තුන්කල්හි ම ඇගයෙන ජන විඥානය පුබුදු කරවන ජාතක කතා සාහිත්‍යය
කටුබැද්ද සිරි ගුණරතන පිරිවෙනෙහි
නියෝජ්‍ය පරිවේණාධිපති
ශාස්ත්‍රපති පණ්ඩිත
හේනේගම අමරනන්ද හිමි
බොදුනුවන් විසින් සම්භාව්‍යත්වයෙන් පිළිගත් කෘති දෙකක් අපට උරුම ය. ඒවා නම් පිරිත්
පොත හා ජාතක පොතයි. ඒ කෙරෙහි දැක්වූ ගරුත්වය කෙසේ දැයි කිවහොත් එහි අග යෙදුම ලෙස
“වහන්සේ” යන අභිධානය භාවිත කෙරෙයි. පූජනීයත්වයෙන් ප්‍රශස්ත වූ ද, ප්‍රකට වූ ද
හස්තසාර කෘතිය ලෙස බුද්ධ දේසිත සූත්‍ර ධර්ම සංග්‍රහයක් වන පිරුවානා පොත් වහන්සේ
හැඳින්විය හැක.
ජාතක පොත ජන විඥානය පුබුදු කිරීම මෙන්ම දැනුම, ආදර්ශය, උපදේශය, චරිත සංවර්ධනය, මානව
සමාජ ධර්ම හා මානුෂීය දුබලතා ආදිය ප්‍රකට කරවන කෘතියයි. මෙය පැරැණි ඉතිහාසයක් ඇති
කතා සංග්‍රහයෙකි. නවාංග සත්ථුශාසනයෙහි “ජාතක” යැයි සංගීති කාරක යතිවරුන් විසින්
වර්ගීකරණය කොට දැක්වූයේ ද ජාතක කතා ය. මේ අනුව මෙහි ඉතිහාසය බුද්ධ කාලය දක්වා
දිවෙයි.
ජාතක කතා කෙරෙහි විමසිලිමත් වීමෙහි දී අන් කෘතීන්ට වඩා සුවිශේෂත්වයක් දත හැක. එනම්
මෙහි කතා නායකයා බෝසතාණන් වහන්සේ වීම ය. ජාතක ගැන ත්‍රිපිටකයෙහි නොයෙක් තැන්හි
සඳහන්ව තිබේ. ඛුද්දක නිකායට අයත් කෘති 15න් එකක් ලෙස ද ජාතක කතා සංගෘහිත ය. හෙළ
ඉපැරැණි ගද්‍ය කෘතියක් වන බුත්සරණෙහි අග කොටසෙහි වෙස්සන්තර ජාතකය සඳහන් වෙයි. ජාතක
කතා සඳහා බුදුගොස් හිමියන් විසින් අටුවා ග්‍රන්ථයක් රචනා කරන ලද්දේ රා.ව 5 වැනි
සියවසෙහි දී ය. මෙය “ජාතකට්ටකතා” නම් වේ. ජාතක කතා සාහිත්‍යාවලියෙහි එන දුරවබෝධ
තැන් සිථිලීකරණය එහි අරමුණයි.
ජාතක කතා පෙළ බසින් මෙන්ම සකු බසින් ද රචිත ය. නිදසුන් ලෙස සුප්‍රකට මහායාන කවියකු
වන ආර්යශූරයන්ගේ ජාතක මාලාව, මහා කවි භදන්ත අශ්වඝෝෂ හිමියන්ගේ බුද්ධ චරිතය,
සූත්‍රාලංකාරය, කේෂ මේන්ද්‍රයන්ගේ “කල්පලතා” නම් කෘතිය ද දැක්විය හැක.
