දහම් පාසල් දරුවන්ට
පස් වැදෑරුම් පිළිවෙත් පෙහෙළිය
බම්බලපිටිය
සිරි වජිරාරාමාධිපති,
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
තිරිකුණාමලේ
ආනන්ද මහා නාහිමි
1958 වසරෙහි දී භික්ෂූන් වහන්සේ පුහුණු කිරීම සඳහා ආරම්භ කළ මහරගම සිරි වජිරඤාණ
ධර්මායතනයෙහි ගිහි බෞද්ධ ජනතාවට ධර්මානුකූලව ජීවිත පුහුණුවක් ලබාදීමේ ආධ්‍යාශයෙන්
ක්‍රියාත්මක කළ ව්‍යාපෘතින් අතර 1971 දී ආරම්භ කළ සිරි වජිරඤාණ දහම් පාසල විශේෂ
තැනක් ගනී.
ධර්මායතනය ආරම්භ කළ අවදියේ පටන් ගිහි - පැවිදි දෙපාර්ශවය ම අළලා පැවැත් වූ සියලු
සංවිධාන ව්‍යාපෘති, වැඩසටහන්වල මූලික තේමාව වූයේ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක
මාහිමිපාණන් වහන්සේගේ විශිෂ්ට සංකල්පයක් වූ
“මිනිහා නො හදා රට හදන්නට බැහැ. මිනිහාත් හදා ගනිමින් රටත් හදාගනිමු.” යන්නයි. මෙහි
මිනිසා හැදීම යන්නෙන් අරුත්වත් කළේ මිනිසාගේ මනස හැදීම යි.
සිරි වජිරඤාණ දහම් පාසලේ ද මූලික පදනම වූයේ යථෝක්ත තේමා වදන සක්‍රිය ව අර්ථ ගැන්වීම
යි. ඒ සඳහා අතිපූජනීය මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින් දහම් පාසලේ මෙහෙවර සඳහා
ප්‍රතිපත්ති පහක් හඳුන්වා දෙනු ලැබිණි.
අනාගතයෙහි රටේ වගකීම භාර ගන්නා ළමා පරපුර වෙතින් ජාතියට, රටට ධර්මානුකූල නියාමනයක්
සලසා දීම සඳහා මෙම පිළිවෙත් පහෙන් ලද හැකි ආලෝකය කොතරම් ද යන්න ඒ පිළිබඳ ගැඹුරින්
විමසා බලන්නකුට වැටැහෙනු ඇත.
එකල ලංකාවේ සියලු දහම් පාසල්වල ශ්‍රේණි විභාග පැවැත් වූ බොරැල්ලේ තරුණ බෞද්ධ සංගමය
ලක්දිව සියලු දහම් පාසල්වල අවධානය යොමු කිරීම සඳහා මේ පිළිවෙත් පස අවධාරණය කැර
යැවීමෙන් ඒ කරුණ පැහැදිලි වේ.
සුපිළිපන් සමාජයකට අත්‍යවශ්‍ය වන එම පිළිවෙත් ගැන විවරණයකි මේ.
*
නිති පන්සිල් හා පොහොය අටසිල් රැකීමට උත්සාහවත් කිරීම.
බෞද්ධ ජීවිතයක පදනම වන්නේ ශීලය යි.
කෙනකුගේ කතාවෙන්, ක්‍රියාවෙන් හැදුණුකම්, මැදුණුකම්, මුදු මොළොක්කම්, කරුණා දයා ගුණ
ස්වභාව දියුණු වන්නේ ශීලයෙන් ලැබෙන හික්මීම හේතු කොට ගෙන ය. දරුවනට කුඩා කල සිට ම
ගිහියාගේ නිත්‍ය ශීලය වන පංච ශීලයෙහි අගය පෙන්වා දී එහි හික්මැවීම දෙමවුපියනට ද,
වැඩිහිටියනට ද, ගුරුවරුනට ද අයත් වගකීමෙකි.
දහම් පාසල් අධ්‍යාපනයෙහි මතු නො ව දිනපතා පාසල් අධ්‍යාපනයෙහි ද මෙහිලා හුරුවක්,
ඇගැයීමක් ඇති කරවිය යුතු ය. පන්සිල් යනු මුල් තැන්හි සැලකෙන මිනිස් දහම් පහක්
හෙයින් ආචාර විද්‍යාත්මක ව ද එහි වෙසෙස් අගයක් පවතී.
පින් - පව් පිළිබඳ දෘෂ්ටිය අපේ සංස්කෘතිය හා බද්ධ වූයේ මෙම සුසිරිත් දහම් පහ
පසුබිම් කරගෙන ය. පොහොය දා ලැබෙන නිවාඩුව උපකාරක පන්ති, ක්‍රීඩා හෝ වෙනත් කටයුතුවලට
හෝ යෙදවීම මේ ශික්ෂා මාර්ගය අවතක්සේරු කිරීමෙකි.
එහෙයින් දහම් පාසල්වල පසළොස්වක පොහෝ දා ළමයින් උදෙසා ම වෙසෙස් වැඩසටහන් සකස් කොට
ඔවුන් ඉහළ ශීලයෙහි පිහිටුවා දැහැමියාව තෙදවත් කරන්නට උත්සාහ දැරිය යුතු ය.
*
කුල දෙවි - මාපිය - ගුªරුවර - වැඩිහිටියන් පිදීමට යොමු කිරීම
කුල දෙවියෝ නම් පූජ්‍යයෝ ය. ගරු කටයුතු මහ සඟරුවන ය. උන්වහන්සේ ගිහියනට,
සැදැහැවතුනට යහ මඟ ම දක්වමින් මෙලොව පරලොව දියුණුව හා ලොවුතුරු සුවය සලසන්නෝ ය.
සමාජය දිසා සයකින් දැක්වුවහොත් එහි මුදුනින් ම වැඩ සිටින්නේ එතුමෝ ය.
දරුවනට ආදරයෙන් සියලු රැකවරණ පහසුව සලසමින් ලොව එළි කැර දෙන්නෝ දෙමවුපියෝ ය.
පූර්වාචාර්යවරුන් වන ඔවුහු හිරු - සඳු උදා වන නැඟෙනහිර දිසාව හා සම වෙති.
ගුරුවරු දකුණු දිසාවට උපමා වෙති. දරුවන් මැනැවින් හික්මවා ශිල්ප ශාස්ත්‍ර හදාරවා
ඔවුන්ගේ පැවැත්මට නිසි මංපෙත් පහයා සමාජයට ඔසොවා තබන්නෝ ඔවුහු ය.
මේ හැම කෙනකුන් සේ ම සිය පරපුරේ හා ඇසුරු කරන, ගුණෙන් නුවණින් වයසින් මුහුකුරා ගිය
වැඩිහිටියෝ දරුවනට නොයෙක් අයුරින් පිහිට සලසති.
ඉහත සඳහන් කළ සියලු දෙනනාට ගරු සරු බුහුමන් දැක්වීම දරුවන්ගේ යහපතට දියුණුවට ම හේතු
වේ.
සුපිළිපන් සමාජයකට ඇවැසි තවත් පිළිවෙත් තුනක් ගැන එළඹෙන නවම් පුන් පෝ දා බුදුසරණින්
කියවමු. |