[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඇසුර යහපත අයහපත තීරණය කරයි

ඇසුර යහපත අයහපත තීරණය කරයි

නිසි වයසේ සුදුසු අධ්‍යාපනය නො ලබා, පවුලේ වැඩිහිටියන්ට නොසලකමින්, හිතුවක්කාරී ලෙස ජීවත් වෙමින්, මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වෙමින්, මංකොල්ලකෑම් ආදී විවිධ සමාජ විරෝධී ක්‍රියාවනට යොමු වී සිරගත වෙමින් ජීවත් වන බොහෝ අය එම තත්ත්වයට පත්වීමට අවිනීත පවිටු මිතුරු ඇසුර හේතු වී ඇති බව සමීක්ෂණ මඟින් සොයාගෙන අවසන් ය. එවැනි අපායගාමී මිතුරන් මීට වසර 2600කට පමණ පෙර බුදුන් දවසේ ද සිටි බව, සිඟාලෝවාද සූත්‍රයේ කියැවෙයි. එසේ නම් මංගල කාරණා තිස්අට අතුරින් පළමුව සඳහන් අසේවනා ච බාලානං යනුවෙන් පවට බර මිතුරන්ගෙන් ඉවත් වීම මංගල කාරණයක් ලෙස දැක්වීම කෙතරම් සමාජ විද්‍යාත්මක මනෝ විද්‍යාත්මක සත්‍යයක් දැයි ඔබට ද වැටහෙනවා ඇත.

“පණ්ඩිතානං ච සේවනා” යනුවෙන් දෙවන මංගල කාරණය ලෙස සැලකෙන පණ්ඩිතයන් ඇසුර සකල ලෝවාසීන්ට සුදුසු යැයි යෝජනා වන්නේ එහෙයිනි.

බාලයන් නොවන අය සඳහා උගතා, බුද්ධිමතා ප්‍රඥාවන්තයා යන නාමයන් ද භාවිත වේ. එහෙත් මෙම සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පණ්ඩිතයා කෙබඳු කෙනෙක් දැයි පැහැදිලි කොට දක්වන සැටි සලකා බැලීම ප්‍රයෝජනවත් වනවා ඇත.

මෙලොව පරලොව යන දෙලොව ම දියුණුව සලසා ගැනීමට සිතා මතා ක්‍රියා කරන පුද්ගලයා පණ්ඩිතයා බව බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ සේක.

ඒ අනුව කෙ තරම් බාධ පැමිණියත් ඒ ඒ අවස්ථාවන් හා කලකිරෙන්නේ නැතිව වීර්යය වඩවා තම අධ්‍යාපන හා ආර්ථික ඉලක්ක සපුරා ගෙන, තමා උපයා ගත් ධනය මත්වතුර හා දුරාචාරයෙහි නොයොදවා අය වැය සම ව දැන ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා යන චතුර්විධ සම්පදාවෙන් යුතු ව මෙලොව පරලොව දියුණුව සලසා ගන්නා පණ්ඩිතයා යනුවෙන් ද අර්ථකතනය කළ හැකි ය.

එසේ නම් තම දරුවා මෙබඳු ගතිගුණ ඇති සීලාදි ගුණ ධර්මවලින් සපිරි ඇසුරට යොමු කළ හැකි නම් ඔබ කෙතරම් වාසනාවන්ත ද? අප රටේ වසර තිහක යුද වැදුනු අය පවා පුනරුත්ථාපනය කොට සුමඟට ගත් අවස්ථා ඔබ මාධ්‍යයෙන් දැක ඇත. එසේ නම් තම අවිනීත, කුසීත, මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවා පණ්ඩිත ඇසුරින් යහමඟට යොමු කරවා ගැනීමට දරන උත්සාහය කෙ තරම් බුද්ධිමත් ද? කාලෝචිත ද?

පැවිදි ජීවිතය ද, අධ්‍යාපනය ද සමබරව ඉදිරියට ගෙන යෑමට භික්ෂූන් වහන්සේ පදනම් වූයේ පණ්ඩිත නායක ස්වාමීන් වහන්සේ ඇසුරු කිරීම යි.

මුහුණ සෝදන ජලය පවා භාජනයකට රැස් කොට ගහකට දැමීමට පුරුදු වූයේ ද, කම්මැලි නැති ව පොත පත කියවා දැනුම වැඩිකර ගැනීමට හා ආගමික කටයුතු වගකීමකින් යුතුව ජනතාව වෙනුවෙන් කර දීමට ඉදිරිපත් වීමට හුරු වූයේ ද එම ආදර්ශ සම්පන්න චරිත ඇසුරු කළ නිසා ය.

ඉමිනා පුඤ්ඤ කම්මේන ගාථාවෙහි දැක්වෙන පරිදි අප නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂ පණ්ඩිතයන් ඇසුරු කළ යුත්තේ ඒ නිසා ය. 

පොසොන් අමාවක

ජුනි 17 සෙනසුරාදා
පූ.භා. 09.15 න් අමාවක ලබා
18 ඉරිදා පූ.භා. 10.10 න් ගෙවේ.
17 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]