කලක් ගත වන තුරු ජාතක කතා හෙළබසට පරිවර්තනය නොවූව ද චිත්‍ර, කැටයම්, බිතුසිතුවම් හා
ධර්ම දේශනා මාධ්‍යයෙන් ජනයා ඒවා දැන සිටි බවට සාධක තිබේ. ඇතැම් කතා කවියෙන් හෝ
ගීයෙන් ඉදිරිපත් කිරීමට ප්‍රබුද්ධ වියතුන් ගත් පියවර අතිශය ප්‍රශස්ත ය. සසදාවත,
කුසදාවත (කව් සිළුමිණ) හා මුවදෙව්දාවත ඒ අනුව පද්‍ය (ගී) සාහිත්‍යයට එක් විය. මේ
අතර වෙස්සන්තර ජාතකය, බුත්සරණ හා දම් සරණෙහි අගනා රුවන් වැලක් සේ ගෙනහැර පා තිබේ.
ජාතක කතා ඇසුරින් දහම් දෙසීමට දක්ෂ යතිවරුන් සිටි අතර ඔවුනට “ජාතක භාණක” නමින්
සම්මාන උපාධි ප්‍රදානය කීරීම් ගැන විසුද්ධි මාර්ගය හා අභිධර්ම සන්නයෙහි සඳහන් වේ.
රුවන්මැලි මහා සෑයෙහි ධාතු ගර්භයෙහි විචිත්‍ර ලෙස චිත්‍ර (සිතුවම්) ඇඳි බව
මහාවංශාගත තතු පහදයි. නාලන්දාවෙහි හා බුද්ධගයාවෙහි “නළපාන” වැනි ජාතක කතා දැක්වෙයි.
පැරැණි වෙහෙර විහාර රැසක ම නොයෙක් ජාතක කතාවන් සිතුවම් කොට හෝ මූර්තිමත් කොට තිබේ.
සැදැහැතියාහට චිත්ත චෛතසික ඒකාග්‍රතාව ඇති කොට, භාව මණ්ඩල පාරිශුද්ධිය ජනිත කොට
පිවිතුරු අරමුණු සන්නිවේදනය කරලීම නිසා මෙම ජාතක කතා ශීඝ්‍ර ලෙස ජනපි‍්‍රය විය.
ගැමි බස් වහරෙහි වුව ද ජාතක කතා මුව රැඳි බවට “වෙස්සන්තර වගේ” “මූසිල වගේ” යන උපමා
යෙදුම් සනාථ කරවයි.
යථෝක්ත කරුණු අනුව ජාතක කතා තුළින් තත් කාලීන සමාජයීය ඉතිහාසය හෙවත් මානව ඉතිහාසය ද
දැන ගත හැකි ය. පද්‍යයක් රචනා කරනුයේ නම් ජාතක කතාවක් ම වස්තු විෂයය කොට ගත යුතු
බවට සම්මතයක් ඇතැම් කාලයන්හි වූ බව “පෙදෙන් බුදු සිරිත බසින් වත් සිරිත් ඈ” යන්නෙන්
ගම්‍ය වෙයි.
නුවර - මාතර යුගයෙහි හැම පද්‍ය ප්‍රබන්ධයක ම පාහේ ජාතක කතාවක් ඇතුළත් ව තිබුණි.
මණිචොර, දශරථි, උම්මග්ග, අන්ධභූත හා ඉල්ලීස ආදී කතා ඒ අතර වෙයි. තත් කාලීන කවීන්
තරගයට මෙන් තම පද්‍ය නිර්මාණයන් සඳහා ජාතක කතාවක් වස්තු බීජය කොට ගත් බව පෙනෙයි.
අපේ සාහිත්‍ය ලතාවෙහි සුවිශේෂී අවදියක් වන කුරුණෑගල යුගයෙහි දී ජාතක පොත හෙළ බසට
නැඟීම මඟින් සාමාන්‍ය ජනයාට මහත් අස්වැසිල්ලක් විය.
ජාතක කතා විමර්ශනයෙහි දී එය ඒක කර්තෘක කෘතියක් නොවන බවට ද නිගමනය කළ හැකි සාධක
තිබේ. එනම් භාෂා ශෛලිය හෙවත් බස් වහර, පෙළ සකු හා ද්‍රවිඩ ආභාෂය මෙහි දෘෂ්‍යමාන
වීමයි.
