වෘක්ෂ උපමාවෙන්
පුද්ගලයන් හඳුනා ගනිමු
අංගුත්තර නිකායෙහි, චතුක්ක නිපාතයෙහි දැක්වෙන රුක්ඛ සූත්‍රයෙහි වෘක්ෂයන් උපමා
කරමින් පුද්ගලයන් පිළිබඳ විග්‍රහයක් සිදු කොට ඇත. මෙම සූත්‍රයෙහි දැක්වෙන ආකාරයට
වෘක්ෂයන් සතර ආකාර ගනියි. එම සතර ආකාර වු වෘක්ෂයන් නම්,
නිසරු වෘක්ෂ පිරිවරා ඇති නිසරු වෘක්ෂය,
සරු වෘක්ෂ පිරිවරා ඇති නිසරු වෘක්ෂය,
නිසරු වෘක්ෂ පිරිවරා ඇති සරු වෘක්ෂය
සරු වෘක්ෂ පිරිවරා ඇති සරු වෘක්ෂය වේ.
මෙම සතර විධ වූ වෘක්ෂයන් අපට එදිනෙදා දක්නට ලැබෙන්නකි. එසේ පරිසරයෙහි දක්නට ලැබෙන
වෘක්ෂයන් උපමාවට ලක්කරමින් බුදුන් වහන්සේ පුද්ගලයන් පිළිබඳ දේශනා කර ඇත. මෙසේ
එදිනෙදා ජීවිතයෙහි පරිසරයෙහි දක්නට ලැබෙන වෘක්ෂයන් සේ ම මිනිසාට එදිනෙදා ජීවිතයෙහි
දී මුණගැසෙන පුද්ගල කණ්ඩායම් සතරකි. බුදු දහමෙහි හඳුන්වා දෙන එම පුද්ගලයන් නම්
නිසරු පිරිස් පිරිවරා සිටින නිසරු පුද්ගලයා, සරු පිරිස් පිරිවරා සිටින නිසරු
පුද්ගලයා, නිසරු පිරිස් පිරිවරා සිටින සරු පුද්ගලයා හා සරු පිරිස් පිරිවරා සිටින
සරු පුද්ගලයා යන සතරවිධ පුද්ගලයන් ය.
මෙලෙස සමාජයේ විද්‍යමාන වන පුද්ගල කොට්ඨාශ සතරක් බුදු දහමෙහි පෙන්වා දී ඇත්තේ එම
පුද්ගලයන්ගේ මානසික ගුණාංග අනුව වීම සුවිශේෂිත්වයකි.
මෙම සූත්‍රයෙහි විග්‍රහ වන නිසරු පිරිස් පිරිවරා සිටින නිසරු පුද්ගලයා, නිසරු වෘක්ෂ
පිරිවැරූ වෘක්ෂයකට සමාන කොට දක්වයි. මෙම පුද්ගලයාගේ ස්වභාවය නම් දුසිල්වත් අයහපත්
කටයුතු වල නිරත වන අයකු වීමයි. මොහු තමාටත් අන්‍යයන්ටත් යහපතක් සුගතියක් වන ලෙස
ජීවත් නොවේ. නිරන්තරයෙන් දුගතිගාමි වන දේ කිරීමට මෙම පුද්ගලයා පංච දුශ්චරිතයන්හි
නිරත වෙයි.
මෙම උපමාවෙහි දැක්වෙන නිසරු ජීවිතයක් ගත කරන මෙම පුද්ගලයා ආශ්‍රිතව සිටින පරිවාර
පිරිස ද අයහපත් දේ සිදු කරමින් තමාට මෙන්ම අන්‍ය
පර්ෂදයන්ට ද යහපතක් නොවන නිසරු දේහි නිරත වෙයි.
නූතනය තුළ බොහෝ සෙයින් මෙවැනි සමාජ කණ්ඩායම් දැකිය හැකි ය. ඇතැම් පුද්ගලයන්
මත්ද්‍රව්‍ය ආදිය භාවිත කරන විට ඒ අය වටා එම කාර්යය සඳහා බොහෝ පිරිසක් එකතු වන
අයුරු දැකිය හැකි ය. මෙතුළින් තමාගේ කායික මෙන්ම මානසික සෞඛ්‍යය ද පිරිහී යන බව
ඔවුන්ට වටහා ගැනීමට හැකියාවක් නොමැති වේ. එසේ වටහා දීමට තරම් කල්‍යාණ මිත්‍රයන් ද
නොමැති වෙයි.
