[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කට වටකර වැට බඳින තරමට තමන්ගේත් අනුන්ගේත් යහපත සැලසේ

කට වටකර වැට බඳින තරමට තමන්ගේත් අනුන්ගේත් යහපත සැලසේ

පෙර කාලයක අප මහ බෝසතාණන් වහන්සේ දිසාපාමොක් ආචාර්යව මානවකයන් පන්සියයකට ශිල්ප ඉගැන්වූහ. මොවුහු එක්තරා කුකුළකු හඬලන හඬට උදෑසන අවදිව දිනපතා ශිල්ප ඉගෙනීම සඳහා පිටත්ව යති. මෙසේ කලක් ගතවුණි. එක්තරා දිනෙක දී වේලාව නො වරදවා හඬලන ඒ කුකුළා මිය ගියේ ය. මේ මානවකයන් පිරිස වෙනත් කුකුළකු සොයන්නට විය. එසේ සොයන කල දිනක් දර සෙවීමට ගිය අතරතුර සොහොනක සිටි කුකුළකු දැක ගෙනැවිත් කූඩුවක දමා ඇති දැඩි කළෝ ය.

මෙසේ ඇති දැඩි කළත් මේ කුකුළා හැඬලිය යුතු වේලාව නොදනී. ඇතැම් දිනවල මධ්‍යම රාත්‍රියේ දී හඬලන්නේ ය. ඇතැම් දිනෙක හිරු නැඟෙන්නට ආසන්නව හඬලන්නේ ය. තවත් දිනක හිරු නැඟුණ විට හඬලන්නේ ය.

මධ්‍යම රාත්‍රියෙහි කුකුළාගේ හැඬලීම නිසා අවදිවන දිනයන්හි ප්‍රමාණවත් නින්දක් නොලැබීම නිසා මානවකයන් හට නිසිලෙස ශිල්ප හදාරන්නට නොහැකි විය.

හිරු නැඟෙත් ම කුකුළාගේ හැඬලීමට අවදිවන දිනයන් හි ශිල්ප ඉගෙනීමට කාල වේලාව මදි විය. මේ ආකාරයෙන් කුකුළාගේ නො කල්හි හැඬලීම නිසා මානවකයන්ගේ ඉගෙනීමට මහත් වූ බාධාවක් විය. ශිල්ප ඉගැනීමෙන් ද පිරිහුණේ ය. මෙයින් ඉතා කෝපයට පත් ශිෂ්‍යයන් කුකුළා මරා දමන්නට විය.

අකාලයෙහි හැඬලීම නිසා කුකුළා හැදූ ශිෂ්‍යයන්ට ද, කුකුළාට ද යන දෙපාර්ශවයට ම අනර්ථයක් සිදුවුණි. එසේ යමෙක් පවසන යහපත් වචනයක් වූවත්, නුසුදුසු කල්හි පැවසීමෙන් තමාට හා අන්‍යයන්ට ද ඇතැම් විට අනර්ථයක් ම වන්නේ ය.

“සුභිසිතා ච යා වාචා එතං මංගල මුත්තමං” සුභාසිත වචනය හෙවත් යහපත් වචනය නම් අංග පහකින් යුක්ත වූ වචනයයි. බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන්ගේ යහපත, දෙලොව දියුණුව දෙසා වදාරන්නේ ද සුභාෂිත වචනයෙනි. වචනය ඉතාමත් සැලකිය යුතු වූ ද නිතර ම පාවිච්චි කරන්නා වූ ද දෙයක් බැවින් ඒ පිළිබඳ දැඩි අවධානයෙන් සැලකිය යුතු වේ.

සුදුසු කාලයෙහි පැවසීම

යමෙක් පවසන්නා වූ යම් වචනයක් වේ ද එය සත්‍ය වූයේ වුව ද, මෘදු මොළොක් වූයේ වුව ද, ප්‍රයෝජනවත් වූයේ වුව ද, මෛත්‍රී සිතකින් පවසන්නේ වුව ද, එය සෑම විටෙක ම පැවසිය යුතු නොවේ. එය පැවසීමට සුදුසු කාලයක් වේ. සුදුසු කාලය බලා දැන ඒ කාලයෙහි පැවසිය යුතු ය.

යම් වචනයක් නුසුදුසු කාලයෙහි පවසන ලද්දේ නම්, එම වචනය කොපමණ වටිනා වචනයක් වුව ද නිරර්ථක වන්නේ ය. ඒ වචනය පැවසීමෙන් ඇතැම් විටෙක අසන තැනැත්තාට මෙන්ම පවසන තැනැත්තාට ද යන දෙදෙනාට ම හෝ අනර්ථයක් වන්නේ ය.

සත්‍යයක් ම වීම

පවසන වචනය සත්‍යයක් ම විය යුතු ය. යම් අවස්ථාවක දී සත්‍ය වදනක් ප්‍රකාශ කිරීමෙන් තමාට අවාසියක්, අපහසුතාවක්, පාඩුවක් පැමිණිය හැකි අවස්ථා ද බොහෝ විය හැකි ය. එවැනි අවස්ථාවන් හි උපායෙන් නිදහස්වීම නුවණැත්තන්ගේ ස්වභාවයයි.