හෙළ සාහිත කෙත පෝෂණය කළ හා එයට මඟ විවර කළ අපේ ජාතක පොත සාහිත්‍ය කෘතියක් හා කතන්දර
කෘතියක් ලෙස ද, ධර්ම ග්‍රන්ථයක් විසින් ද ඇගයිය හැක. ජාතක කතා අපට වැදගත් වන තවත්
කරුණක් නම් එහි සන්දර්භය, කතා වින්‍යාසය, නිදානය මෙන්ම වර්තමාන අතීත කතා නිසි ලෙස
හසුරුවා තිබීමත් එහි අග එන සමෝධානය මනාව යොදා තිබීමත් ය. මෙමඟින් පාඨකයා අපේක්ෂිත
කතා රසය උකහා ගැනීමට කිසිදු අවහිරයක් ඇති නොවේ.
ජාතක පොතෙහි එන හැම කතාවකින් ම ජන විඥානය පුබුදු කරවන සුළු අනුභූතින් හමුවෙයි.
මිනිසාට දිවි මඟෙහි දී හමුවන ගැටලු සඳහා සපයන මහෝපදේශයන් රැසක් මේ අතර හමුවෙයි. ඒ
අතර වණ්ණුපථ ජාතකයෙන් නිරතුරුව දිරිමත් වීම මඟින් දිවි ජය ලද හැකි අයුරු ද, අපණ්ණක
ජාතකයෙන් උත්සාහී බව (උට්ඨාන විරිය) සැපත සතුට ළඟා කරවන අයුරු ද, චුල්ල පන්ථක
කතාවෙන් දහමෙහි ඇති ශ්‍රේෂ්ඨත්වය ද, සුංසුමාර කතාවෙන් ප්‍රඥාවෙහි මහිමය ද, චුල්ල
ධර්මපාල ජාතකයෙන් රාගයෙහි දී මිනිස් සිත ක්‍රියා කරන අයුරු ද, ඉල්ලීස කතාවෙන් දැඩි
ලෝභය මිනිසාට වින කරන අයුරු ද, අන්ධභූත ජාතකයෙන් කෙලෙස් ගින්නට හසුවීමෙන් වන හානිය
ද ස්ඵුට කරවයි. කතා ඉදිරිපත් කිරීමේ දී ජාතක කතා කරුවා තුළ යම් සංයමයක් හා
ගෞරවාන්විත බවක් පැවැති බවට ඇති සාධක රැසකි. එනම් “වස්තුව හෙවත් වත” යන අභිධානය
ජාතක කතා ගෙන හැර පෑමෙහි දී සුසංයෝජනය කරවීමයි. නිදසුන් ලෙස “දෙව්දත් තෙරුන්ගේ
වස්තුව, ඉල්ලීස සිටුවරයාගේ වත හා කාළි යක්ඛිනී වත” යනාදී ප්‍රයෝගයන් දැක්විය හැක.
ජාතක කතා පසු කලෙක නාට්‍ය මඟින් කරලියට පිවිසීම යහපත් සමාජ ප්‍රගමනයකට මඟ විවර
කිරීමකි. බාල, තරුණ, මහලු කාහට වුව ද රස විඳිය හැකි මාධ්‍යයක් ලෙස නාට්‍ය
සාම්ප්‍රදායක් බිහිවීම විදග්ධ, අවිදග්ධ කාගේ වුව ද පැසසුමට ලක් වූවකි. අපේ හෙළ
සිනමා වංශ කතාවෙහි පෝෂණයට ද යම් දායකත්වයක් හා ආභාෂයක් නාට්‍ය කලාව තුළින් ලබා ගත්
බව අකුටිලව කිව හැක.
ජාතක කතා ශ්‍රවණය සඳහා අපේ රජවරු ද පි‍්‍රය කළ බවට සාක්ෂි හමුවෙයි. ඉලනාග රජු,
තුලාධාර පර්වත වැසි මහාපදුම තෙරුන්ගෙන් මහා කපි ජාතකය අසන ලද බව මහාවංශය කියයි.
