මළුපෙත් ඇමදීමේ කුසලය විපාක දුන් හැටි
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
බෞද්ධයින් විදිහට අප හැමෝම පාහේ විහාරයකට ගොඩවෙනවා. මල් පූජා කරනවා. සිල් සමාදන්
වෙනවා. බෝධි පූජා පින්කම් පවත්වනවා. මෙවැනි විවිධ පුද පූජා පවත්වන්න පෙරාතුව
විහාරයට ගොඩවුණ අප සිදු කරන්නේ ඉදල හෝ කොස්ස හෝ අරගෙන විහාර මළුව, බෝ මළුව වගේම
විහාර මන්දිරය ඇමදීමයි.
ආච්චී සීයාගෙන්, මවුපියන් පුරුදු වන මේ වතාවත් දූ දරුවන් ද නොවරදවා ම පුරුදු වෙනවා.
ඉතිං අද මේ කියන්න යන කතාව අහලා ඔබ පුදුම වේවි. මෙතරම් ආනිසංසයක් මේ පුංචි වතාවත්වල
තියනවා ද කියලා.
මිලිඳු රජතුමාගේ හා නාගසේන හාමුදුරුවන්ගේ කතා පුවතත් අහල තියන බෞද්ධයින්ට නම් මේ
කියන්න හදන කතාව පුදුම වෙන්න දෙයක් නෑ.
දුටුගැමුණු රජතුමා කියන්නේ බොහෝම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක්නේ. එතුමාගේ පියතුමාත්,
මවත් ඒවගේම බොහෝම ශ්‍රද්ධා සම්පන්න උදවිය. දුටුගැමුණු රජතුමාට හිටියා එක ම එක
සහෝදරයෙක්.
ඔහු හැඳින්නුවේ ‘තිස්ස’ කියලා. එහෙම වුනත් මවුපියන්ගේ සහ සහෝදරයාගේ ශ්‍රද්ධාව
ඉක්මවා ගිය ශ්‍රද්ධාවක් වගේම තුනුරුවන් කෙරෙහි තිබුණේ පුදුම ගෞරවයක්. මේ නිසා ම
අමාත්‍ය මණ්ඩලයත්, රටවැසියාත් රජතුමා හඳුන්වන්න පුරුදු වුණා ‘සද්ධාතිස්ස’කියලා.
තමන්ගේ සහෝදරයාගෙන් පස්සේ රාජ්‍ය පාලනය බාර ගත්තේ මේ රජතුමා. පුංචි කූඹියකුටවත්
හිංසාවක් පීඩාවක් නැතිව රට පාලනය කළා.
පින්කම් කරන්න බෙහෝම ආශා කළා. දවසක් මේ රජතුමාට හිතුණා රත්රන් තලියක් හදලා විහාරයකට
පූජා කරන්න. අමාත්‍ය මණ්ඩලය කැඳවලා දවසක් ඇහුවා ‘අමාත්‍යවරුනි, මම ලොකු පින්කමක්
කරන්න හිතන් ඉන්නවා. භාණ්ඩාගාරයේ තියෙන රත්රන්වලින් මට හොඳ රන්තලියක් හදාගන්න ඕන.
මේ වැඩේට දක්ෂ රන්කරුවෙක් මේ රුහුණ අවට ඉන්නවද? කියලා ප්‍රශ්න කළා. සභාවේ හිටිය
වැඩි මහලුම අමාත්‍යවරයා රජතුමා අමතලා
‘උතුම් රජතුමනි, මාගමට ටිකක් ඈතින් තියන මහාගම කියලා ගමක් තියනවා. ‘ලෝකුරු කුන්ත’
කියලා එහි ප්‍රකට රන්කරුවෙක් ඉන්නවා. අපට පුළුවන් එයාට කියලා මේ කාර්ය කරවා ගන්න’යි
පිළිතුරු දුන්නා. ‘හොඳයි එහෙනම් අමාත්‍ය, භාණ්ඩාගාරයෙන් රන්තලියට අවශ්‍ය රත්රන්
අරගෙන ගිහින් දීලා හැකි ඉක්මනින් රන්තලියක් හදාගෙන එන්න’කියලා අණ කළා.
