[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

පැහැදිලි ආරම්භයේ අවසානය යහපත් ය

පැහැදිලි ආරම්භයේ අවසානය යහපත් ය

අගාරික ජීවිතයේ පදනම අඹු සැමි සබඳතාවයි. යුතුකම් හා වගකීම්වලින් පිරි සමාජයක් බුදු දහම පෙන්වා දී තිබේ. අඹු සැමි සබඳතාව දරුවන් බිහි කිරීම නිසා මවුපිය සබඳතාවක් බවට පත්වේ. අනික්, සියලු බන්ධනවලට වඩා මවුපිය දූ දරු සබඳතාව ඉතා ප්‍රබලයි.

“රාහුලෝ ජාතො බන්ධනං ජාතං” රාහුල පුතුගේ උපත සිදුහත් කුමරුට දැනුණේ බන්ධනයේ ප්‍රබල බව හොඳ ම සාධකයයි. මවුපිය දූ දරු සබඳතාව සිඟාලෝවාද සූත්‍රය ඉතාම ඉහළින් පෙන්වා දී තිබේ.

එසේම ස්වාමි භාර්යා සබඳතාව, විශ්වාසය, සුහදශීලි ව, කාරුණිකබව, සංග්‍රහශීලි බව පවුල් දිවිය සාර්ථක කරවන සාධක වේ. පාලක හා පාලිකා දෙපක්ෂය ආයතනයක් පවත්වාගෙන යාම පිණිස ඉවහල් වේ. ඔවුනොවුන් කෙසේ ස්වාමි සේවක සබඳතා මත කටයුතු කළ යුතු ද යන්න මනාව සූත්‍ර දේශානුසාරයෙන් දක්වා ඇත.

සාර්ථක ගිහි ජීවිතයක් ගත කරන්නකු මනා අධ්‍යාපනයක් ලැබිය යුතු වේ. ගුරු ශිෂ්‍ය සබඳතාව සමාජය තුළ සුරක්ෂිත විය යුතු ය. ශිෂ්‍යයා මනාව හික්මිය යුතු වේ. අධ්‍යාපනයේ ප්‍රධාන කාර්ය වන්නේ එයයි. “විද්‍යා ද දාති විනයං” මනා විනයක් නැති අධ්‍යාපනයෙන් සමාජයට වැදගත් සේවාවක් ඉටු නොවේ. අධ්‍යාපනය, වෘත්තීය මට්ටමෙන් සිදු වුව හොත් චරිත සංවර්ධනය සිදු නොවේ. අද බොහෝ සෙයින් සිදුව ඇත්තේ එයයි. “අපදානසෝභිනී පඤ්ඤා” චරිතය ශෝභමාන කරවීම ප්‍රඥාවේ කාර්යභාරය යි. මෙසේ චරිත සංවර්ධනය කර ගත් පුද්ගලයා පෞරුෂත්වය ගොඩනඟා ගනී. අනතුරුව සමාජ සබඳතා සුරක්ෂිත කරගනී. නිලධාරින්, හිතමිතුරන්,

“යථාපි බඹරෝ පුප්ඵං” ආදී ලෙස සමාජ ජීවිතය සුරක්ෂිත කරගෙන සිය චරියා රටා සංවර්ධනය කරගත් පසු නැණවත්, සිල්වත්, ගුණවත් පුරුෂයකු, ස්ත්‍රියක, ලෙස සමාජයට බරක් නොවී පීඩාවක් නොවී මල නොතලා රොන් ගන්නා සේ කටයුතු කරයි. වේයා තුඹස බඳින්නාසේ උට්ඨාන වීර්යෙන් යුක්තව සිය ආර්ථිකය ද ගොඩනඟා ගනී. පංචශීල ප්‍රතිපදාව සුරක්ෂිත වේ. සමාජගත පුද්ගලයා අවබෝධයෙන් ජීවන රටාව ගෙනයයි. පැවැත්ම සුරක්ෂිත කරගනී. අනලස්ව වෙහෙස මහන්සි වී සීත, උෂ්ණ නොතකා කටයුතු කරයි. එම පුද්ගලයාට සැපය දුරු නොවේ. පවුල් ජීවිතය සාර්ථක වේ. පි‍්‍රයමනාප වේ. සමාජය තුළ උසස්, ගුණවත්, නැණවත් සද්ධාවෙන් පිරි ප්‍රඥාවෙන් පිරි පුද්ගලයකු වශයෙන් ආත්ම තෘප්තියෙන් අගාරික ජීවිතය ගෙවන්නට හැකිවනු ඇත.

දහම් අධ්‍යාපනය හා දහම් පාසල් අධ්‍යාපනය පුද්ගල සංවර්ධනයට ඍජුව ම සම්බන්ධ වේ. ආචාරශීලි ගුණගරුක දරුවකු නිර්මාණය කර සමාජයට දායාද කිරීම මූලික අරමුණ වේ. එය බෞද්ධ ප්‍රතිපදාවේ මූලික අරමුණකි. මාපියන් තම දූ දරුවන් හැදියාවෙන් හා යහපත් චරියාවෙන් යුක්ත ආචාරශීලිව ගොඩනඟන්නට කැප වේ. එහෙත් අද තරගකාරි අධ්‍යාපන රටාවට ගොදුරු වූ දරුවන් අධ්‍යාපන මාෆියාවකට හසුවී තිබේ. ඉරිදා දිනය දහම් අධ්‍යාපනය ලබන්නට නියමිත වුවද දූ දරුවන් ටියුෂන්වලට යාම මහත් වූ අභාග්‍යයකි. ඉරිදා දහම් පාසලත්,පෝදා ශීල සමාදානයත් මඟින් බෞද්ධ දර්ශනයට අයත් මූලික දැනුම ධර්ම ඥානය විනය හා ශික්ෂණය වර්ධනය වේ. ඔවුනොවුන් කෙරේ අවෛරී බව, කරුණාව, මෛත්‍රීය දායාද වන්නේ දහම් අධ්‍යාපනයෙන් බව අමතක නොකළ යුතුයි. සුන්දර පවුල් ජීවිතයකට උරුමකම් කියන්නට නම් අම්මා, තාත්තා, වැඩිහිටියන්, සහෝදර සහෝදරියන් ඥාතීන් කෙරේ ගරු බුහුමන් කිරීම, අවවාද උපදෙස් පිළිගැනීම, සුවචකීකරු බව, සැහැල්ලු දිවි පැවැත්ම පුරුදු පුහුණු කළ යුතු ය.

බෞද්ධ සාහිත්‍ය සංස්කෘතිය තුළින් ගොඩනැඟුණ ආචාර ධර්ම සිය ජීවිතය හා අනුබද්ධ වීම බෞද්ධ දරුවන්ගේ ජීවිතයේ පැහැදිලි ආරම්භයකි. හැදියාව, සහජත්වය, චර්යාව, වැරැදි කරන්නට ලජ්ජා භයවීම මූලික අරමුණකි. එපමණක් නොව ඇඳුම් පැලඳුම්, යාම් ඊම් ආදි සතර ඉරියව් පවා බුදු දහමින් පෙන්වා දී ඇත. මේ අනුව බලනකල බුදුදහම ලෝකෝත්තර ජීවිතය පමණක් නොව අගාරික වූ ලෞකික දිවිය සාර්ථක කිරීමට මඟ පහදා දුන් නිර්මල දර්ශනයක් බව පෙන්වා දිය හැක.

දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]