[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මහාසාරෝපම සූත්‍රය : පැවිදි දිවියේ සැබෑ අර්ථය...

මහාසාරෝපම සූත්‍රය :

පැවිදි දිවියේ සැබෑ අර්ථය...

දෙව්දත් තෙරුන් සසුනෙන් නික්ම ගොස් වැඩිකලක් ගතවන්නට පෙර, භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වෙසෙන සේක්, දෙව්දත් තෙරුන් නිමිති කොට භික්ෂූන් අමතා මේ සූත්‍රය වදාළ සේක.

මහණෙනි, මෙලොව ඇතැම් කුලපුත්‍රයෙක් ඉපදීම, ජරාව, මරණය, ශෝකය, වැලපීම, කායික දුක, මානසික දුක, බලවත් වෙහෙස යන මේ දුක් රැසින් පෙළෙන බැවින් මේ දුක් රැසින් කෙසේ හෝ එතෙර වන්නට ලැබුණොත් යෙහෙකැයි සිතා ශ්‍රද්ධාවෙන් ගිහි ගෙයින් නික්ම සසුන්ගත වෙයි.

මෙසේ සසුන්ගත වූ ඒ මහණ තෙම සිවුපසයත්, සත්කාර සම්මානත්, කීර්ති ප්‍රශංසාවනුත් ලබයි. නැතහොත් ඒවා ලැබෙන පරිදි ක්‍රියා කරයි. එසේ ලද ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ගෙන් සෑහීමට පැමිණ, තමන් හුවාදැක්වීමත්, අනුන් හෙළා දැක්වීමත් කරන්නේ මම ලාභී කෙනෙක්මි, කීර්ති ඇත්තෙක්මි. බොහෝ අය මා මෙන් සෙසු භික්ෂූන් නො දන්නාහු ය. ඔවුහු අප්‍රසිද්ධ භික්ෂූහු යැයි කියමින් මත්වීමටත්, ප්‍රමාදයටත් පැමිණ දුක සේ වෙසෙයි.

මහණෙනි, එය කෙබඳු දැයි කියතහොත්, අරටුව අවශ්‍ය වී අරටුව සොයන්නා වූ පුරුෂයෙක් නොවැටී තිබෙන, මහ ගසක් දැක, ඒ ගසෙහි අරටුව හැරදමා, පලය හැරදමා, සිවිය හැරදමා, පතුරු හැරදමා, ඒ ගසෙහි අරටුව යැයි සිතා අතු හා කොළ රැගෙන යාම මෙනැ යි කිව යුතු ය.

මහණෙනි, එසේ ගෙන යනු දුටු ඇස් ඇති පුරුෂයෙක් මේ තැනැත්තා ගසේ අරටුව අඳුනන්නේ නැත. පලය අඳුනන්නේ නැත. සිවි අඳුනන්නේ නැත. පතුරු අඳුනන්නේ නැත. අතුකොළ අඳුනන්නේ නැත. එහෙයින් ම අරටුව අවශ්‍ය වූ මේ තැනැත්තා අරටුව යැයි සිතා අරටුව හැරදමා, පලය හැරදමා, සිවිය හැරදමා, පතුරු හැරදමා, අතුකොළ කඩාගෙන ගියේ ය. ඔහුට අරටුවෙන් කළ යුතු යම්කිසි වැඩක් ඇත්නම්, එය සඵල නොවන්නේ යැයි ද කියන්නේ ය.

එපරිද්දෙන් ම මහණෙනි, ජාති ජරා මරණාදී නොයෙක් දුක්වලින් පෙළෙන බැවින් ඒ දුකින් මිදෙනු පිණිස සසුන්ගත වුවමනා යැයි අදහස් කොට, සසුන්ගත වූ මහණ තෙමේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඇත්තේ එපමණකින් සෑහීමට පත්වීම මම ලාභී කෙනෙක්මි, කීර්ති ඇත්තෙක්මි. සෙසු මහණහු මා මෙන් බොහෝ අය නොදන්නාහු ය. ඔවුහු අප්‍රසිද්ධයහ කියමින් තමන් හුවා දැක්වීම, අනුන් හෙළා දැක්වීම කරමින්, ලාභ සත්කාර, කීර්ති, ප්‍රශංසාවන්ගෙන් මත් වී, එයින් ම පමාවට පැමිණියේ, දුකින් වෙසෙයි. මේ මහණ තෙමේ සසුන් බඹසර නමැති මහ ගසේ අරටුව යැයි සිතා සෑහීමට පත්වූයේ එහි අතුකොළ ගැනීමෙන් යැයි කිව යුතු ය.