ඇමැතිවරයාත් ඉතාම ගෞරවයෙන් එම නියෝගය පිළිගෙන රත්රන් කැබලිත් අරගෙන රාජ පුරුෂයින්
සමඟ ලෝකුරුවා හමුවීමට ගිහින් රජතුමාගේ කාර්යයක් බව දන්වලා හැකි ඉක්මනින් ම නිමවා
දෙන්නැයි ඉල්ලා සිටියා. එයට එකඟ වුණ ලෝකුරු කුන්ත ඔවුන් ගිය පසු රත්රන් කැබැල්ලක්
විකුණලා මත්පැන් පානය කළා. ඉතිරි රත්රන්වලින් වැඩේ කරන්න පුළුවන් කියලා හිතුවා.
දෙවන දවසෙත් මෙහෙම කළා. දවස් කිහිපයක් ම ටික ටික රත්රන් විකුණලා මත්වතුර ගත්තා.
දවස් කිහිපයකින් පස්සේ වැඩේ කරන්න පටන් ගන්න කොට රන්තලියට ප්‍රමාණවත් රත්රන් නෑ.
ඉතිං බොහෝම බියට පත් වුණා. බිරිඳට මහත් හඬින් කෑ ගහලා කිව්වා. මම ඉඳලා වැඩක් නෑ.
රත්රන් මදි රන් භාජනය හදන්න. අද අනිවාර්යයෙන් ම මේ රන් භාජනය ගෙනියන්න රාජපුරුෂයෝ
එනවා. ඊට ඉස්සෙල්ලා මම ගෙදරින් එළියට බහින්න ඕන රන්කැබලි ටිකක් ණයට හරි ඉල්ලාගෙන
එන්න. ඉතිං සුවර්ණ භූමියට ම යන්න වෙනවා. දවසක්ම ගත වෙන නිසා මට ඉක්මනින් බත් එකක්
බැඳලා දෙන්න’යි කියා සිටියා.
බිරිඳත් ඉක්මනින්ම උයලා බත් එකක් බැඳලා දුන්නා. ලෝකුරු කුන්ත බියට පත් වෙලා සිටි
නිසා අඩි ඉක්මන් කරලා ගමන පිටත් වුණා. දහවල් වෙන්නත් පෙරම ශරීරයට ලොකු මහන්සියක්
දැනුණා. ඒ නිසා ලොකු පොකුණක් ළඟ තිබුණු විශාල ගහක් යට ඉඳගෙන ටිකක් විවේක ගත්තා.
මහන්සිය ටිකෙන් ටික පහව ගියා. එහෙත් බඩගින්න වැඩි වුණා. කෑම එක ලිහාගෙන කන්න හදන
කොටම ඒ අසල මහා කැලයෙන් එළියට පිණ්ඩපාතයේ වැඩම කරන රහතන් වහන්සේ කෙනෙක් වඩිනවා
දුටුවා.
ගම බොහෝම ඈතක තිබෙන නිසා මහා අව්වේ තෙරුන් වහන්සේ වැඩම කරවන එක වළක්වන අදහසින් ඉතාම
සතුටින් කෑමට ගත්ත බත් පත පාත්‍රයට පූජා කළා. තෙරුන් වහන්සේ ඒ ගස සමීපයේ ඉඳගෙනම
වළඳලා ටික වේලාවකින් රන්කරුවා අමතලා කිව්වා ‘පින්වත් තරුණය, අර පෙනෙන පොකුණේ තියන
ලොකුම නෙළුම් කොළය අරගෙන එන්න’කියලා.
