පොසොන් අමාවක 2023-06-17
නරක මඟහැරීමට ...
ඕනෑම පින්කමක් අවසානයේ දී "ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ" යනාදී ගාථා
ධර්මයෙන් සත්පුරුෂ ඇසුර ප්‍රාර්ථනා කිරීම බොදුනුවන්ගේ සිරිතකි. ඒ මෙලොව ජීවිතයට සේ
ම මරණින් මතු ද යහපත - අයහපත තීරණය කරන ප්‍රධාන සාධකයක් ලෙස ඇසුර බලවත් වන බැවිනි.
තමන්ගේ අභිවෘද්ධිය පතන කවර පුද්ලයකුට වුව ද සත්පුරුෂ අසුර ඉතා වැදගත් ය. බාල, තරුණ,
වයෝවෘද්ධ ආදී භේදයක් එහි නොවේ.
ඇසුර ගැන කතා කළ යුතු, දැඩි අවධානය යොමු කළ යුතු කාලයක් එළඹ ඇති බව විවිධ සමාජ
සංසිද්ධීන් දෙස බැලීමේ දී පෙනී යයි.
පසුගියදා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලියා නිවෙස වෙත යමින් සිටි පිරිමි දරුවෙක්
බස්රථයක දී මුණ ගැසුණි. පි‍්‍රයමනාප මුහුණින් යුතු ඒ දරුවා වැඩිහිටියකුට වුව
සිනාවකින් සංග්‍රහ කිරීමට නිර්ලෝභී විය. එය අද කාලයේ දුර්ලභ දසුනෙකි. ඒ දරුවා මා
සමඟ කතාවට එක් වුණේ සමීප අසුනක හිඳ සිටි බැවින් හා ගමන ද දුර වූ බැවිනි. බස්රථයේ
ගමන් කළ තවත් තරුණ දරුවන් කිහිප දෙනෙකුගේ හැසිරීම ද එම කතාබහට පෙළඹවීමක් වුණි.
"මගෙත් යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ අයගෙන් හුඟක් අය මත්ද්‍රව්‍යවලට පුරුදු වෙලා. මටත්
බල කරනවා. ඒත් මම යාළුවන්ට කියන්නේ තරහ වෙන්න එපා. මම වෙන ඕනෑම දුකකට කරදරයකට ළඟ
ඉන්නවා. ඒත් ඔය වගේ දේට කතා කරන්න එපා" කියලයි. ඒ දරුවා පැවසූ වචන අවංක බව පැහැදිලි
වුණි.
හොඳ නරක තෝරා බේරා ගෙන අයහපත මඟ හරින්නට තරම් අවබෝධයක්, හැඟීමක් ඒ දරුවාට තිබීම ගැන
සතුටු ය. මව්පියන්ගේ වැඩිහිටියන්ගේ මඟ පෙන්වීම් අනුව හොඳ නරක තෝරා ගන්නට පෙළඹෙන
මෙවැනි දරුවන් සැබැවින් ම භාග්‍යවන්ත ය. එහෙත් අපේ බොහෝ තරුණ දරුවන්ට, යෞවන වයසේ
පසුවන්නන්ට ඇසුරු කරන අය තෝරා බේරා ගන්නට, හොඳ නරක අවබෝධ කර ගන්නට ශක්තියක් ඇති
බවක් නොපෙනේ. ජීවිතයට පැහැදිලි අරමුණක්, ඉලක්කයක් ඇති බවක් නොපෙනේ. බොහෝ විට නගරයට
පමණක් සීමා වී යැයි සිතූ දුරාචාර අද ඈත දුරබැහැර ගම් දනව් ද ආක්‍රමණය කරමින් සිටී.
සමහර ගම් දොරවල වෙනදා නොදුටු ලෙස කාලය කා දමමින්, රංචු ගැසෙමින් සිටින තරුණ පිරිස්
ඇස ගැටේ. ඇතැම් දරුවන් තරුණ වයසට පවා පැමිණ නැති බව හැඟේ. මේ අතර මත්ද්‍රව්‍ය
භාවිතය ගැන නිරන්තර කතාබහට ලක්වන අයුරුද පෙනේ.
අපේ සමාජය මත් රකුසාගෙන් රැක ගන්නට නම් මව්පියන් ඇතුළු සියලු වැඩිහිටියන් අවදියෙන්
සිටිය යුතුව තිබේ. තමන්ගේ දරුවන් යන එන තැන්, ඇසුරු කරන අය පිළිබඳ අවධානය ඉතා
වැදගත් ය. මත්ද්‍රව්‍ය පමණක් නොව ජීවිතයේ කුදු මහත් සෑම කටයුත්තක ම හොඳ නරක තීරණය
කරන්නට ඇසුරු කරන පුද්ගලයා වැදගත් ය.
සත්පුරුෂයා කවුද, අසත්පුරුෂයා කවුද යන්න හඳුනා ගැනීම පළමුව කළ යුතු ය. සත්පුරුෂයා
පස්පවින් වැළකී සිටි. අනුන් ද පස්පවින් වළකා ගනී.
එහෙත් අසත්පුරුෂයා පංච දුශ්චරිතයෙහි නියැළෙමින් අනුන් ද ඊට සම්බන්ධ කර ගනී. ඇසුරු
කරන්නේ අසත්පුරුෂයන් ම ය. වචනය ද, ක්‍රියාව ද, දැකීම ද අසත්පුරුෂය. ශ්‍රද්ධාව,
විලිබිය නැති අල්පශ්‍රැත වූ හෙතෙම ජීවිතයේ දියුණුව නොදකී. මේ ආදී බොහෝ දුර්ගුණ ඔහු
සතු ය.
බෞද්ධයා කිසිවිටෙක අසත්පුුරුෂ ඇසුරට නොයයි. අපේ දරුවන් තුළ කුඩා කලදීම එම හැඟීම
හොඳින් රෝපණය කළ යුතු ය. එවිට ජීවිත කාලය පුරා අතු ඉතිලා වැඩෙන්නේ ඒ හැඟීම ය. ඒ
සත්පුරුෂ ඇසුර තුළ, සත්පුරුෂ ජීවිතයකට මඟ හෙළි කරනු ඇත.
|