පරිහානිය - අපරිහානිය
හැදියාවේ හා ශික්ෂණයේ තරමට යි
ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්
( බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව බුද්ධශාසන අමාත්‍යාංශය)
කේ.කේ. සුගතපාල
තථාගත බුදුදහම තුළ ඇති පරම සැපය, පරමනිෂ්ඨාව වනුයේ නිවන් සැපය ම වේ. වරක් තථාගත
සම්බුද්ධෝත්තමයන් වහන්සේ සමඟ චාරිකාවේ වැඩිය 500ක් භික්ෂූන් වහන්සේ දම්සභා මණ්ඩපයට
බුදුරජාණන් වහන්සේ විඩනතුරු සාකච්ඡා කරමින් සිටියේ චාරිකාවේ විස්තර ය.
මෙය අසා දැනගත් භාග්‍යවතුන් වහන්සේ මහණෙනි, ඔබලා දැනගත යුත්තේ මේ භෞතික මහපොළොව,
කඳු පල්ලම්, පාරවල් ගැන නොව ඔබගේ සිත හා සිත්පරම්පරාව ගැන ය. සුගති දුගති හා ආත්මය
යනු කවරේ’දැයි සිය නුවණින් දත යුතු යැයි දහම් දෙසා 500 ම රහත්ඵල පිහිටවූ සේක. (ධම්ම
පද ගාථා 44 -45 අටුවා කතා)
තවත් වරෙක දම්සභා මණ්ඩපයට රැස්වූ බොහෝ භික්ෂූන් වහන්සේ මෙවන් අතුරු කතාවක යෙදී
සිටියහ. මගධාධිපති සේනිය බිම්බිසාර හා කෝසලාධිපති පසේනදි කොසොල් යන මහරජුන්
දෙදෙනාගෙන් වඩා බලවත් කවුරු ද යනුවෙනි.
පාඨක දැනුම සඳහා බලවත් යන්නට අටුවා විස්තර මෙසේ ය. මහත්ධන :– පොළොවෙන් සාරාගන්නා
රන් ,රිදී, මුතු, මැණික් මහත් භෝග :– පරිභෝජනයට මහත් වස්තු තිබීම, මහා භාණ්ඩාගාර :–
නිතිපතා විශාල ආදායම් ලැබීම මහත් විජිත :– දිනාගත් යටත් විජිත ඇති බව මහත් වාහන :–
ඇත්, අස්, ගවාදී වාහන (එදා) මහත් බල :– ඇත්, අස්, රිය, පාබල චතුරංගනී සේනා ඇති බව
මහත් ඍද්ධි :– තමන් කැමති කැමති දේ ලැබීම ( මෙම ස්වභාවය පූර්ව පුණ්‍ය කර්ම සම්පත්
ලෙස සැලකේ) මහත් අනුභාව :– දානය – පි‍්‍රය වචනය. අත්ථචරියා – සමානාත්මතා යන සතර
සංග්‍රහ වස්තූන්ගෙන් ජනයා සතුටු කිරීමයි.
දම් සභා මණ්ඩපයට වැඩි භාග්‍යවතුන් වහන්සේ ඔබලා කවර නම් කථාවකින් යුක්තව
හුන්නහු’දැයි කළ විමසීමට ඉහත විස්තර කීහ.
මහණෙනි, ඔබලා ශ්‍රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම ශාසනයට පැමිණි කුල පුත්‍රයෝ ය. රජුගේ
දඬුවමකින් බේරීමට, සොරුන්ගේ දඬුවමක් නිසා, ණයකින් බේරීම සඳහා හෝ ජීවත්විම සඳහා
පැවිදි වූවෝ නොවෙති. මෙවැනි කතා නොහොබී, ඔබලා යම් තැනකට රැස්වූවෙහි ද එහිලා ඔබ
විසින් දෙකරුණක් කටයුතු ය.
ඒ දැහැමි කථා හෝ ආර්ය වූ තුෂ්ණිම්භාවයයි. (අවබෝධයෙන් නිහඬව සිටීමයි)
මේ භික්ෂූන් වහන්සේට පමණක් නොව ආර්ය මාර්ගයට (සාසන බ්‍රහ්මචරියාවට) පිළිපන් පැවිදි
– ගිහි සියල්ලට ම කැප දෙසුමකි.
බෞද්ධ අපි “සියලු සත්ත්වයෝ සුවපත් වේවා”යි යම් අදිටනක් කරයි ද, ඒ තුළ ඇත්තේ තම
ගෙදර, තම ඥාතීන්, තම රට, මුළු ලොව පමණක් නොව නව සත්තා වාස හා එක්තිස් ලෝකය පමණක්
නොව දස සහශ්‍රී ලෝක ධාතුව ම එහි ඇතුළත් වේ.
ඒ තුළ ජාතියක්, ආගමක්, රටක් සීමා නොවේ. මෙවන් දහමක් අදහනÿ බෞද්ධයන් යැයි කියා ගන්නා
මෙරට ඇතැම් පුද්ගලයන්ගේ, මෙරට ආර්ථිකයේ ප්‍රධාන ආදායම් මාර්ගය අපනයනයයි.