එමෙන්ම දීඝවාපියෙහි ජාතක භානක භික්ෂුවක් මහා වෙස්සන්තර ජාතකය දෙසූ බව මනෝරථ
පූරණියෙහි සඳහන් වෙයි. බුද්ධ කාලයෙහි පවා ජාතක භානකයන් සිටි බව මජ්ක්‍ධිම
නිකායට්ඨකතාව වන පපංච සුදනියෙහි දැක්වෙයි. මෙලෙස ජාතක භානකයන් ගැන ත්‍රිපිටකයෙහි
නොයෙක් තැන්හි සඳහන් වීමෙන් පෙනී යනුයේ ඒවායේ පැවැති ජනපි‍්‍රයතාවයයි. මිනිසාට
ජීවිතය දෙස හැරී බලා (ජීවිතාවලෝකනය කොට) යම් පෙරළියක් ඇති කර ගැනීමට ජාතක කතා
මූලාශ්‍රය විය.
තම දස්කම් විදහා දැක්වීමට ලාංකීය හෙළ කලාකරුවන් ජාතක කතා මාධ්‍යය කර ගත් බව පෙනෙයි.
දුටුගැමුණු නරපතියන් විසින් රුවන්මැලි සෑයෙහි වෙස්සන්තර ජාතකය චිත්‍රණය කරවූ බව
මහාවංශය හා ථූපවංශය සටහන් කරන අතර රා.ව. 5 වන සියවසෙහි ලංකාවට පැමිණි පාහියන්
භික්ෂුවගේ වාර්තාවකට අනුව ජාතක කතා 500ක් සිතුවම් කර තිබෙනු තමන් දුටු බව සඳහන්
කරයි.
පොළොන්නරු යුගයට අයත් චිත්‍ර කිහිපයක් එහි නිවසක පිළිම ගෙයි හා දෙමළ මහා සෑයෙහි
තිබී පුරාවිදු සක්විති පරණවිතාන ශූරීන් විසින් සොයා ගෙන ඇත. මේ යුගයෙන් පසුව
වෙසෙසින් නුවර, මාතර අවදියෙහි හැම වෙහෙර විහාරයක ම ජාතක කතා සිතුවම් විය. ඒ අතර
වෙසතුරු ජාතකයෙහි එන “මද්‍රී දේවි” චරිතය අපේ හෙළ කතුන්ට තම දිවි මඟ සැකැස්ම උදෙසා
දෙන ලද චරිතාදර්ශ කතාවක් බඳු ය. අඹු, සැමියන් දුක හා සැප එක සේ විඳ දරා ගනිමින්
දිවි ගෙවීමට පෙළඹුණේ මෙම කතා පුවත් ඇසුරිනි.
එකල ඇතැම් පිරිස් රාත්‍රී නින්දට පෙර පවුලෙහි ප්‍රධානියා ලවා ජාතක කතා කියවා ගත්හ.
ආගමික හැඟීම් ජනිත කරවන මෙම කතා කලාව තුළින් වියත්, අවියත් කවුරු වුව ද, ලද්දේ
ඉමහත් ආස්වාදයෙකි. දැනුම් සම්භාරයෙකි. ජාතක කතා ලොව පැරැණි ම හා ශ්‍රේෂ්ඨ ම ජනකතා
සංග්‍රහය ලෙස ජර්මන් ජාතික රීස් ඩේවිඩ්ස් වියතුන් හඳුන්වයි. පැරණි ගද්‍ය කෘතියක් වන
අමාවතුර ඇරඹුමෙහිදී ම ජාතක කතා 250ක නම් සඳහන් වෙයි. ධර්ම ප්‍රදීපිකාව, පූජාවලිය හා
තුන් සරණෙහි ද එසේම ය.
