[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දකුණු ලක වෙහෙර විසිතුරෙහි වෙසෙස් සලකුණ පට්ටියපොල හැඩවින්න රාජමහා විහාරය

දකුණු ලක වෙහෙර විසිතුරෙහි වෙසෙස් සලකුණ

පට්ටියපොල හැඩවින්න රාජමහා විහාරය

ජනප්‍රවාදගත තොරතුරුවලට අනුව අනුරාධපුර යුගයේ ආරම්භ වූ, පොළොන්නරු යුගයට අයත් පුරාවිද්‍යාත්මක සාධක සහිත, මහනුවර යුගයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන් දල්වාලූ ශාසනාලෝකයෙන් එළිය වූ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් පට්ටියපොල හැඩවින්න රාජමහා විහාරය දකුණු ලක වෙහෙර විසිතුරෙහි සුවිශේෂී විහාරස්ථානයක් වශයෙන් හැඳීන්විය හැකි ය.

කාවන්තිස්ස රජතුමා විසින් සිය පුතු වූ දුටුගැමුණු කුමරුන්හට ත්‍රිසිංහලය එක්සේසත් කරනු පිණිස සංවිධානය කළ දස මහා යෝධයන් අතුරින් ගෝඨයිම්බර යෝධයා මෙම ප්‍රදේශයේ විසූ බව ජනප්‍රවාදගත ය.

බොහෝ ජනප්‍රවාදවලට අනුව ගෝඨයිම්බර යෝධයා මීට නුදුරු තංගල්ලේ නෙටොල්පිටියේ උපත ලැබූ අයෙකි. අසහාය කාය ශක්තියකින් හෙබි ගෝඨයිම්බර යෝධයා වර්තමානයේ අක්කර 75 ක පමණ බිමක් වසා පැතිරී ඇති පට්ටියපොල වැව තනවන ලදැයි පිළිගැනීමයි. හැඩවින්න විහාරස්ථානය ගෝඨයිම්බර යෝධයා හමුවට පැමිණි දුටුගැමුණු හා සද්ධාතිස්ස කුමාරවරුන්ගේ නිර්මාණයක් යැයි ප්‍රදේශවාසීහු සලකනු ලබති.

අනුරාධපුර රාජධානි සමයෙන් පසු මෙම ගම්පියස පිළිබඳ තොරතුරු හමු වන්නේ පොළොන්නරු යුගයේ රුහුණු රට පාලනය කළ මානාභරණ රජතුමාගේ අවධියේ දී ය. අද නලගම මාලිගාතැන්න වශයෙන් හඳුන්වන ප්‍රදේශය මානාභරණ උප රජතුමාගේ මාලිගාව පිහිටා තිබූ බිම වශයෙන් හඳුනා ගනී. ඊට නුදුරු මෙම ගමෙහි වැව ආශ්‍රිත සාරවත් තණබිම් හේතුවෙන් මෙහි රාජකීය ගව පට්ටිය විසූ හෙයින් පට්ටියපොල නම් ලදැයි කියැවෙයි. ඒ අතර සිටි හැඩ ඇති පෘෂ්ඨිමත් ගවයකු නිසා හැඩවින්න නම ලද බව ජනප්‍රවාදයේ එයි.

පොළොන්නරු යුගවලට අයත් යැයි සැලකෙන නටබුන් විහාරස්ථානයෙහිත්, අවට ප්‍රදේශවලත් හමු වී තිබේ. ගරා වැටුණු දාගැබ් වහන්සේ, ටැම්පිට විහාරයේ නටබුන්, තැන තැන විසිරී ගිය උළු හා ගඩොල මෙහි විසිරී තිබුණි.

රෝහණ දේශයේ පරිහානියත් සමග විනාශයට පත් පට්ටියපොල හැඩවින්න රාජමහා විහාරයට පුනර්ජීවනය සැලසුණේ අද්‍යතන ධර්ම ශාස්ත්‍රෝද්දීපනයෙහි ආදිකර්තෘ වූ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යවර මූලගිරි රාජමහා විහාරාධිපති වටරග්ගොඩ ධම්මපාල මාහිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරෙනි.


දබරැල්ලේ සෝමරතන හිමි

වටරග්ගොඩ ධම්මපාල මාහිමියන්ගේ ශිෂ්‍යවරුන් අතුරින් අවසාන හිමි නම වූයේ මීගහවෙල බුද්ධරක්ඛිත මාහිමියන් වහන්සේ ය. මීගහවෙල බුද්ධරක්ඛිත හිමියන් පට්ටියපොල හැඩවින්න රාජමහා විහාරය සහ නෙටොල්පිටියේ පුරාණ විහාරය කේන්ද්‍ර කොට ගනිමින් ලෝක ශාසනික සංග්‍රහයේ නිරත වූහ.

මූලගිරි සඟ පරපුරට අයත් දෙස් විදෙස් විහාරස්ථාන 400 ක් පමණ වර්තමානයේ පිහිටා තිබෙන අතර හැඩවින්න විහාරය එම පරපුරේ මූලස්ථාන අතුරින් එකකි. මූලගිරි විහාරයේ (මුල්කිරිගල) වැඩ සිටි වටරග්ගොඩ ධම්මපාල හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර මූලගිරි සඟ පරපුර වශයෙන් හඳුන්වන අතර මුල්කිරිගලින් විහිදුණු මුල් ම පරපුරේ විහාරස්ථානයක් නිසා, එනම් වටරග්ගොඩ මාහිමියන්ගේ ශිෂ්‍ය හිමිනමක් වැඩ සිටි නිසා මෙම විහාරස්ථානය මූලස්ථානයක් වශයෙන් හඳුන්වනු ලබයි.

