ශාසනයේ වැඩි දියුණුව ඇති
විය. අනගාරික ධර්මපාලතුමන් පවා පැවිදි උපසම්පදා කරමින් භාරත දේශයේ ද වර්තමාන
සම්බුද්ධ ශාසනය ආරම්භ කිරීමට මුල් වූයේ මල්වතු මහා විහාරය යි. මේ අයුරින් අද දක්වා
ම ශ්‍රී ලංකාද්වීපයේත්, ලෝකයේ පවත්නා ථේරවාදී ශාසනයත් පිහිටුවීමට මුල් වූයේ පොසොන්
දිනයක මිහිඳු මා හිමියන් විසින් පිහිටුවන ලද මහා විහාර උපසම්පදාව නිසා ම ය. සම්බුදු
දහම ලක්දිව පුරා පැතිරී යත්ම බොහෝ වෙහෙර විහාර ඉදිවිය. සෝමවතී පුදබිම ඒ ඓතිහාසික
උරුමයන් අතර සුවිශේෂීය.
සෝමවතී දේවියගේ පටන් රාජ රාජ මහාමාත්‍යාදීන් මෙම පුදබිමේ ආශ්චර්යවත් සිද්ධීන්
සියැසින් දැක මෙම ස්ථානය වැඩි දියුණු කළ ආකාරය චෛත්‍ය රාජයා අවට තිබෙන නටබුන්වලින්
මෙන්ම ශිලා ලේඛන 14 ක් තුළින් ඓතිහාසික හා ආගමික කරුණු මැනවින් පැහැදිලි වේ.
01. ක්‍රි.පූ. 03 වන සියවසේ පරුමුක පරම්පරා තුනකට අයත් පොකුණක් පූජා කොට ඇති
ආකාරයත්,
02. ඒත් සමඟ ම කන්දකාඩු ශිලා ලේඛනයත්,
03. ක්‍රි.පූ. 41 දී කූඨකණ්ණතිස්ස රජතුමා දෙගම නම් දියඇළක් කපා කෘෂිකර්මය දියුණු කළ
ආකාරයත්,
04. ක්‍රි.ව. 09 දී මහාදාඨික මහානාග රජතුමා අඩපිටිගමත් රජලි නම් රාජකීය කුඹුරු
යායෙන් කිරිය සියයක් හෙවත් අක්කර අටසියයක් පූජා කිරීමත්
05. ක්‍රි.ව. 112 ගජබා රජතුමා සොලී රටට ගොස් විජයග්‍රහණය ලබා ගෙන ලක්දිවින් රැගෙන
ගිය සිංහලයන් 12000 ක් ද පාත්‍රා ධාතූන් වහන්සේ හා දේවාභරණ සමඟ සොලීන් 12000 ක් ද
ශ්‍රී ලංකාද්වීපයට ගෙනවුත් දළදා වහන්සේ අභියස පුද පූජාවන් හා පෙරහර ආදිය පවත්වන
මොහොතේ දී රජතුමාට “ගාමිණී අභය යුධ ජී” යුද්ධ ජයග්‍රහක ගාමිණි අභය යන ගෞරවනාමය
සෝමවතී විහාරයේ වැඩ විසූ භික්‍ෂුන් වහන්සේ විසින් පිරිනැමූ ආකාරයත් රජතුමා “
රජඅඩියගම මණි අගිය විහාරට දිනි” රාජකීය ඇළක් කලා අග්‍රගණ්‍ය මානික්‍ය නම් (සෝමවතී
විහාරය) විහාරයට පූජා කිරීම.
06. ක්‍රි.ව. 161 දී කණිට්ටතිස්ස රජතුමා සෝමවතී භූමියම ප්‍රතිසංස්කරණ කොට නව ඉදි
කිරීම් කරවා අභයගිරි විහාරයේ භික්‍ෂූන් ද ගෙන්වා පුද පූජා පැවැත් වූ ආකාරයත්, එම
රජතුමා ම එකම අදහස් ඇති සුවිශාල ශිලා ලේඛන දෙකක් ගල් පර්වතය උඩ හා චෛත්‍ය රාජයා ළඟ
පිහිටුවමින් මෙම ස්ථානය ආරක්‍ෂා කළ යුතු ආකාරයත් සංරක්‍ෂණය කිරීමත් රාජකාරී ක්‍රමත්
කළ යුතු ආකාරය සටහන් කරමින් එසේ නොකළහොත් කහවණු 500 ක් හෙවත් රන් පවුම් 4000 ක්
(වර්තමාන මුදලින් රුපියල් කෝටි 70 ක්) පමණ දඩයක් නියම කර ඇති ආකාරය එම සෙල්ලිපි
දෙකේම සඳහන් වන්නේ “මණි අගිය රජමහ වෙහෙර මණි අගිය පොහොතකර දඩ පච සත මේ සඟ අරඹ”
අග්‍රගණ්‍ය මාණික්‍ය නම් (සෝමවතී විහාරය) විහාරයට හා පොහොය සීමාවේ කටයුතු නොකළහොත්
ගෙවිය යුතු දඩ ආදියයි.(මෙවන් ශිලා ලේඛන දෙකක් එකම ස්ථානයක මේ වන තෙක් හමුවී නැත)
07. මහා පරාක්‍රමබාහු රජතුමාගේ බිසව වන ලීලාවතී රැජින බු.ව. 1700 දී දොළොස් දහස්
රටින් (ගිරුවාපත්තුව) ඇඹුල්පත් නම් ගමක් පූජා කළ අයුරු තවත් ශිලාලේඛන ගණනාවක්ම
කියවිය නොහැකි තත්ත්වයට පත්ව ඇත.
