දිව්‍ය සම්පත් ලැබීමේ
වාසනාව හිමි වන හැටි
අස්ගිරි මහාවිහාරයෙහි මහෝපාධ්‍යාය,
කාරක සංඝ සභික,
වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක
මහාචාර්ය
තුඹුල්ලේ
ශ්‍රී සීලක්ඛන්ධ නාහිමි
මෙම ලිපියේ මුල්කොටස පසුගිය පොසොන් පෝදා පත්‍රයේ පළ විය
පෙර භවයෙහි ඇලුම් ඇති ව සිටි සුලසා සමඟ කම් සැප විඳුමට සිතා ඇය උපායකින් ගෙන්වා තම
වාස භවනයෙහි රඳවා දින හතක් ගත කොට පසු ව ඇයගේ ඉල්ලිම නිසා රුක්දෙවියා බුදුරජාණන්
වහන්සේ රජගහනුවර වේලුවනාරාමයෙහි දම් දෙසන අවස්ථාවේ දී එතැනට දෙදෙනාම පැමිණියා.
මේ අවස්ථාවේ එතැනට රැස් ව සිටි පිරිසට සුලසාව තමන් සමඟ සිටි රුක් දෙවියා පිළිබඳ
සියලු පුවත් පෙන්වා දුන්නා.
ඒ අවස්ථාවේ දී අර තරුණ, ධනයෙන් පිරිහී , දුක් සහිත දිවි ගෙවමින් සිටි සිටු පුත්‍රයා
මරණයට නියම ව වධකස්ථානයට ගෙන යද්දී සුලසාව ඔහු වෙත එවූ රසකැවිල්ල හදිසියේ තමා
ඉදිරියේ පහළ වූ මුගලන් මහරහතන් වහන්සේට පිදීමෙන් දුක්ඛිත ජීවිතයෙන් පහව රුක්
දෙවියෙක් බවට පත් වු පුවත පෙන්වා දුන්නා.
පළමු කාරණය තමා අසීමිත ධනය මුහුකුරා ගිය බුද්ධියක් නැති නූගත් අයකුට හිමි වුවොත්
ඔහු එය විනාශයට පත් කර ගන්නා ආකාරය. විශේෂයෙන් කම් සැප විඳීමින් නො හොබිනා ජිවිත ගත
කරමින් තමන් පිරහී අවසානයේ ජිවත් වන්නට පවා ක්‍රමයක් නැතිව මහමඟට වැටෙන ආකාරය මෙම
කථා පුවතින් මොනවට පැහැදිලි වෙනවා.
මේක තමා සැබැවින් ම ප්‍රේතාත්මය. දෙවැනිව අපි අපේ ජීවිතය පවත්වා ගෙන යාමේ දී
තාවකාලික ව මේ ගෙවන ජීවිතය අවසන් වනවිට ඊළඟ භවය සුවපත් කර ගන්නට නම් කෙතරම්
අරපරිස්සමෙන් පුණ්‍ය සහගත ජිවිතයකට හුරු විය යුතු ද? යන මේ කාරණය.
ඒ අනුව අවසාන චුති සිත ශක්තිමත් වන ආකාරයෙන් අකුසල් සිතිවිලිවලට ඒමට අවකාශ නො තබා
කුසල මනසිකාරයක් පවතින ආකාරයෙන් ජිවිතය හසුරුවා ගත යුතු බව. තෙවන කාරණය වන්නේ සුළු
දෙයක් වුව ද ගුණවත් සිල්වත් උතුමන්ට පිදීමෙන් ඒ පිළිබඳ පින් සිත් පහළ කර ගැනුමෙන්
ඊළග භවය සුවපත් කර ගත හැකි ආකාර ය. ඉතින් මේ කරුණු කීපය ම අපේ ජිවිතවලට අතිශයින් අද
දවසේ වැදගත් සේ බලපානවා.
ඒ වගේ ම මිහිඳු මාහිමියන් ලක්දිවට වැඩම කළ එ දවස වූව ද බෞද්ධාගමික වත් පිළිවෙත්
අනුව පින පව පිළිබඳ කරුණු ගැඹුරට නොගොස් සරල ලෙස වටහා ගැනීමට එවැනි කථා පුවත් හේතු
වන බව උන්වහන්සේ තේරුම් ගෙන සිටි බව ද පෙනී යනවා. මේ ආකාරයෙන් පේතවත්ථු කථා පනස්
එකක් එම දේශනාවන්හි දක්නට ලැබෙනවා.
ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ රජ ගෙදර දී ඊළගට දේශනා කළේ විමානවත්ථු කථා යි.
පේතවත්ථූ කථාවන්ට ප්‍රතිවිරුද්ධ අර්ථ ඇති දේශනාවන් එහි ඇතුළත් වෙනවා. ඉතින්
ප්‍රේතාත්ම ලබා සත්වයා දුක් විඳීන්නේ පාපකර්ම හෙවත් අකුසල ක්‍රියාවන්හි නිරත වීම
නිස යි. ඊට ලැබෙන්නේ දුක් විපාක කියන එක ඔප්පු කරන කථා සමුදාය පේතවත්ථු ලෙස පෙන්වා
දෙනවා.
පෙර අත්බැව්හි දී සුචරිතයෙහි යෙදීම නිසා ඊට විපාක වශයෙන් ඒ භවයෙන් ඉකුත්වීමත් සමඟ
විපාක වශයෙන් යොදුන්, දෙයොදුන් විමාන සහිත ව මහත් වූ දිව්‍යමය සැප සම්පත් ඇති
විමානයන්හි පහළ විමෙන් සැප විපාක ලබන බව පෙන්වන කථාපුවත් මීට ඇතුළත් වෙනවා.
