[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බුදුරජාණන් වහන්සේගේ ආඥා චක්‍රය ඒකාලෝක වූ අයුරු

බුදුරජාණන් වහන්සේගේ ආඥා චක්‍රය ඒකාලෝක වූ අයුරු

අහස ගොරවන්නට විය. විදුලි ධාරා දසත එකාලෝක කරවයි. මෙය පාරසරික සංසිද්ධියක් වුවත් අපි කුඩා කාලයේ අහස ගිගුම් දෙන්නේ දෙවියන් රණ්ඩු වන විටැයි සිතුවෙමු. යුද්ධය යන ආකල්පය අප මනසට පැමිණියේ එතැන් සිට ය.

පෙර මෙන් අදත් හෙටත් පොඩි බිම් කොටසක් වෙනුවෙන් මිනිස්සු කොපමණ යුද්ධ කරත් ද? දහස් ගණනක් කදුළු මැදින් ලබා ගන්නා බිම් කොටස් දෙස උජාරුවෙන් බලා කී දෙනෙක් නම් අධිමානී ව ජීවත් වේ ද? එහෙත් අප ජීවත් වන මන්දාකිනියෙනුත් එහා අප්‍රමාණ මන්දාකිනිවල ආඥා චක්‍රය පතුරා හැරීමට සමත් අපේ බුදුපියාණන් වහන්සේ සියලු බල දරමින් නිහතමානි ව දවසැරූහ.

බුදුන් වහන්සේගේ ආඥා චක්‍රය පතුරා ඇති මන්දාකිනි සම්බන්ධයෙන් කෙටි සටහනක් තබමි. ශ්‍රද්ධා චෛතසිකය තීව්‍ර කිරීම අභිමතාර්ථය කර ගනිමින් මෙම සටහන අංගුත්තරනිකායේ ආනන්ද වග්ගයේ චූළනිකා සූත්‍රය ගුරු කර ගනිමින්, අටුවා ආශ්‍රය කර ගනිමින් සිදු කෙරේ.

බුදු කිසි නිමා විය. සද්ධිවිහාරික හා අන්තේවාසික වත් ද කොට හමාර ය. දිවාවිහරණ ස්ථානගත වු ආනන්ද තෙරුණුවෝ කල්පනා කරන්නට වූහ. අරුණවති සූත්‍රයේ දී පෙර සිඛී බුදුන් සමයේ අග්‍ර ශ්‍රාවක වු අභිභූ තෙරුන් වහන්සේ චක්‍රවාළ දහසක වරෙක අන්ධකාරය මවමින් ද, වරෙක එකාලෝක කරමින් ද ධර්ම දේශනා කළා නම් සර්වඥයන් වහන්සේගේ ආඥා චක්‍රය කෙබඳු වේ දැයි අනන්ද තෙරහු සිතූහ. මෙම සැකය දුරු කිරීම සඳහා බුදුන් වහන්සේගෙන් ම විමසීම සුදුසු යැයි සිතූ ධර්මභාණ්ඩාගාරිකයන් වහන්සේ බුදුරදුන් සමීපයට පැමිණ තම පැනය ඉදිරිපත් කළහ. ඒ පැන විසර්ජනයේ සංක්‍ෂිප්තය පහත දැක්වේ.

අප ජීවත් වන ලෝකයේ තල තිස් එකකි. එනම් ලෝක තිස් එකකි. සතර අපාය, මනුෂ්‍ය ලෝකය, සදෙව් ලෝක, රූපාවචර ලෝක දහසය හා අරූපාවචර ලෝක සතර එම තල තිස් එක යි. එක් සක්වලකැයි මෙම තල තිස් එක හැඳීන්වේ. එක සක්වලක එක් හඳක් හා එක් ඉරක් පමණක් වෙයි. මෙවන් සක්වල දාහක් සහස්‍රී ලෝක ධාතුවකැයි දැක්වේ. එවිට සහස්‍රී ලෝක ධාතුවක ඉර, හඳ, සතර අපාය, මනුෂ්‍ය ලෝකාදිය දහස බැඟින් වෙයි. එනම් චක්කවාළ දහසක් සහස්‍රී ලෝක ධාතුවකි. චූළනිකා ලෝක ධාතුව යනු මෙය යි. මෙම සහස්‍රී ලෝක ධාතුව තථාගතයන් වහන්සේට පමණක් විෂයය වන අතර ශ්‍රාවකයන්ට විෂයය නො වේ.