ඇතැම් අපනයනකරුවෝ උපයන ආදායමින් අඩකටත් වැඩි ප්‍රමාණයක් මෙරටට නොගෙන්වා විදේශ
බැංකුවල පෞද්ගලික සැප විහරණයට තැන්පත් කරති. විදෙස්හි රැකියා කර මුදල් උපයන ඇතැම්හු
මෙරටට මුදල් එවන්නෝ මත්කුඩු ලෙසින් ය.
මේ කරුණු තුළින් මේ රට හෝ වෙනත් රටක් භෞතික වශයෙන් සංවර්ධනය වන්නට ඉඩකඩක් ඇත්තේ
යැයි සිතිය හැකි ද? මේ එක් අංශුවක් පමණි.
මෙරට ගොවිතැන්, වෙළඳාම්, ආයෝජන ව්‍යාපෘති වුව ද එසේ ම ය. වෙනත් කාටවත් ඇඟිල්ලක්
දිගු කිරීමට හෝ බැරි තරමට බොහෝ ජනයා දූෂිත වී ඇත. එහෙයින් සමස්තය ම ආකල්ප වෙනසකට
දැඩි තීරණ ගත යුතු ය.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහත් භික්ෂු පිරිසක් සමඟ චම්පාවෙහි ගග්ගරා පොකුණූ තෙර
වැඩහුන් සේක.
පෙස්ස නම් ඇත්ගොව්වා කන්දරක පරිබ්‍රාජකයා සමඟ බුදුරජුන් සමීපයට ගොස් වැඳ එකත් පසෙක
සිටියහ. කන්දරක මෙසේ කීය.
‘ස්වාමීනි. ඔබ වහන්සේ මෙතරම් විශාල ශ්‍රාවකයන් හික්මවන අයුරු පුදුම සහගත ය.
අසිරිමත්'ය.
එයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ කන්දරක, මේ මහත් භික්ෂු පිරිස රහත් ඵලයට හා
අනෙක් මඟපලයන්ට පත්වූවෝ ම වෙති. ඔවුහු සතර සතිපට්ඨාන ධර්මයන්හි මනාකොට පිහිටියෝ
වෙත්.
එහිදී පෙස්ස ඇත්ගොව් පුත්‍රයා ද ඉදිරිපත්ව
ස්වාමීනි, ගිහි අපිදු සතර සතිපට්ඨානය ඔබ වහන්සේ දෙසූ ආකාරයෙන් මනාකොට පිළිපදින්නට
වෙර දරමු. ස්වාමීනි එහෙත් සුදුවත් අඳින්නාවූ අපි අතර සඟවා ගත් අදහස් ඇති, කෙලෙස්
කසටින් කිලිටි වූ මිනිස් සමාජයක් පවතිද්දී කෙලෙස ඒ උතුම් දහම් රකින්නෙමු ද?
“පෙස්ස, ඔබ නිවැරැදි ය. මිනිස්සු සඟවා ගත් අදහස් ඇත්තෝ ය සිවුපාවෝ ප්‍රකට ගති ඇත්තෝ
ය. ස්වභාවික ගති ප්‍රකට කරන්නෝ ය. උදා :– කොටියා , වලසා නපුරු ය, නරියා කපටි ය.
සාවා – මුවා අහිංසක ය, බූරුවා බූරුගති ඇත. මෙහිදී සතර පුද්ගලයෝ පිළිබඳ බණක් ඇසු
දෙදෙනා සතුටු සිත් ඇතිව භාග්‍යවතුන් වහන්සේට වැඳ නික්ම ගියෝ ය. (මජ්ක්‍ධිම නිකාය 51
- කන්දරක සූත්‍රය)
මෙලෙස පෞද්ගලික න්‍යායපත්‍ර තම සිතෙහි සඟවාගෙන නිකෙලෙස් පුද්ගලයන් ලෙස සමාජයෙහි,
පෙනී සිටින මිනිස් සත්ත්වයා කෙතරම් කුහක වේ ද? මේ රටත්, මෙලොවත් මෙ නිසාම
පිරිහෙන්නේ ය. ස්වභාවධර්ම සම්පත්වලින් පිරි අපේ රට වැනි මෙවැනි රටක් ලොව වෙන කොහේ
තිබේද? හානිය පිරිහීම ඇත්තේ කුඩා තැන පටන් මහා තැන දක්වා ඇති සිතෙහි සඟවා ගත්
කිලිටි ගති ඇති මිනිසුන්ගේ ආධ්‍යාත්මික පිරිහීම තුළ ය.
මරණින් මතු පරලොවක් ඇති බව හා කර්ම පල විශ්වාස කොට ආකල්පමය වශයෙන් අපි වෙනස් විය
යුත්තේ වෙමු.