අනුරපුර, පොළොන්නරු හා දඹදෙණි යුගයන්හි ජාතක කතා කෙතරම් ජනපි‍්‍රය වී ද යත් එකල
රචිත ධර්ම ශාස්ත්‍රීය කෘති කිහිපයෙකින් ම ප්‍රකට වෙයි. ජාතක අටුවා ගැටපදය,
අටදාසන්නය, උමංදා සන්නය, විදුර ජාතක සන්නය, ඒ අතර ප්‍රමුඛ වෙයි. ජාතක කතා රැසක් ම
නූතන කෙටි කතාවලට සමීප වන බව වියත් මතයයි. නවකතා හා ප්‍රබන්ධ කතා සාහිත්‍යයට ද ජාතක
කතා වෙසෙසින් මූලාශ්‍රය විය.
මිනිස් චින්තනයෙහි ඉතා ගැඹුරු තැන් විග්‍රහ කිරීමට හා විශ්ලේෂණය කිරීමට ජාතක කතාකරු
නිරතුරුව උත්සුක වෙයි. මෙම කතා පරිශීලනය මඟින් දුර්ලභ ජීවිත පරිඥානයක් ද, භාව
පාරිශුද්ධිය ද ලද හැකි ය.
භාරතයෙහි ප්‍රමුඛ ජනශ්‍රැති මාධ්‍යයක් ව පැවැති ජාතක කතා මහින්දාගමනයෙන් පසුව
ලංකාවට ද පැමිණි බව සිතිය හැක. මේවා ලොව ඉපැරැණි ජනශ්‍රැති සාහිත්‍යයට අයත්
සාහිත්‍යාංගයක් ලෙස පිළිගැනෙයි. විෂ්ණුශර්මයන් විසින් රචිත පඤ්චතන්ත්‍රයට ද මෙහි
ආභාෂය ලබා ගෙන තිබේ.
ජර්මන් ජාතික රීස් ඩේවිඩ්ස් පවසනුයේ ලොව දැනට පවතින ඉපැරැණි වූ ද, වැදගත් වූ ද කතා
ජාතක කතා බවයි. වින්ටන් නීට්ස් ද මෙහි ඇති ශ්‍රේෂ්ඨත්වය පිළිගනියි. මහා ගත්කරු හා
ලේඛක මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් පවසනුයේ සිංහලයෙන් විශ්ව සාහිත්‍යයට ඉදිරිපත් කළ
හැකි හොඳ ම කෘතිය ජාතක කතා බවයි.
අපේ යතිවරුන් විසින් සමාජය හැඩගැස්වීමෙහි දී ධර්මෝපදේශ ලබා දීම උදෙසා ජාතක කතා
උපයෝගී කර ගත්හ. අනුරපුර යුගයෙහි දී මෙය ග්‍රන්ථාරූඪ වූ අතර කුරුණෑගල යුගයෙහි දී
හෙළ බසට නැඟුණි. මෙහි භාෂා රීතිය කෙරෙහි විමසන කල ඒ සඳහා සද්ධර්මරත්නාවලියෙන්
ගුරුපදේශ ලබා ගන්නට ඇතැයි මාර්ටින් වික්‍රමසිංහයන් පවසයි. මෙය පොදුජන ජීවිතයට
ගැළපෙන අත්දැකීමක් එකතු කොට ගෙන රචිත යැයි පෙනෙයි.
ජාතක කතාවෙහි ප්‍රධාන තැන ලැබෙනුයේ අතීත කතාවට බව ද කිව හැක. හැම කතාවකින් ම
දුසිරිත හැර සුසිරිත වැඩිය යුතු බව අවධාරණය කරයි. මෙලොව පරලොව වැඩ තකා දෙනු ලබන
ධර්මෝපදේශ කතාවලින් ජාතක පොත නිබඳව පෝෂණය වී ඇත. මෙම කතා ඒවායෙහි එන අනුභූතීන් අනුව
ප්‍රංශ හා රුසියන් කෙටිකතාවලට සමීප වන බව වික්‍රමසිංහයන්ගේ මතයයි.
නවකතා හා කෙටිකතාවන්හි මෙන් නොව ජාතක කතාවන්හි අරමුණ චරිත නිරූපණයයි. දෙලොවට මඟ
පෙන්වීම ජාතක කතා සාහිත්‍යයෙහි මුඛ්‍යාධ්‍යාංශය වී ඇති බව කිව හැක. |