08. මහා පරාක්‍රමබාහු රජතුමා කඳුරුවඩමන් වැව හරහා සෝමවතී නම් ඇළක මහවැලි ගඟ දක්වා
කපා කුඹුරු සංවර්ධනය කළ ආකාරය මහාවංශයේ 79 වන පරිච්ඡේදයේ සඳහන් වේ.
මෙම ශිලාලේඛන ආදිය ගවේෂණය කරමින් ඉමහත් සතුටට පත් වූ වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ
ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මැතිතුමා විසින් ජාත්‍යන්තර පුරාවිද්‍යා පර්යේෂණ
ආයතනයක් බවට පත් කොට මා වෙත පිරිනැමීම ඉමහත් සතුටට හේතු වූ අතර, සෝමවතී
චෛත්‍යස්ථානය ජාතික උරුමයන් සහිත පූජා භූමියක් බවට පත්කොට එකි සන්නස හිටපු ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මා වෙත පිරිනැමීමෙන් සෝමවතී චෛත්‍යස්ථානයෙහි
වටිනාකම මැනවින් පැහැදිලි වේ.
කාලිංග මාඝ චන්‍ද්‍රභානු විසින් මුළු උතුරුකරය ම විනාශයට පත් කළ මොහොතක සියලුම
භික්‍ෂූන් වහන්සේත්, රජවරු ඇතුළු මහජනතාවත් මෙම ප්‍රදේශවලින් බැහැර විය. මහ ඝන කැලෑ
බවට පත්විය. නැවත ජනාවාස බවට පත් වූයේ ඩී.එස්. සේනානායක අගමැතිතුමාගේ ගොවිජනපද
ව්‍යාපාරය නිසා ය. 1946 දී පමණ සිංහල හා මුස්ලිම් ජනතාව මෙම ප්‍රදේශයට පැමිණෙන විට
හේවිසි ශබ්ද අසමින් ආශ්චර්යවත් සිද්ධීන් ද දැකීම නිසා එවකට මුළු පොලොන්නරු
ප්‍රදේශයේ එකම භික්‍ෂූන් වහන්සේ නමක්වත් නොසිටි හෙයින් මල්වතු මහා විහාරයට පැමිණ
සියලු පුවත් අතිගෞරවාර්‍හ මහානායක මාහිමියන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට සැල
කෙරිණි. ඉන්පසු කාරක මහා සංඝ සභාවේ වැඩ විසූ සිරිමල්වත්තේ ශ්‍රී පියරතන නාහිමි,
පහමුණේ ශ්‍රී ගුණානන්‍ද අනුනාහිමි ඇතුළු මහ සඟරුවනත් සැදැහැවත් පිරිසත් චෛත්‍යරාජයා
සොයා යනවිට බෙර ශබ්දයක් ඇසුණි. ඒ ඔස්සේ ගමන් කරන විට ගින්දරක් මතු වෙනවා දැක එම
ස්ථානයට ගොස් බලන විට ගරාවැටුණු චෛත්‍යය දුටහ.
මෙවන් අවස්ථාවකට පත්ව තිබූ මෙම සෝමවතී චෛත්‍යස්ථානය වෙත 2002 වර්ෂයේ දී රාජ්‍ය
නිලධාරින් පොලිසිය හමුදාව ඇතුළු ආරක්‍ෂක අංශ හා මහජනතාව සමඟ ගොසින් බලනවිට මහඝන
කැලයකින් වැසී තිබුණි. එදා පටන් ශුද්ධ පවිත්‍ර කොට අද වන විට මාර්ග, ජලය, විදුලිය
ආදි යටිතල පහසුකම් ද සලසා දුන් අතර, සැදැහැවත් දානපතියන්ගේ හා මහජනතාවගේ ආධාර උපකාර
නිසාම අද පවත්නා තත්ත්වයට පත් කර ගැනීමට හැකි වුණි. මෙවන් තත්ත්වයට පත් කර ගැනීමට
උදව් උපකාර කළ සියලුම දෙනාට තුණුරුවන්ගේ හා දළදා සමිඳුගේ ආශිර්වාදය ලැබේවා'යි
ප්‍රාර්ථනය කරමින් මේ වන විට චෛත්‍ය රාජයාගෙන් බුද්ධ රශ්මි මාලා පමණක් නොව සම්බුද්ධ
රූපය ද මහාබ්‍රහ්ම, ශ්‍රී විශ්ණු, ඊශ්වර, සක්දෙව් ආදී දේව රූප ද සුදු ඇත්පැටව්,
අශ්වයන් ආදීන් ද දැක ඡායාරූප ගතකොට සකල ලෝකයාට ම දැක බලා ගැනීමට සලස්වා ඇත. |