මෘදු වදනක් වීම

යමෙක් යම් වචනයක් සුදුසු කාලයෙහි පවසන ලද්දේ ද, සත්‍ය වචනයක් ම වූයේ වී ද, අසන්නා වූ තැනැත්තාට අපි‍්‍රය වන පරිද්දෙන් රළු කොට පවසන ලද්දේ වී නම්, ඒ වචනය කෙතරම් වටිනා වචනයක් වූයේ නමුත් අසන තැනැත්තා නොපිළිගන්නේ ය. ඊට අවනත ද නොවන්නේ ය. එසේ හෙයින් යමෙක්, යමකුට සත්‍ය වූ, ප්‍රයෝජනවත් වූ යමක් පවසන කල්හි එය ඒ ඒ පුද්ගලයන් ගේ තරාතිරමට ගැළපෙන ආකාරයෙන් ගරු නම්බු දීමෙන් හා පි‍්‍රය උපදවන්නා වූ ආකාරයෙන් මෘදු මොලොක් ව පැවසිය යුතු ය. ඒ ආකාරයෙන් පවසන වචනයට පහසුවෙන් කවරකු වුව ද නම්මාගත හැකි වේ. ඒ වචනය අසන අන්‍යයෝ ද එය සතුටින් පිළිගනිති.

ඒ වගේම රළු බස මනුෂ්‍යයාට මෙන් ම තිරිසන් සත්වයාට ද පිළිකුල් උපදවන්නකි. අපි‍්‍රය අමනාප වදනක් ම වන්නේ ය. ඒ බව අපට “නන්දිවිසාල” ජාතක කතාවෙන් තේරුම් ගත හැකි ය.

ප්‍රයෝජනවත් වීම

යම් වචනයක් සත්‍ය වුව ද, මොළොක් කොට පවසන ලද්දක් වුව ද, ප්‍රයෝජනයක් නැති වචනයක් නම් එය සුභාෂිතයක් නොවේ. ඒ නිසා පැවසීමෙන් ප්‍රයෝජනයක් නැති, අනර්ථකාරී වූ හිස් වචන පැවසීමෙන් වැළකිය යුතුයි. මෙලොව වශයෙන් මෙන් ම පරලොව වශයෙන් ද දියුණුවට ඉවහල් වන, ධර්මානුකූලව ප්‍රයෝජනවත් දේ කතා කිරීමට නිතර පුරුදු විය යුතු ය.

මෛත්‍රී සිතින් පැවසීම

යම් වචනයක් සත්‍ය වූ, ප්‍රයෝජනවත් වූ, වචනයක් වූයේ වුව ද එම වචනය පවසන කාලයෙහි මෛත්‍රී සහගත සිතින් ද පැවසිය යුතු ය. මෛත්‍රීයෙන් තොරව පවසන්නා වූ වචනය සාර්ථක වචනයක් වූයේ වුව ඒ වචනය අසන්නා වූ අයට පි‍්‍රය නොවේ.

මේ ආකාරයෙන් සුදුසු කාලයෙහි පවසන ලද්දා වූ සත්‍ය වූ, මෘදු මොළොක් වූ, ප්‍රයෝජනවත් වූ, මෛත්‍රී සිතින් ම පවසන ලද්දා වූ වචනය ම ඒකාන්තයෙන් සුභාෂිතයක් හෙවත් යහපත් වචනයක් වේ ය. එය දෙලොව දියුණුවට හේතුවන බැවින් උතුම් මංගල ධර්මයක් ද වන්නේ ය.

සුභාෂිත වචනය දියුණුවට හේතු වන්නක් වුව ද, දුර්භාෂිත ය දියුණුවට හේතු වන්නක් නොවේ ම ය. එසේ හෙයින් බොරු, කේලාම්, පරුෂ වචන කීම වැනි වාග් දුශ්චරිතයන්ගෙන් වෙන්විය යුතු ය.

“ලොව උපන් මිනිසාගේ කටේ දුර්භාෂිතය නමැති කෙටේරියක් ඇත්තේ ය. අනුවණ මනුෂ්‍යයා එම කෙටේරිය පාවිච්ච කිරීමෙන්, තමා විසින් තමා ම කපා ගැනීමෙන් විපතට පැමිණේ. (සංයුත්ත නිකාය)

පොසොන් අමාවක

ජුනි 17 සෙනසුරාදා
පූ.භා. 09.15 න් අමාවක ලබා
18 ඉරිදා පූ.භා. 10.10 න් ගෙවේ.
17 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජුනි 17

First Quarterපුර අටවක

ජුනි 26

Full Moonපසළොස්වක

ජූලි 03

Second Quarterඅව අටවක

ජූලි 10

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]