නිසරු වෘක්ෂයක් සරු ඵලදාවක් සමාජයට නොදෙයි. එසේම ඒ වටා ඇති නිසරු වෘක්ෂයන් ද සමාජයට
සරු ඵලයක් ඇති නොකරයි. එලෙසම මෙවැනි පුද්ගල චරිත ද සමාජයට යහපතක් සිදු නොකරයි.
ලෝකයෙහි විද්‍යාමාන වන තවත් පුද්ගලයකු නම් සරු පිරිස් පිරිවරා සිටින නිසරු පුද්ගලයා
ය. ඇතැම් පිරිස් ඉතාම දුසිල්වත් ය. නිරන්තරයෙන් පස් පව් සිදුකරමින් දුගතිගාමි
දිවියක් ගත කරයි. දානමානාදි පින්කම්වල නිරත නොවෙයි. සිල්වතුන් දැකීමට පවා අකමැති
වෙයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති නොකර ගනියි.
මෙවැනි ලක්ෂණ වලින් යුක්ත වූ නිස්සාර දිවියක් ගත කරන ඇතැම් පිරිස් වටා යහපත් ගුණාංග
වලින් හෙබි සාරවත් පුද්ගලයන් සිටියි. ඔවුන් දස කුසල්හි යෙදෙයි. නිරන්තරයෙන් යහපතෙහි
ම යෙදෙයි. මෙසේ තමා වටා සිටින පිරිස කෙතරම් යහපත් වුව ද තමා එසේ වීමට උත්සහා
නොගන්නා මෙම පුද්ගලයන් සමාජයෙහි නිතර අවමානයට පත් වෙයි.
අකුසල විපාකයන්හි ප්‍රබලත්වය නිසා තමා වටා කෙතරම් යහපත් පිරිසක් සිටිය ද ඔවුන් සේ
ධාර්මික වීමට උත්සාහ නොගනියි. මෙවැනි චරිත බුදුන් වහන්සේ සමාන කරන්නේ සරු ඵල සහිත
වෘක්ෂ පිරිවරා සිටින නිසරු වෘක්ෂයකට ය.
සමාජයෙහි තවත් පිරිසක් ඉතා සිල්වත් ය. දානාදි පුණ්‍ය කර්මයන්වල නිරත වෙයි. තෙරුවන්
කෙරෙහි අචල ශ්‍රද්ධාවකින් යුක්තව කටයුතු කරයි. සමාජයට යහපතක් වන දේ ම සිදු කරන්නට
ඔවුන් යොමු වෙයි. මෙවැනි සිල්වත් ව ජීවත් වන ඇතැම් අයෙක් පිරිවරා දුසිල්වතුන් සිටින
අවස්ථා සමාජයෙහි දක්නට ලැබේ. එම පිරිස් දානාදි පින්කම් සිදු නොකරයි. පංච සීලය
ආරක්ෂා නොකරයි. නිරන්තරයෙන් තමාටත් අන්‍යයන්ටත් අයහපතක් වන අයුරින්ම ජීවත් වෙයි. තම
මිත්‍රයා කෙතරම් පුණ්‍යවන්ත දිවියක් ගත කළ ද එසේ ජීවත් වීමට ඔවුන් උත්සාහ නොගනී.
මෙම නිසරු පුද්ගලයන් පිරිවරා සිටින සරු පුද්ගලයා බුදු දහමෙහි නිසරු ගස් පිරිවරා
සිටින සරු වෘක්ෂයට උපමා කර ඇත. මෙවැනි පුද්ගලයන් ද ඕනෑම සමාජයක දැකිය හැකි ය. ඇතැම්
මිනිසුන් සිටිනවා තම මිතුරන් මත්ද්‍රව්‍ය ආදියට කෙතරම් යොමු වී සිටියත් තමා එවැනි
ක්‍රියාවලට නොයයි. තමාගේ යහපත් ජීවිතයට එය හානියක් නොකර ගනියි. එම පුද්ගලයා අපමණ
වීර්යයකින් යුතුව තම ආධ්‍යාත්මික ජීවිතය අරක්ෂා කර ගැනීමට උත්සාහ දරයි.
