අස්ථාන සැකය විශාල විනාශයක ඇරැඹුමයි
සමාජයේ කුඩාම ඒකකය ලෙස පවුල හඳුන්වාදිය හැකි ය. එවැනි පවුල් කීපයකින් ගමක් හැදෙනු
ඇත. එවැනි ගම් කිහිපයක් එකතුවීමෙන් නගරයක් සෑදෙනු ඇත. එවැනි නගර කිහිපයක් එක්වීමෙන්
රටක් හැදෙනු ඇත.
මේ සියලු රටවල් එකතුවීමෙන් අපගේ ලෝකය නිර්මාණය වී තිබේ. ඒ අනුව ලොවක් නිර්මාණය කරන
කුඩාම පවුල් ඒකකය කෙතරම් ශක්තිමත් එකක් ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ. පවුල් ඒකකයට
මෙවැනි ප්‍රවේණියක් නැතහොත් පරම්පරාවක් තිබීම එහි සුවිශේෂී ලක්ෂණයක් ලෙස
හඳුන්වාදීමට පුළුවන.
මෙම සමාජයේ ශක්තිමත් අරටුව වන්නේ අඹු සැමියන් ය. නැතහොත් ඔවුන්ගේ විවාහ සංස්ථාවයි.
ආදරයෙන්, කරුණාවෙන්, මිත්‍රත්වයෙන්, ජීවත්වන යුවතිපතීන් නිසා පවුල් සංස්ථාව පමණක්
නොව රටක් ම ලස්සන වනු ඇත.
ලස්සනට සෙනෙහසින් ජීවත් වන පවුල් ඒකකයක් කුරුලු කැදැල්ලක් තරම් සුන්දර ය. යුග
දිවියක මහිමය කියාදෙන අංගුත්තර නිකායේ චතුක්ත නිපාතයේ පඨම නකුල සමජීව සූත්‍රය
හඳුන්වාදීමට පුළුවන. එහි සඳහන් වන අන්දමට නකුල සැමියා බුදුරජාණන් වහන්සේ ළඟට ගොස්
මෙහෙම කියනවා.
“මම නකුල මාතා විවාහ කරගත්තේ යොවුන් වියේ දී, එදා සිට ඇය හැර වෙන කිසිවකු ගැන
සිතකින්වත් හිතුවේ නැහැ කියලා. එසේ නම් කයින් ඇසුරු කිරීම පිළිබඳ කවර කතා ද?
ඒ වගේම නකුල මාතාවත් කියනවා. නකුල සැමියා හැර වෙනත් කිසිවකුත් ගැන හිතකින්වත්
හිතුවේ නැහැ කියලා. එසේ නම් වෙනත් අයෙකු පිළිබඳව කයින් ඇසුරු කිරීම පිළිබඳ කුමන
කතාද?” නකුල සැමියාත්, නකුල බිරිඳත් ඔවුනොවුන් කෙරේ දැඩි සෙනෙහසින් තෘප්තිමත්ව
යුගදිවිය ගත කළ යුවළක්. එනිසා ඊළඟ භවයේදීත් එකට එක් වී සාර්ථක යුග දිවියක් ගත
කිරීමයි මේ දෙදෙනා ප්‍රාර්ථනා කරන්නේ. ඔවුන් දෙදෙනාගේ ප්‍රාර්ථනාව දෙස බැලීමේ දී
අපට පෙනී යනවා අඹුසැමියන් වශයෙන් ඔවුනොවුන් අතරේ තිබුණු බැඳීම කෙතරම් දැඩි ද කියලා.
මෙලොව පමණක් නොව ඊළඟ භවයේදීත් අඹු සැමියන් ලෙස එක්වීමට ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ
එනිසයි. මෙලෙස ඉතාමත් අවබෝධයෙන් යුග දිවිය ගත කරන පිරිස් අප අතරේ සිටිනවා. එදා
භාරතීය සමාජයේත් එවැනි අඹුසැමියන් සිටියා. නමුත් ඉන් අදහස් කරන්නේ නැහැ. එදා භාරතීය
සමාජයේ සෑම යුග ජීවිතයක් ම මේ අයුරින් තිබුණා කියලා.