සැවැත්නුවර එක් ගෙහිමියෙක් ඉසුරෙන් පිරී ආඪ්‍යය. ධනයෙන් හා මහත් භෝගයෙන් පිරිපුන්
ය. ඒවගේම තෙරුවන කෙරෙහි පැහැදුණු ශ්‍රද්ධාවෙන් ද මහත් වූවෙකි. දිනක් බුද්ධ ප්‍රමුඛ
මහා සංඝයා වහන්සේ නිවසට කැඳවා මහා දනක් දෙන්නේ ය. එකල්හි රජුට හිදිසියේ ධනය
අවශ්‍යතාවක් විය. ඒ අනුව මේ ගෙහිමියා කැඳවාගෙන ඒමට රාජ පුරුෂයකු යැවීය.
“ගෘහපතිය, රජ නුඹ කැඳවයි” යැයි රාජ පුරුෂයා කීවේ ය. ශ්‍රද්ධාවෙන් සිත පුරවා දානය
දෙමින් සිටි ඔහු “පුරුෂය, ඔබ යන්න. මම පසුව එන්නෙමි. දැන් මම නිධානයක් තැන්පත්
කරමින් සිටින බව රජුට පවසන්න, කියා දානයේ කටයුතුම කළහ.
දන් වළඳා අවසන භුක්තානුමෝදනාව වශයෙන් බුදුන් වහන්සේ දේශනා කරන ලද්දේ ඛුද්දක
නිකායෙහි ඛුද්දක පාඨ දේශනාවෙහි 8 වැන්නවූ “නිධිකණ්ඩ” සූත්‍ර දේශනාවයි.
ජනයාගේ නිධාන තැන්පත් කිරීම ලෙසින් වදාළ මේ සූත්‍ර දේශනාව ගාථා 16කින් සංගෘහිත වන
අතර, එයින් ලෞකික පාරලෞකික හා ලෝකෝත්තර අභිවෘද්ධිය ලබා ගත හැක. ලිපියේ මාතෘකාවට
පිළිතුරු සපයාගත හැකි, වර්තමානයේ අපේ රටේ පවතින සියලු ගැටලුවලට විසඳුම් සඳහන් වන 6
වැනි ගාථාව පමණක් මෙසේ පැහැදිලි කරගමු.
මතු විපතක දී පිහිටට ගනු පිණිස ජනයා තැන්පත් කරන ධනය නිධාන නම් වෙති. ඒවා සතරාකාර
වෙත්. 1.ථාවර නිධානය, (රන්, රිදී, ගොඩ, මඩ ඉඩම්, භූමිගත දේපොළ යනාදිය රැක ගැන්ම)
2.ජංගම නිධානය (ඇත්, ගව, අස්, වෙළඹ, එළු කුකුල්, දැසි දස් ආදීන් ය) 3.අංගසම නිධානය
( සිත, කය නිපුණකොට ලබා ගන්නා ශිල්ප. ශාස්ත්‍ර කර්මාන්ත ආදි විද්‍යා දැනීම්ය) 4.
අනුගාමික නිධානය – දාන, ශීල, භාවනා, බණකීම බණ ඇසීම ආදී දසපින් හා දස කුසල්හි යෙදීම
වැනි තම ශාස්තෲන්ගේ අනුශාසනා අනුගමනය කිරීම අදහස් කෙරේ. මේ සතර නිධි අතර මුල් 3 ම
විශේෂ වන අතර, 4 වැන්න සුවිශේෂ නිධියක් වන්නේ ම ය.
යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ විසින් දානයෙන් (දීමෙන්) ද ශීලයෙන් ද (කය වචන
සංවරයෙන්) චිත්ත සංයමයෙන් ද (සමාධියෙන්) කෙලෙස් ක්ෂය කළ ප්‍රඥාව ද තමා තුළ නිධන්
කොට ගත්තේ ද ඔහු මෙලොවත් පරලොවත් දිනුවේ ය. සසරින් ද එතෙරට ගියේ ම ය. මේ සතර
ධර්මයන්ට උපකාර වන තවත් සතර කරුණක් අටුවාවේ හා සුත්ත නිපාතය ආළවක සූත්‍ර 190 ගාථාවේ
පිට 58 මෙසේ දක්වයි.
පරිත්‍යාගය හා ඉවසීම යන සතර කරුණට වඩා ලෞකික ලෝකෝත්තර ධනය ලබා දෙන අන් කිසිවක් ලොව
නැත. මේ තමා බෞද්ධ ආර්ථික න්‍යාය. ලෝකෝත්තර න්‍යාය ද මෙයට ය.
පිරිහීිමෙන් මිදීමට නම් සත්‍යය ගරුක බව, භෝජනයේ පමණ දැනීම, ඉන්ද්‍රිය හික්මවා
අල්පේච්ඡ වූයේ ද, ඇති අය නැති අයට පරිත්‍යාග කරයි ද, ඉවසීමෙන් සියලු දෙනා එකට එකතු
වී ගැටලුවලට විසඳුම් තීන්දු ගනී ද, සමෘද්ධිය සංවර්ධනය ක්‍රමයෙන් රටට ම ළඟාවන්නේ ම
ය. |