බුදුන් වහන්සේ වෘක්ෂයන් උපමාවට බඳුන් කරමින් සමාජයෙහි ජීවත් වන පුද්ගලයන් පිළිබඳ
මැනවින් විවරණය කර තිබේ. එසේ සවිස්තර ව දක්වන ලද පුද්ගලයන් අතර පුණ්‍යවන්ත ලෙස
ජීවත් වන සරුසාර පිරිසක් සිටියි. සරු වෘක්ෂ පිරිවරා සිටින සරුසාර වෘක්ෂයකට බුදු දහම
උපමා කරන්නේ සිල්වත් ජීවිතයක් ගත කරමින් යහපත් ලෙස ජීවත් වන පිරිස් පිරිවරා සිටින
සිල්වත් පුද්ගලයාට ය.
මෙම පුද්ගලයා මානසික වශයෙන් සතුටින් ජීවත් වෙයි. තමාගේ ලෞකික දියුණුව ධාර්මිකව ඇති
කර ගනියි. පරලොව සුගතිය පිණිස නිබඳව ධර්මයෙහි හැසිරෙන මෙම පුද්ගලයා තෙරුවන් කෙරෙහි
දක්වන්නේ අචල ශ්‍රද්ධාවකි.
තමාගේ ලාභ ප්‍රයෝජන වෙනුවෙන් අධාර්මික නොවෙයි. සංඝ රත්නයෙහි ගුණයන් දකින මෙම
පුද්ගලයා තමාගේ යහපත මෙන්ම අන්‍යයන්ගේ යහපත පිණිස නිබඳව ම කැප වෙයි. මෙම පුද්ගලයා
පිරිවරා සිටින අය ද තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් කටයුතු කරයි. දානාදි පින්කම්වල
නිරන්තරයෙන් යොමු වෙයි. පන්සිල් සුරකිමින් තම ආධ්‍යාත්මික ජීවිතය දියුණු කර ගැනීමට
වෙහෙසෙයි. ධම්ම පදයෙහි දැක්වෙන්නේ යම් පුද්ගලයකු සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය
නිසරු ලෙසත් දකින්නේ නම්, ඔවුන් සාරවත් නිර්වාණයම සාක්ෂාත් කර ගන්නා බවයි. බුදු
දහමේ පරම සැපත නම් නිවනයි. එම නිර්වාණගාමි ප්‍රතිපදාව වෙත යාමට මෙම පුද්ගල කොටසට
පහසු වෙයි.
බුදුරජාණන් වහන්සේ මෙසේ ස්වභාවික පරිසරයෙහි උපමා යොදා ගනිමින් පුද්ගලයන් පිළිබඳ
විස්තර කර ඇත්තේ මිනිසුන්ට ඉතා පහසුවෙන් අවබෝධ කර ගැනීම පිණිස වේ.
මෙම සතර ආකාරයෙහි පුද්ගල කොට්ඨාශයන් අපට එදිනෙදා ජීවිතයෙහි මුණගැසෙයි. එසේම බුදු
දහමෙහි ඉගැන්වෙන මෙම පුද්ගල බෙදා දැක්වීම මැනවින් අවබෝධ කරගෙන තමා කවර කොටසකට අයත්
වන්නේ දැයි නුවණින් විමසිය යුතු ය. එසේ නුවණින් විමසා බලා තමා ද සරු වෘක්ෂයක් සේ වී
තමා අවට සිටින අය ද එසේ සරු පුද්ගලයන් බවට පත් කිරීමට හැකි අයුරින් උපකාර කළ යුතුය.
බුදු දහමට අනුව නිවන් මාර්ගය වඩන උත්තරීතර පුද්ගලයාගේ ස්වභාවය නම් එය වේ.
වෑඋඩ ශ්‍රී විද්‍යාතිලක
මහ පිරිවෙනේ ආචාර්ය,
එන්.තුසිත රාජපක්ෂ |