පොකුණ විශාල නිසා බියෙන් බියෙන් කොහොම හරි පොකුණට බැහැලා නෙළුම් කොළය කඩා ගන්නවාත්
සමඟ ගිනි දැල්ල වගේ වර්ණයෙන් බබළන විශාල රන්තලියක් පහළ වුණා. බියට පත් වුණත් ඒක
අරගෙන තෙරුන් වහන්සේ වෙත ඇවිත් උන්වහන්සේට පූජා කළා. රහතන් වහන්සේ තමන්ගේ පාත්‍රයේ
ඉතිරි කරගෙන තිබුණු කෑම රන්තලියට දාලා ‘පින්වත් තරුණය, ඔබ මේ කෑම ටික රන්තලියේ ම
කන්න.
කෑමෙන් පසු මෙය හොඳින් සෝදලා අරගෙන යන්න’කියලා ඔහුගේ අතට ම රන්තලිය දී තෙරුන්
වහන්සේ නැවතත් මහා වනයට වැඩම කළා. ලෝකුරු කුන්ත මහත් සතුටින් නිවසට ගිහින් බිරිඳට
සිදු වුණ හැම දේ ම කිව්වා. බිරිඳ ඔහුට පැවසුවා රජතුමාගේ දඬුවමින් මිදෙන්න නම් දැන්ම
මේ රන් භාජනය ගිහින් පිරිනමන්න කියලා.
ඔහුත් හැකි ඉක්මනින් ම රජමාලිගාවට ගිහින් අමාත්‍යවරයා එක්ක රජතුමා වෙතට ගිහින්
රන්තලිය පිරිනමා තමන්ගේ කාර්යය හොඳින් සිදු කළ බවත්, ප්‍රමාදවීමට සමාවත් අයැද
සිටියා. රජතුමා රන් භාජනය දුටු විගසම ‘ලෝකුරුව, මම රාජ්‍ය භාණ්ඩාගාරයේ තිබෙන
රත්රන්වල පාට හොඳින් හඳුනනවා.
මේ රන්වල පාට වෙනස් ඇත්ත කියන්න’යි අණ කළා. බියට පත් ලෝකුරු කුන්ත සියලුම පුවත්
නොසඟවා ප්‍රකාශ කළා. රජතුමා බොහොම සතුටට පත් වෙලා ඔහුට අශ්වයින්, ඇත්තු සහ රිය ඇති
අයුරින් ලබා දුන්නා. ඒ විතරක් නොවෙයි ධනයත් මහත් සේ ලබා දී ජනපදයකුත් පවරා දුන්නා.
ලෝකුරු කුන්ත ඒ සියලුම දෑ උපයෝගී කර ගනිමින් භික්ෂූන් වහන්සේලා දොළොස් දහසක් වැඩ
සිටිය හැකි විහාරයක් කරලා සිවුපසයෙන් ම උපස්ථාන කළා.
මේ සිදුවීම මහාගාමයේත්, ප්‍රදේශය පුරාත්, සමස්ත රටේත් ප්‍රචළිත වෙලා ගියා. මේ පුවත
අහන අහන බුද්ධිමත් සත්පුරුෂයින් ගුණධර්මවලින් පොහොසත් උතුමන් වහන්සේට දන් දෙන්න
පටන් ගත්තා. මෙලොව පරලොව සැප විපාක ලබන්නත් ඒ පින්කම් හේතු වුණා.
සීහළවත්ථුව නමැති කෘතියේ සඳහන් වෙන ආකාරයට ලෝකුරු කුන්තට මේ හැමදේම ඉබේම පහළ වුණේ
පෙර එක් ආත්මයක විහාර මළුවක් ඇමදලා මළුවෙන් පිටත කසලත් සමඟ වැටී තිබුණු වැලි
පිරිසුදු කරලා නැවතත් මළුවේ අතුරපු නිසා යැයි සඳහන් වෙනවා.
කසල මිශ්‍රවැලි පිරිසුදු කරලා මළුවක අතුරපු කුසලයෙන් මෙතරම් විපාකයක් ලැබුණේ නම්,
මළුවක් ඇමදීමෙන්, පිරිසුදු වැලි ඇතිරීමෙන් ආදී මළු පෙත් හැමදීමෙන් ලබන කුසල විපාක
මුවකින් කියා නිම කළ නොහැකි තරම් වෙනවා’යි අපට මේ කතා පුවත පෙන්වා දෙනවා. |