කෙසේ වෙතත් විවාහ සංස්ථාවේ දෙදරායෑම් නූතනයේ නිතර අපට අසන්නට ලැබෙයි. පැරැණි සමාජයේ
ස්ථාවරව පැවැති විවාහය නූතනයේ ඉතා ලිහිල්ව යන ආකාරයක් දක්නට ලැබෙයි. විවිධ හේතු
සාධක අතර අන්‍යෝන්‍ය වශයෙන් ගොඩනැඟෙන අවිශ්වාසය හා සැකය බොහෝ දුරට මීට හේතු වී
තිබෙයි. දුරකතන ඇමතුමකින් ලද ආරංචියක් වුව පවුල් දිවිය දෙදරවා හරින්නට සමත් වෙයි.
මෙවැනි, අස්ථානයේ ගොඩනඟා ගන්නා සැකය හා අවිශ්වාසය මත පවුල් අවුල් කර ගන්නා අයට ගුණ
ජාතකයෙන් ප්‍රබල පණිවිඩයක් සම්පාදනය කරයි.
බෝසතාණන් වහන්සේ සිංහයකුව ඉපිද වනයෙහි අනතුරකට ලක්ව පිහිටක් නොලබා තනි වූ මොහොතක
පිහිටට එන කැනහිලකුට ප්‍රත්‍යුපකාර කිරීම පිණිස කැනහිලා ද, ධේනුව ද ගෙන්වා තම ලෙන
අසල පදිංචි කරවා ගනී. සෑම දිනම වනයට ගොස් ගොදුරු සොයා, සිංහ ධේනුවට මෙන් ම කැනහිල්
ධේනුවටත් එක ලෙසින් ම ගෙනැවිත් දී පෝෂණය කරයි. සිංහයාට දරු දෙදෙනා ද, කැනහිලාට දරු
දෙදෙනා ද වෙයි. කල්යාමේ දී කැනහිල් ධේනුවට හා දරුවන්ට ගොදුරු ගෙනැවිත් දීම ගැන සිංහ
ධේනුව අකැමැති වෙයි. සිංහයා හා කැනහිල් ධේනුව අතර සබඳතාවත් ඇතැයි ඈ සිතන්නට පටන්
ගනී. කැනහිල් දරුවන් සිංහයාගේ ම විය හැකි යැයි ද සිතන්නට පටන් ගනී. මේ සිතිවිල්ල ඇය
තුළ වර්ධනය වීමෙන් ඊර්ෂ්‍යාවක් බවට පත්ව කැනහිල් ධේනුවගෙන් හා දරුවන්ගෙන් පළිගන්නට
පටන් ගනී. නිවෙස් දෙකෙහි ඇති කළ ගින්දර නිවාලන්ට හැකි වූයේ සිංහයා තම ධේනුවට සියලු
කරුණු අවබෝධ කර දීමෙනි.
කෘතවේදීත්වයේ අගය මනුෂ්‍ය සමාජයට කියා දෙන මෙම ජාතකය සුළු දෙයින් පවා භේද හදා ගන්නා
නූතන ඇතැම් බිරින්දෑවරුන්ගේ ස්වභාවය ද විවරණය කරයි. අස්ථාන සැකය හා ඊර්ෂ්‍යාව විශාල
විනාශයක් කළ හැකි බව කියා දෙයි. එපමණක් නොව පවුල් දිවියක ඇති වන ගැටලුවක්
බුද්ධිමත්ව සාකච්ඡා කිරීමෙන් විසඳා ගත හැකි ය, යන දර්ශනය මෙම ජාතකයෙන් ඉදිරිපත්
කෙරෙයි. ඒ අනුව ගුණ ජාතකයේ සිදුවීම් නිරූපණය කරන්නේ නූතන අපේ සමාජයේ පවුල් සංස්ථාව
නොවේ ද?