මීගහවෙල බුද්ධරක්ඛිත හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නෙටොල්පිටියේ සෝභිත හිමියන් නෙටොල්පිටියේ විහාරාධිපති පදවිය හොබවන ලද අතර ද්විතීය ශිෂ්‍ය දොඩම්පහල රේවත හිමියන් ද ඉන් පසු පට්ටියපොල සෝභිත හිමියන් ද හැඩවින්නේ විහාරාධිපති ධුරය හෙබවීය. පට්ටියපොල සෝභිත හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය හිමියන් ද පට්ටියපොල රේවත නම් වූ අතර, එම හිමියන් ද මෙම විහාරයේ ආධිපත්‍යය හෙබවූ පසු තත් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය අඳුපැලැස්සේ රතනජෝති හිමියන් මෙහි ආධිපත්‍යය දැරීය. අඳුපැලැස්සේ හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වූ බෙරුවේවෙල රතනසාර හිමියන් විහාරස්ථානයේ වර්තමාන දියුණුවෙහි ආදි කර්තෘවරයාණන් වහන්සේ වූ හ.

පට්ටියපොල හැඩවින්න රාජමහා විහාරස්ථානය පිළිසකර කොට අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීම, හුංගම හඳුන්කටුවේ හඳුන්බෝධි විහාරය ආරම්භ කිරීම, ඌරුගමුවේ මුරුතගස්පිටියේ පුරාණ විහාරය සංවර්ධනය කිරීම බෙරුවේවෙල රතනසාර හිමියන්ගේ මෙහෙවර අතර වෙයි. සරභඤ්ඤ විසාරදයකු වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි රතනසාර නාහිමියන් වෙත මල්වතු මහා විහාරය මඟින් ‘සද්ධර්ම කීර්ති ශ්‍රී රතනජෝති’ යන නාමාධෙය සහිතව මාතර වැල්ලබඩ පත්තුව ඇතුළු හම්බන්තර දිසාවේ උපප්‍රධාන සංඝනායක පදවිය පිරිනමන ලදි.

බෙරුවේවෙල රතනසාර හිමියන්ට පසු හකුරුවෙල පුඤ්ඤරතන හිමියන් විහාරාධිපති පදවියට පත් වූහ. සිය ගුරු දේවයන් වහන්සේ ගිය මඟ යමින් සීමාමාලකය, සංඝාවාසය, අටවිසි බෝධිප්‍රාකාරය, වාහල්කඩ, සීල භාවනා ශාලාව ඇතුළු නවකම් කරවමින් විහාර මන්දිරයේ බිතුසිතුවම් නවීකරණය කොට ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණය කරවීම ආදී කටයුතු රාශියක් සිදු කරන ලදී. විතාරන්දෙණියේ මණිරතන මාහිමි, පල්ලත්තර ඤාණරතන හිමි, මාතර කන්දබඩ පත්තුව ඇතුළු හම්බන්තර දිසාවේ උපප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රවේදී මුරුංගාගස්යායේ ජිනරතන නාහිමි යන පැවිදි සහෝදරයන් වහන්සේ නාහිමිපාණන් වහන්සේගේ මෙහෙවරට සමූපකාරීව ක්‍රියා කළහ.

ස්වකීය ශාසනික සංග්‍රහය ඉදිරියට පවත්වා ගෙන යාම පිණිස හකුරුවෙල පුඤ්ඤරතන හිමියන් විසින් මැදගම ශාසනරතන හිමි, විචිත්‍රභාණක ඇත්බටුවේ රතනසිරි හිමි, ශාස්ත්‍රවේදී පට්ටියපොල සුමනරතන හිමි, බැදිගම සිරිරතන හිමි, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දබරැල්ලේ සෝමරතන හිමි, රණකෙළියේ පේමරතන හිමි ඇතුළු ශිෂ්‍ය පුත්‍රාදීන් වහන්සේ බිහි කොට 2017 වර්ෂයේ අපවත් වූ සේක.

හකුරුවෙල පුඤ්ඤරතන හිමියන් විසින් හැඩවින්න රාජමහා විහාරයේ අනාගත අභිවෘද්ධිය පිණිස ස්වකීය ශිෂ්‍යවර රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රවේදී දබරැල්ලේ සෝමරතන හිමියන් වෙත ස්වකීය අනුප්‍රාප්තික විහාරාධිපති ධුරය පවරා දුනි. දබරැල්ලේ සෝමරතන හිමියන් ස්වකීය ආචාර්යයන් වහන්සේ වෙත සිදු කරන ගුරු පූජාවක් වශයෙන් එම නාමය ස්මරණය කරමින් 2018 ජූනි මස 04 වැනි දින හැඩවින්න රාජමහා විහාරයේ ශ්‍රී පුඤ්ඤරතන මූලික පිරිවෙන ආරම්භ කරන ලදී.

මෙම මෙහෙවර කෙරෙහි ප්‍රසාදයට පත් මහනුවර උපෝෂිත පුෂ්පාරාම විහාරද්වයාධිපති අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මඟින් දබරැල්ලේ සෝමරතන හිමියන් වෙත මල්වතු මහා විහාරයේ රාජාධිරාජපූජිත මංගලෝපෝසථාගාරයේ විශේෂ කර්මාචාර්ය පදවියක් පිරිනමන ලදී.

පොසොන් අමාවක

ජුනි 17 සෙනසුරාදා
පූ.භා. 09.15 න් අමාවක ලබා
18 ඉරිදා පූ.භා. 10.10 න් ගෙවේ.
17 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]