දුරුතු පුර පසළොස්වක 2023-01-06
යහපත පිණිස
තවත් නව වසරක් උදාවුණි. කෙනෙක් තම නිවෙස් පිරිසුදු කොට සුණු පිරියම් කරමින් ඇරඹුණු
වසරට නවමු බවක් එක් කළහ. තවත් කෙනෙක් සිය කාර්යාලයේ, වැඩබිමේ ආදි ලෙස තමන්ගේ ජීවිතය
හා සම්බන්ධ සෑම ස්ථානයක් ම පිරිසුදු කළහ. ජීවිතයේ දහසකුත් එකක් දුක් කම්කටොලු
මොහොතකට අමතක කරමින් ඇසිල්ලකින් හෝ සුබවාදීව දකිමින් වැඩ ආරම්භ කළහ. එය අගය කළ
යුත්තකි.
එහෙත් බෞද්ධයන් ලෙස අප භෞතිකත්වයට එහා ගිය අර්ථවත් බවකින් ජීවිතයට නවමු බවක්
එක්කරගත යුතු ය. එහිදී මූලිකත්වය දිය යුතු සිත පිරිසුදු කර ගන්නට ය.
එය ද වසරේ සුවිශේෂී දිනයකට සීමා විය යුතු නොවූවකි. ජීවත්වන මොහොතක් පාසා ඒ වෙනුවෙන්
උත්සාහවත් විය යුතු ය. එවිට ගොඩනැඟෙන ආධ්‍යාත්මික පිරිසුදු බව තුළ භෞතික පරිසරයෙහි
ද පිරිසුදු බව නිසැකයෙන් ම සුරැකෙනු ඇත.
අනෙක් අතට මේ සමාජයට, ලෝකයට ඇවැසි දිනයකට, මොහොතකට පමණක් පිවිතුරු බව ගැන,
අලුත්වීමක් ගැන සිතන මිනිසුන් නොවේ. ගත වෙන හැම මොහොතක් ම අර්ථචර්යාවෙන් ගත කරන
මිනිසුන් ය.
සම්බුදු දහමේ අර්ථචර්යාව යන්නෙහි සරල අර්ථය නම් තම ජීවිතය වැඩදායක ලෙස ගත කිරීම ය.
එනම් යහපත් හැසිරීම ය. ලෞකික අරුතට එහා ගිය ආධ්‍යාත්මික විවරණයක් එහි ගැබ් ව තිබේ.
යහපත් හැසිරීම උතුම් ය. උදාර ය. හරවත් ය. ගැඹුරු ය. පරහිත කාමී ය. සාමකාමී ය.
ගෞරවණීය වන්නේ ය. නිරහංකාර ය. ඒ ගුණාංග ඉස්මතුවීම තුළ තමන්ට සේ ම අනුන්ට ද වන
යහපතෙහි තරම ප්‍රමාණවත් කළ නොහැකි ය.
අප සරණ ගිය ශාස්තෘන් වහන්සේ අපට අර්ථ චර්යාවෙහි හැසිරෙන ලෙස ධර්ම මාර්ගය පෙන්වා
වදාළේ උන්වහන්සේ පළමුකොට ආදර්ශවත් වීමෙනි. උතුම් සම්බුදු පදවිය වෙනුවෙන් පාරමී දම්
පුරණය කළ බෝධි සත්ව අවධියේ පමණක් නොව සම්මා සම්බුද්ධත්වය ලැබ පන්සාළිස් වසක් පුරා
උන්වහන්සේ ලෝකාර්ථ චර්යාවෙහි නියැළුණහ. එහිදී රජ, මැති, සිටු, කුලීන, කුලහීන ආදී
කිසිදු භේදයකින් තොරව උන්වහන්සේ සම මෙතින්, කරුණා දයාවෙන් ලෝ සතට ජීවිතයේ යථාර්ථය
වටහා දෙන්නට, දහම් දෙසු සේක. ඒ දහම් මඟ අනුගමනය කරන්නා ම ය බෞද්ධ යන උතුම් නාමයට
හිමිකම් කියන්නේ.
අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයෙහි දී උන්වහන්සේ දේශනා කොට වදාළ උපදේශය අර්ථ
චර්යාවෙන් ජීවිතය වර්ණවත් කර ගන්නට උත්සාහ කරන්නකුට මහඟු මිණකි.
එහිදී උන්වහන්සේ අවධාරණය කොට වදාළේ තමන් යම් දෙයක් කිරීමට පෙර එය තමාට අහිත පිණිස
පවතින්නේ ද, අනුන්ට අහිත පිණිස පවතින්නේ ද, තමන්ටත්, අනුන්ටත් දෙපිරිසට ම අහිත
පිණිස පවතින්නේ ද යන්න හොඳින් විමසා බලා එහිදී තමන්ටත්, අනුන්ටත් අහිත නොවේ නම්,
හිත සුව පිණිසම වේ නම් එබඳු දෑ කිරීම යහපත් බව ය.
මෙය වචනාර්ථයට නොව හොඳින් අවබෝධයට ගෙන, සිතෙහි ධාරණය කොටගෙන, ජීවිතයට ප්‍රායෝගික
කරගන්නේ නම්, මේ ධර්මතාවට අනුවම කටයුතු කරන්නේ නම් කිසිදු විටෙක තමන්ටවත්, තමන්
නිසා අනුන්ටවත් තමන් කරන ක්‍රියාවක විපාකය කඳුළු පිරුණු දෙනෙතින් වින්දනය කරන්නට
සිදු නොවන්නේ ය. එය මෙලොවට සේ ම මරණින් මතු ජීවිතයට ද අර්ථසම්පන්න ය.
සම්බුදු මඟ යමින්, ඉවසීම, මෛත්‍රිය, කරුණාව, දයාව ආදී ගුණ වර්ධනය කර ගනිමින් යහපත්
ජීවිතයක් ගත කිරීමටත්, ඒ සඳහා, සිත අපිරිසුදු කරන වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, අධික
තණ්හාව ආදී කිළිටි කාරක ධර්ම සෝදා හරින්නටත් බෞද්ධයන් ලෙස උත්සාහවත් විය යුතු ය.
එවිට ප්‍රාර්ථනා කළ ද, නොකළ ද ජීවිතයට යහපත ම ළඟා වනු නියත ය. |