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුලපුත්‍රයෙක් ජාති ජරා මරණාදී නොයෙක් දුකින් පෙළෙන බැවින්, ඒ දුකින් මිදෙනු පිණිස සසුන්ගත වුවමනා යැයි අදහස් කොට, සසුන්ගතවී ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපදවා, එපමණකින් සෑහීමකට පත් නොවී, එයින් තමන් හුවාදැක්වීමත්, අනුන් හෙළා දැක්වීමත් නොකොට, මත් නොවී, පමාවට නොවැටී, අප්‍රමත්ත වූයේ සීලසම්පත්තිය ලබන්නේ ය. හේ එම සීල සමාපත්තිය කරණ කොටගෙන සෑහීමට පත්ව, මම සිල්වත්මි, කලණ දහම් ඇත්තෙමි. සෙසු භික්ෂූහු දුශ්ශීලයෝ ය. ලාමක පැවතුම් ඇත්තෝ යැයි සිතති. තමන් හුවා දැක්වීමත්, අනුන් හෙළා දැක්වීමත් කරයි. එමතු ද නොව, ඒ ශීලයෙන් මත් වී තෙමේ පමාවට ද පැමිණෙයි. පමාවට පැමිණියේ ම දුකින් වෙසෙයි.

එය කෙබඳු දැයි කිවහොත්, අරටුවෙන් ප්‍රයෝජන ඇත්තෙක් අරටුව සොයා යන්නේ, නො වැටී තිබෙන මහ ගසක් දැක, අරටුව යැයි සිතා ඒ අරටුවත්, පලයත්, සිවියත්, හැර දමා පතුරු ගලවාගෙන යාම බඳු යැයි කිව යුතු ය.

මහණෙනි, එසේ ගෙන යනු දුටු ඇස් ඇති පුරුෂයෙක්, මේ තැනැත්තා ගසේ අරටුව, පලය, සිවිය, පතුරු, අතුකොළ යන කිසිවක් නො අඳුනයි. එහෙයින් ම අරටුව යැයි සිතා, අරටුවත්, පලයත්, සිවියත් හැරදමා පතුරු ගෙන ගියේ ය. ඔහුට අරටුවෙන් කළයුතු යම් වැඩක් ඇත්නම්, එය සඵල නො වන්නේ යැයි ද කියයි.

එපරිද්දෙන් ම මහණෙනි, නොයෙක් දුක්වලින් පෙළෙන බැවින්, එයින් මිදෙනු පිණිස සසුන්ගත වූ මහණ තෙමේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ගෙන් පමණක් සෑහීමට පත් නොවී, නොපමා වූයේ ශීල සම්පදාවෙන් සෑහීමට පත් ව, තමන් හුවා දක්වමින් අනුන් හෙළා දක්වමින් ශීල මාත්‍රයෙන් මත් වී එයින්ම පමාවට වැටි දුකින් වෙසෙයි. මහණෙනි, මේ මහණ තෙමේ සසුන් බඹසර නමැති මහ ගසේ අරටුව යැයි සිතා පතුරු සිඳ ගැනීම මෙනැයි කිව යුතු ය.

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ජාති ජරා මරණාදී, දුක්වලින් පෙළෙන බැවින්, එයින් මිදෙනු රිසියෙන් සසුන්ගත වූයේ තෙමේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන් ගෙන් නො සෑහී සීල සම්පදාවට පත් ව, එයිනිදු නොසෑහී සමාධි සම්පදාවට පත් ව, එයිනුදු නොසෑහී අප්‍රමත්ත වූයේ ඥාන දර්ශනය (පඤ්චඅභිඥා) ලබන්නේ ය. හෙතෙම එයින් සෑහීමට පත්වූයේ බලාපොරොත්තු සම්පූර්ණ වී යැයි සිතා මම දැනීමෙන් සහ දැකීමෙන් වාසය කරමි. අනෙක් භික්ෂූන් නො දැන, නො දැක වෙසෙති යි තමන් උසස් කොටත් අනුන් පහත් කොටත් සිතන්නේ ය. මෙසේ සිතා මත් වී පමායෙන් යුතු වූයේ දුක සේ වෙසෙන්නේ ය.