සහස්‍රී ලෝක ධාතුව දාහෙන් ගුණ කළ පසු ද්විසහස්‍රී මක්‍ධිමිකා ලෝක ධාතුව දැක්වේ. උක්ත පරිද්දෙන් ම මෙම ලෝක ධාතුව ද තථාගතයන් වහන්සේට පමණක් විෂයය වේ. බෝසතුන් වහන්සේ මව්කුස පිළිසිඳ ගැනීම, උපත්තිය, මහාභිනිෂ්ක්‍රමණය, බුද්ධත්වය යන අවස්ථාවන්හි ද බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනා අවස්ථාව, ආයු සංස්කාර අත්හැරීම හා පිරිනිවන් පෑම යන අවස්ථාවන්හි ද ද්විසහස්‍රී මක්‍ධිමිකා ලෝක ධාතුව කම්පා වූ බව අටුවාවේ දැක්වේ.

ත්‍රීසහස්‍රී, මහාසහස්‍රී ලෝක ධාතුව යනු ද්විසහස්‍රී මක්‍ධිමිකා ලෝක ධාතු මෙන් දහස් ගුණයක චක්කවාළ අටුවාවේ දැක්වේ. ගණකපුත්තතිස්ස තෙරුන්ට අනුව ත්‍රීසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුවෙහි සක්වල දසකෝටි ලක්ෂයක් වේ. එනම් ටි‍්‍රලියන දහයකි. මෙසේ දහසෙන් වැඩි වෙමින් චතුර් සහස්‍රී, පඤ්ච සහස්‍රී ආදි වශයෙන් අපිරිමාණ සක්වල ඇති බව අටුවා සාහිත්‍යය පෙන්වා දී ඇත.

අප බුදුරජාණන් වහන්සේගේ ආඥා චක්‍රය ත්‍රීසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුව දක්වා පමණක් පතුරුවා ඇත. ඒ අන් එහා සක්වල පැතිරවීමට නො හැකි නිසා නො වේ. ආටානාටිය, ඉසිගිලිය, ධජග්ග, බොජ්ඣංග, ඛන්ධ, මෝර, මෙත්ත හා රතන යන සූත්‍රයන්හි ආඥාව ත්‍රීසහස්‍රී මහාසහස්‍රී ලෝක ධාතුව දක්වා පතුරුවා ඇති බව අංගුත්තර නිකායට්ඨකථාව පෙන්වා දෙයි. මෙය ද තථාගතයන් වහන්සේට පමණක් විෂය වූවකි.

බුද්ධ බලය අචින්ත ය. අවිෂය ය. අඥානයාට බුදුන් වහන්සේගේ ආඥා චක්‍රය ඥාන ගෝචර නො වෙයි. ආශ්චර්යවත් බුදු සිරිත ඔවුහු හෑල්ලු කරති. සාහිත්‍යකරුවාගේ අතිශයෝක්තියකැයි හාස්‍යයට ලක් කරති. නමුත් බුදු ගුණ හාස්‍යයට ලක් නො වෙයි. බුදු දහම අබිමුව විද්‍යාව ළදරුවෙකැයි විද්‍යාඥයන් ම පැවසූයේ එනිසාවෙනි.

බලවත් වූ සැදැහැ ඇත්තෝ ප්‍රඥාවෙන් දුබල ය. එනිසා ම ඔවුහු සතුටින් පසු වන මෝඩයන් ය. බලවත් වු ප්‍රඥාව ඇත්තෝ සැදැහැයෙන් දුබල ය. එනිසා ම ඔවුහු කපටි ය. ලෙඩක් සුව කිරීමට පානය කළ බෙහෙතකින් වෙනත් ලෙඩක් හැදුනාක් මෙන් ඔවුන් ව සුව කළ නො හැකි යැයි විභංගට්ඨකථාවේ අනුශාසනාව කොතරම් සාධාරණ ද? උඩින් පල්ලෙන් බෞද්ධ දර්ශනය කියැවූවෝ බුදු සිරිත කියති. කියවති. රඟ දක්වති. විහිලුවට ගනිති. සිනාසෙති. සිනස්සවති. ඒ සියල්ල වටා මුදල, ජනප්‍රියත්වය රජ කරති. අපට බුදුරදුන්ගේ ආශ්චර්යය කීමට තියා සිතා අවසන් කිරීමට උත්සාහ ගැනීමමත් විහිලුවකි. බුදු බලය අබියස සියලු බල නිහඬ ය. සසල ය. කම්පිත ය.

පොසොන් අමාවක

ජුනි 17 සෙනසුරාදා
පූ.භා. 09.15 න් අමාවක ලබා
18 ඉරිදා පූ.භා. 10.10 න් ගෙවේ.
17 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]