මේ කථාවස්තුවල දක්වා තිබෙන්නේ දිව්‍යලෝක විස්තර, එහි සැප සම්පත් හා එවැනි සම්පත්
පරිභෝග කරන්නට තරම් වාසනා ගුණ ඇති වූයේ කුමන කුමන පින්කම් පෙර අත්බැවිහි කළ නිසා ද
යන ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් වගේ ම මුගලන් ආදි මහරහතන්
වහන්සේලා විසින් ද, ශක්‍රයා විසින් පෙන්වා දෙන තොරතුරු මෙම විමනාවත්ථු කථාවන්හි
දක්නට ලැබෙනවා.
එක දවසක් මුගලන් මහරහතන් වහන්සේට මෙබඳු සිතක් පහළ වුණා.”සමහරවිට මේ කාලයේ ජීවත්වන
ඇතැම් කෙනකුට මිල මුදල් වැය කරලා ලොකුවට පින් දහම් කර ගන්නට අවස්ථාව නැති වෙනවා.
හැබැයි එහෙම වුණත් එසේ අගහිඟ ඇති අය තමන්ගේ සිතේ ඇති ශ්‍රද්ධාව පෙරදැරි කරගෙන
තෙරුවන් සරණ ගොස් සිත් පහදවාගෙන කුසල් සිත් ඇති ව වාසය කර මිය ගිහින් දිව්‍ය ලෝකවල
පහළ වෙලා සැප සම්පත් බහුල ව විඳීන්නට අවස්ථාව උදා කර ගන්නවා.
ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබා ගෙන එසේ දිව්‍ය ලෝකවල උපත ලබා ඇති අය පිළිබඳ
විමසා දැන ගන්නට දිව්‍ය ලෝකවල සංචාරයක් කර ඔවුනොවුන් හමු වී සිත් පැහැදීමෙන් පමණක්
මත් දිව්‍ය සම්පත් විඳීන බව දැන කියා ගෙන ආපසු එන්නට අවශ්‍ය යි කියලා. ඒ විදියට ම
උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබා දිව්‍ය ලෝකවල සැරි සරා ඒ තොරතුරු සපයා
ගෙන වැඩමවා ඒ සියලු පුවත් බුදුරජාණන් වහන්සේට සැලකළා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ
තොරතුරු යම් යම් අවස්ථාවල ඒ ඒ පුද්ගලයාට ගැලපෙන ආකාරයෙන් දේශනා කර සිත් මාත්‍රයක්
පහදවා ගැනීමෙන් පමණක් කුසලසිතින් මිය ගිය විට දිව්‍ය ලෝකවල උපත ලබන ආකාරය නොයෙක්
අවස්ථාවල දේශනා කර තිබෙනවා. ඉතින් එවැනි කථාවස්තු 84 ක් මෙම විමානවත්ථු දේශනාවේ
ඇතුළත් වී තිබෙනවා.
එදා මිහිඳු මහරහතන් වහන්සේ මෙසේ පේතවත්ථු හා විමානවත්ථු දේශනා දෙවැනි දිනයෙහි ම
ලක්වැසි ජනතාවට දේශනා කරන්නට තරම් ඉක්මන් වූයේ මෙහි විසූ ජනතාව තුළ පවට බියක් ඇති
කර පිනට යොමු කිරීමට යි. ඒ තුළින් බුදු දහමේ මූලික ඉගැන්වීමක් වන ලෝක පාලක ධර්ම ලෙස
ද ගැනෙන හිරි ඔතප් යන කුසල සිතිවිලි ජනතාව තුළ තහවුරු කර ඒ වනවිට යම් යම් අකුසල
ගණයට ගැනෙන ආහාරය පිණිස මෙන් ම විනෝදය පිණිස සිදු කළ සත්ව දඩයම වැනි හිංසක
ක්‍රියාවන්ගෙන් ජනතාව දුරස්ථ කරලීමටත් උන්වහන්සේ මෙය අවස්ථාවක් කර ගන්නට ඇති. ඒ වගේ
ම තිරොකුඩ්ඪ පේතවත්ථු දේශනා වැනි ධර්ම කථා තළින් මළවුන් ඇදහීම වැනි නිෂ්ඵල මිත්‍යා
ඇදහීම්වලින් ජනතාව මුදවා සසර සත්වයා සිදු කරන විවිධ පාපකර්ම නිසා අපේ මළගිය ඥාතින්
ප්‍රේතාත්ම වැනි දුක්ඛිත අවස්ථාවන්ට පත් ව සිටී නම් කිසියම් සහනයක් ඔවුන්ට ලබා දීමේ
අරමුණෙන් මළගිය ඥාතීන්ට පින් දීම ත් එවැනි ක්‍රියාවන්ගෙන් ජනසමාජය තුළ කළගුණ
සැලකීම, කරුණාව, දයාව වැනි මානව ගුණධර්ම වපුරාලීමටත් මෙම දේශනා යොදා ගත් බව අපට
මෙහදී පැහැදිලි කරලා දෙන්නට පුළුවනි.
මේ සියල්ලෙන් ම මිහිඳු මාහිමියන් අපේක්ෂා කළේ ශ්‍රී ලංකාව තුළ අවිහිංසක සුචරිතවත්
සමාජයක් ගොඩනැඟීම යි. |