මහණෙනි, එය කෙබඳු දැයි කිවහොත් අරටුවෙන් ප්‍රයෝජන ඇත්තෙක් අරටුව සොයා යන්නේ නො වැටී තිබෙන මහ ගසක් දැක, අරටුව යැයි සිතා අරටුව හැරදමා, පලය සිඳගෙන යන්නාක් මෙනැයි කිව යුතු ය. ඔහුට අරටුවෙන් කළ යුතු යම්කිසි වැඩක් ඇත්නම් එය ද සපල නො වන්නේ ය.

එපරිද්දෙන් ම මහණෙනි, නොයෙකුත් දුක්වලින් පෙළෙන බැවින්, එයින් මිදීම පිණිස සසුන්ගත වුවමනා යැයි අදහස් කොට, සසුන්ගත වූ මහණ තෙමේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීමෙන් තෘප්ත නොවී, සීල සම්පදාවට පත්ව එයිනිදු තෘප්ත නොවී, සමාධි සම්පදාවට පත්ව, එයිනිදු තෘප්ත නොවී, සිය බලාපොරොත්තු සඵල නො වූයෙන්, සමාධි සම්පදායෙන් මත් නොවී නොපමාව, ඥාන දර්ශනය උපදවාගෙන එය කරණ කොටගෙන මත් වී සසුන් බඹසර නමැති ගසේ අරටුව හැරදමා, පමාවට වැටී, මම දනිමින් දකිමින් වෙසෙමි. සෙසු භික්ෂූහු නොදැන. නොදැක වෙසෙන්නාහු ය. මෙසේ තමන් උසස් කොටත්, අනුන් පහත් කොටත් සිතමින් දුක් සේ වෙසෙන්නේ ය. මහණෙනි, මේ මහණ තෙමේ සසුන් බඹසර නමැති ගසේ අරටුව හැරදමා, පලය සිඳගෙන යන්නෙකැයි කිව යුතු ය.

මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කුල පුත්‍රයෙක් ජාති ජරා මරණා දී දුක්වලින් පෙළෙන බැවින්, එයින් මිදෙනු පිණිස සසුන්ගත වන්නේ ය. එසේ සසුන්ගත වූ ඒ මහණ තෙමේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන් ලැබීම් තරමින් සෑහීමකට පත් නොවී සීල සම්පදාවට පත්ව එයිනුදු නො සෑහී, සමාධි සම්පදාවට පත් ව එයිනුදු නො සෑහී, ඤාණ දර්ශනය ලබන්නේ ය. හෙතෙමේ ඒ ඤාණ දර්ශනයෙන් තුටු වූයේ නමුදු බලාපොරොත්තු සම්පූර්ණ නොවූයේ වෙයි. හෙතෙමේ ඒ ඤාණ දර්ශනයෙන් තමන් හුවා නො දක්වමින් අනුන් හෙළා නොදක්වන්නේ ඤාන දර්ශනයෙන් මත් නොවේ. පමා නොවේ. නො පමා වූයේ ම සියලු කෙලෙසුන්ගෙන් ඒකාන්තයෙන් මිදීම වූ නව ලෝකෝත්තර ධර්මය (රහත් බව) ලබන්නේ ය.

මහණෙනි, ඒ මහණ තෙමේ ඒ නව ලෝකෝත්තර ධර්මයෙන් කිසිසේත් ම පිරිහෙන්නේ නැත. එසේ සිදුවීම හේතු රහිත ය. අවකාශ රහිත ය. එය කෙබඳු දැයි කිවහොත් අරටුව අවශ්‍ය වූ, අරටුවෙන් ප්‍රයෝජන ඇත්තා වූ පුරුෂයෙක් නො වැටී පවත්නා හරවත් මහ ගසක් දැක. ඒ ගසේ අරටුව හඳුනාගෙන, අරටුව ම සිඳගෙන යන්නකු මෙනැයි කිව යුතු ය.