බුදුරජාණන් වහන්සේ සුජාතාවට දේශනා කළ භාර්යාවන් පිළිබඳ අංගුත්තර නිකායේ සප්තභරියා
සූත්‍රයේ සඳහන් වන කාරණා වර්තමාන සමාජයට අතිශයින් ම වැදගත් වෙයි. එනම්,
අනේපිඬු සිටුතුමාගේ පුතා විවාහ වුණේ සුජාතා නම් වූ තරුණියක සමඟයි. සුජාතා කියන්නේ
ධනංජය සිටුවරයාගේ දියණියයි. ධනංජය යනු විශාඛා මහා උපාසිකාවගේ පියාණන්. ඒ අනුව
විශාඛාවගේ නැඟණිය වූ සුජාතා විවාහ වුණේ අනේපිඬු සිටුතුමාගේ පුතත් සමඟයි.
මේ විවාහයෙන් පසුව දිනක් බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුතුමාණන්ගේ නිවසට වඩිනවා. එම
වෙලාවේ දී අනේපිඬු සිටුතුමාගේ නිවසේ තිබුණේ මහා කලබැගෑනියක්. එවිට බුදුරජාණන්
වහන්සේ විමසීමක් කරනවා මෙම ගාලගෝට්ටියට හේතුව කුමක්ද කියලා.
එවිට අනේපිඬු සිටුතුමා පිළිතුරු දෙමින් ප්‍රකාශ කරනවා සුජාතා නිවසට පැමිණි දිනයේ
සිට නිවසේ මෙවැනි සණ්ඩු සරුවල් ඇතිවෙනවා කියලා.
සුජාතා කියන්නේ ආඩම්බරකාර දියණියක්. එම ආඩම්බරකමට හේතු වූයේ ඇය බොහෝම ධනයෙන්, භවභෝග
සම්පත්වලින් ආඪ්‍ය වූ සිටුපවුලක දියණිය වීමයි. ඇයගේ මෙම ආඩම්බරකම නිසා ස්වාමියාගේ
පාර්ශ්වයේ ඥාති හිත මිත්‍රාදීන්ට සංග්‍රහ කිරීමක් හෝ කතා කිරීමක් සිදුවූයේ නැහැ.
මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සුජාතාවට දේශනා කරනවා විවිධ ගති සොබා ඇති භාර්යාවන්
හත්දෙනකු සිටින බව.
බුදුරජාණන් වහන්සේ සුජාතාවට දේශනා කළ භාර්යාවන් පිළිබඳ අංගුත්තර නිකායේ සප්තභරියා
සූත්‍රයේ වැඩිදුරටත් සඳහන් වනවා.
එම භාර්යාවන් හත්දෙනා මෙසේයි.
වධක සම භරියා, චෝර සම භරියා, අරිය සම භරියා, මාතු සම භරියා, භගිනි සම භරියා, සකි සම
භරියා හා දාසි සම භරියායි.
මෙම භාර්යාවන් හත්දෙනාගේ ගති ලක්ෂණ හඳුනා ගැනීමෙන් කෙනකුට නිවැරැදි වෙන්න පුළුවන්.
අනෙක් පැත්තෙන් බලන විට බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍ර දේශනාව දේශනා කර තිබෙන්නේ
දෙපැත්තට ම සමබර වන ලෙසයි. භාර්යාවන්ට අදාළ මෙම ලක්ෂණ සමහර විට පුරුෂ පාර්ශ්වයේත්
දක්නට ලැබෙනවා. එනිසා මෙම වැරැදි ගති ලක්ෂණ නැති කර ගෙන හොඳ ආකල්ප ඇති කර ගැනීමෙන්
සාර්ථක විවාහ සංස්ථාවක්, සාර්ථක යුගදිවියක් ගත කිරීමට හැකියාව ලැබෙනවා.
- හේමමාලා රන්දුනු |