පොසොන් අව අටවක 2021.07.01
දැන යා යුතු මඟ
දිනක් ගවයන් රැක බලා ගන්නා පුද්ගලයකුට මහ වන මැද දී මඟ වැරදුණි. අතර මං ව නිසි
අරමුණකින් තොරව ඒ මේ අත ඇවිද ගිය ද මඟ සොයා ගත නොහැකි වුණි. රෑ බෝ වී දසතින් අඳුර
ගලා ආවේ ය. මඟ දැක ගත හැකි වේයැයි සිතා ඔහු අසල කඳු ගැටයකට ගොඩවිය. අඳුරේ ම එහි
ඇවිද යන්නට වූයේ සිදු වුණේ නොසිතූ දෙයකි. පය ලිස්සා ගොස් ඔහු පහළට පෙරළී ගියේ ය.
අතිශය බියට පත් ගොපලු මිනිසා අතට හසු වූ වැල් පටක් අල්ලා ගත්තේ ය. ඒ ද කටුවැලකි. අත
සීරී ලේ ගලන්නට ද, වේදනා දෙන්නට ද විය. හේ අනෙක් අතින් ද කටුවැල අල්ලා ගත්තේ ය.
දැන් දෑත ම වේදනා දෙයි. එහෙත් ජීවිතාශාවෙන් කටුවැල අත නොහැර හේ දෙපයින් ද එය සිර
කොට ගත්තේ ය.
මෙසේ වේදනා විඳිමින් ම රැය පහන් වුණි. හිරු උදා විය. පහළ බැලූ ගොපලු මිනිසාට දැක ගත
හැකි වූයේ පුදුමයකි. ඒ තමන් එල්ලී සිටින්නේ පොළොවට ඉතාම ආසන්නයේ බව ය.
අප බොහෝ දෙනෙක් දුකට වේදනාවට පත්ව සිටින්නේ ද මේ ගොපලු මිනිසා මුහුණ දුන්නා හා සමාන
අත්දැකීම් නිසා ය. සරලව ම කියනවා නම් අත් නොහැර සිටීම නිසා ය. දැඩිව අල්ලා ගැනීම
නිසා ය. එය විවිධ විය හැකි ය.
පොදුවේ ජාතියක් ලෙස මෙකල අප බරපතළ අර්බුදයකට මුහුණ දී සිටිමු. ඒ ජීවත්වීම සඳහා වස
විසෙන් කුස පුරවා ගැනීම නිසා ය. බොහෝ කලකට පෙර සොබා දහමෙන් ම ලැබුණු දායාදයන්ගෙන්
සාර වූ මේ මහ පොළොව ආත්මාර්ථකාමී මිනිසුන් නිසා නිස්සාර විය. ලාබය ම සිතූ ඔවුහු
ස්වභාවික අමුද්‍රව්‍ය වෙනුවට රසායනික වස විස මහපොළොවට දමා එහි ජීවත්වන ජීවීන්ට
පමණක් නොව ඒවායේ සාරයෙන් හැදෙන ආහාර වර්ග පරිබෝජනය කරන මිනිසුන්ට ද විස ග්‍රහණය කර
ගැනීමට සැලැස් වූහ.
එහි ප්‍රතිඵලය ලෙස අපට හිතකර පාංශු ජීවීන් විනාශ විය. අවට පරිසරයේ බොහෝ සතුන් වඳවී
යන්නට විය. අද රෝහල් පිරී ඉතිරී යන තරමට කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා පිළිකා,
වකුගඩු රෝග ආදී බෝනොවන රෝගීන් බහුල ය.
වස විස බව දැන දැනත් දැඩි තණ්හාව නිසාම ඇතැමෙක් වස විස අල්ලාගෙන ම සිටිති. බව බෝග
සරු කළ හැකි එකම මඟ එය පමණක් බව සිතා සිටිනතාක් මේ මිනිසුන් ද අර කටුවැල අල්ලාගෙන
සිටින මිනිසා හා සමාන ය. තමන්ට, තම දරු පැටවුන්ට වේදනාව ඉතිරි කරන බව දැන දැනත්
ඔවුහු එය අත් නොහරිති.
අනුන්ගේ බසට නොරැවටී විචාරශීලී වන්නට කාලය එළඹ ඇත. සෘජුව හෝ වක්‍ර ව මිනිසුන්ට වස
කැවීම, ප්‍රාණඝාතය බුදු දහමෙන් සපුරා ප්‍රතික්ෂේපිත ය. ජීවිතය මඟ දැන යා යුතු
ගමනකි. |