ශ්‍රී බුද්ධ වර්ෂ 2566 ක් වූ දුරුතු පුර පසළොස්වක පෝදා 2023 ජනවාරි 06 සිකුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |
සම්බුදු පා පහස ලද උතුම් කැලණිය පින්බිමේ දුරුතු මහා පෙරහර පූජෝත්සවය මෙවරත් අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ. සදහම් දේශනා පිරිත් සජ්ඣායනා, පරිවාර පෙරහර ඇතුළු වටිනා ආගමික හා සංස්කෘතික අංගයන්ගෙන් අර්ථවත්වන, අලංකාරවන කැලණිය දුරුතු පෙරහර ලාංකේය බොදු දනන්ගේ අභිමානවත් පුණ්‍ය මහෝත්සවයකි. ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ දුරුතු මහා පුණ්‍ය පූජෝත්සවය හා මහා පෙරහර ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරාධිපති ගෞරවාර්හ මාපිටිගම ධම්මරක්ඛිත නා හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා කැලණිය රජමහා විහාරයේ අභිනව විහාර මන්දිරය කරවා සසුනට පූජා කළ හෙළේනා විජයවර්ධන මැතිණිය ප්‍රධාන දායක පින්වතුන්ගේ ශාසනික අනුග්‍රහයෙන් 1927 දී ආරම්භ විය. එතැන් පටන් අඛණ්ඩව පැවති මෙම පෙරහර මහෝත්සවය මෙවර ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත, උපාධ්‍යාය ධුරන්ධර, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගෞරවාර්හ කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ හා ශ්‍රී කල්‍යාණි රජමහා විහාරයේ දායක සභාව, ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය හා කල්‍යාණි තරුණ සංවිධානය ආදි සංවිධාන සමූහයේ සහභාගිත්වයෙන් මෙන් ම ගම්පහ මහ දිසාපතිතුමන් ඇතුළු රාජ්‍ය ආයතනයන්ගේ සහයෝගයෙන් රටපුරා හා ලෝකය පුරා දායක පින්වතුන්ගේ ශාසනමාමක දායකත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට යෙදුණි. පසුගිය වසරවල රටේ පැවති අයහපත් වාතාවරණය හේතුවෙන් මෙම පින්කම් මහෝත්සවය ඓතිහාසික චාරිත්‍ර හා උඩමළුවේ පෙරහරට සීමා වූව ද මෙම වසරේ අංග සම්පූර්ණව පැවැත්වීමට අවස්ථාව සැලසීම සියලු දෙනාට මහා ආශිර්වාදයක් ලෙස ප්‍රදේශවාසී පින්වත්හු මත පළ කරති. පුරා තෙමසකට ආසන්න කාලයක් පැවති ධර්මදේශනා පින්කම් හා පරිවාර පෙරහර පින්කම් අවසානයේ දෙසැම්බර් 30 දින ආරම්භ වූ සත්වරුවේ පිරිත් දේශනය නව වසරට ආශිර්වාද පතමින් 2023 ජනවාරි 02 දින නිමාවට පත් විය. ඉන් අනතුරුව 2023 ජනවාරි 03 දින උඩමළුවේ පෙරහර ද, 04 දින දෙවන මළුවේ පෙරහර හා ජනවාරි 05 දින දුරුතු මහා පෙරහර පැවැත්විණි. එහි දී සධාතුක පෙරහර, විෂ්ණු දේවාල පෙරහර, කතරගම දේවාල පෙරහර හා කැලණියට සුවිශේෂ වූ විභීෂණ දේවාල පෙරහර අති උත්කර්ෂයෙන් පැවැත්විණි.
ජනවාරි 06 සිකුරාදා පූ.භා. 02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ. 06 සිකුරාදා සිල්
පසළොස්වක
ජනවාරි 06
අව අටවක
ජනවාරි 15
අමාවක
ජනවාරි 21
පුර අටවක
ජනවාරි 28
© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]