මහණෙනි, එය දුටු ඇස් ඇති පුරුෂයෙක් මෙසේ කියන්නේ ය. කෙසේ ද යත්, නිසැකයෙන් ම මේ පින්වත් පුරුෂයා, ගසේ අරටුව අඳුනන්නේ ය. පලය අඳුනන්නේ ය. සිවිය අඳුනන්නේ ය. අතුකොළ අඳුනන්නේ ය. ඒ නිසා ම, මේ පින්වත් පුරුෂයා අරටුවෙන් ප්‍රයෝජනය ඇත්තේ, අරටුව සොයන්නේ ගසේ හරය ම (අරටුව ම) ඇඳින සිඳගෙන ගියේ ය. මොහුට අරටුවෙන් කළ යුතු යම් කිසි වැඩක් ඇත්නම්, එය සපල වන්නේ ය කියා ය.

මහණෙනි, එ පරිද්දෙන් ම යම් කිසි කුල පුත්‍රයෙක් ජාති ජරා මරණ ශෝක පරිදේව කායික දුක්, මානසික දුක්, දැඩි වෙහෙස යන මේ දුක්වලින් පෙළෙන බැවින් එයින් මිදෙනු පිණිස සැදැහැයෙන් ගිහිගෙයින් නික්ම සසුන්ගත වන්නේ ය.

මෙසේ සසුන්ගත වූ මහණ තෙමේ ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා උපදවන්නේ එයින් සෑහීමට පත් නොවී තමන් උසස් කොටත් අනුන් පහත් කොටත් නො සිතමින්, අප්‍රමත්ත වූයේ ශීල සම්පදාව ලබන්නේ ය. එයින් සෑහීමට පත් නොවී, එයින් මත් නොවී තමන් උසස් කොටත් අනුන් පහත් කොටත් නො සිතමින් අප්‍රමත්ත වූයේ ඤාණදර්ශනය ලබන්නේ ය. එයිනුදු සෑහීමකට පත් නොවී, මත් නොවී, තමන් උසස් කොටත් අනුන් පහත් කොටත් නො සිතමින් අප්‍රමන්ත වූයේ කෙලෙසුන් කෙරෙන් මිදී නව ලෝකෝත්තර ධර්ම (රහත් බව) ලබන්නේ ය. මහණෙනි, නව ලොව්තුරු දහම් ලත් ඒ මහණ තෙමේ ඒ නව ලොව්තුරු දහමින් (රහත් බවින්) පිරිහෙන්නේ ය යන මෙ කරුණ කිසිසේත් ම සිදු නොවන්නක් ය. එයින් පිරිහීම අවකාශ රහිත වූවක් යැයි වදාළ සේක.

මහණෙනි, මෙසේ මේ ශාසන බ්‍රහ්මචර්යාය ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා පිණිස නොවේ. සීල සම්පත්තිය පිණිස ද නොවේ. සමාධි සම්පත්තිය පිණිස ද නොවේ. ඤාණ දර්ශනය (පඤ්ඤාභිඥා) පිණිස ද නොවේ. කිසිවකින් කොප්‍ය (වෙනස්) කළ නොහැකි හෙයින් ස්ථිර ය. එහෙයින් අචල වූ යම් රහත් බවක් වේ නම් මහණෙනි, මේ බ්‍රහ්මචර්යාය ඒ රහත් බව පිණිස ම වන්නේ ය. මෙය වූ කලි ශාසන බ්‍රහ්මචර්යායේ සාරය යි. මේ නිෂ්ටාව යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

සතුටට පත් ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ.

බුද්ධශාසන අමාත්‍යාංශයේ බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලය විසින් සම්පාදිත සිංහල මැදුම් සඟියෙනි.

පොසොන් අමාවක

ජුනි 17 සෙනසුරාදා
පූ.භා. 09.15 න් අමාවක ලබා
18 ඉරිදා පූ.භා. 10.10 න් ගෙවේ.
17 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]