ගිහි ගෙදර
ගිනි ගෙයක් ද?
මහව, උඩගම ශ්‍රී ඉන්දසුමන මහ පිරිවෙන්හි ප්‍රවීණාචාර්ය,
ප්‍රවචන කීර්ති ශ්‍රී ලේඛණ
ශාස්ත්‍රී
ගලගෙදර රතනවංස හිමි
ජවො ජවාය සද්ධිං සංවස්සති - ජවෝ දේවියා සද්ධිං සංවස්සති
දේවෝ ජවාය සද්ධිං සංවස්සති - දේවෝ දේවියා සද්ධිං සංවස්සති.
තමහට රිසි, නොරිසි කර ගන්නේ තමන් ම ය. අනෙකෙක් අන් කෙනකු රිසි හෝ නොරිසි නො කෙරේ.
ආදි වශයෙන් විවිධ තැන්හි අඹුසැමියන් ලෙස ජීවත් වීමේ එහි ක්‍රමවේදය හා පිළිවෙළ
පිළිබඳ සඳහන් වේ.
අද ලෝකය ගත් කල්හි ප්‍රශ්න ජාලාවක තෝතැන්නක් බවට පත් වී හමාර ය. ඒ අතර ජීවත් වන
නිවෙස් ද ගිනි ගෙවල් බවට පත්වී ඇත. “අන්තෝ ජටා බහි ජටා” ඇතුළත් ප්‍රශ්නය. පිටතත්
ප්‍රශ්නය මිනිසුන් ප්‍රශ්න තුළ නිමග්නව අන්ත අසරණ දුක්වලට පත් වී ඇත.
ම.නි. ඕපම්ම වග්ගයට අයත් වම්මික සූත්‍රය තුළින් රාත්‍රියට දුම් දමන, දහවලට ගිනි
ගන්න තුඹසක් පිළිබඳ දේශනා කොට ඇත්තේ ද උපමා ස්වරූපයෙන් හෝ මිනිසුන්ගේ මනෝ භාවයන් හා
ජීවන රටාවන් පිළිබඳ හුවා දැක්වීමට ය.
ලෝකය ලස්සන වන්නේ නිරවුල් හා සාමකාමී පවුල් සංස්ථා එක් වූ විට ය. ජීවිතයක ප්‍රධානම
කඩඉමක් වන්නේ ද අඹු සැමියන් වශයෙන් පවුල් සංස්ථාව ගොඩ නැඟීම තුළිනි. එය අන්‍යොන්‍ය
බැඳීමක් හා විශ්වාසයක් මත පවතින්නක් විය යුතු ය. ඒ සඳහා බුද්ධ දේශනය ඉතාම වැදගත්
වේ. බුදුරජාණන් වහන්සේ ලස්සන පවුල් සංස්ථාවක් උදෙසා මඟ කියූ ශාස්තෘවරයෙකි.
උන්වහන්සේගේ දේශනයන් තුළින් සැබෑ අඹු සැමියන් කවුරුන් ද යන වග පැහැදිලි වේ.
තම පවුල් ජීවිතය ලස්සන හෝ අවලස්සන වන්නේ අනුන් නිසා නොව තමන් විසින් ය. ඒ බව
සිරිකාලකණ්ණි ජාතකය තුළින් ද පැහැදිලි වේ.
ජීවිතය වර්තමානය තුළ පවතින්නක් බව සිතන්නෝ ඉතා සීමිත ය. බොහෝ දෙනෙක් අතීතය හා
අනාගතය තුළ සිර වී දුක් විඳිති. අතීතය ගැන දුක් වීමත්, අනාගතය ගැන සිහින මැවීමත්
හේතුවෙන් පැන නැඟෙන්නේ මොහොතින් මොහොත අතෘප්තිය, අසහනය වැනි මානසික පීඩාවන් ය.
තේමිය ජාතකය ඊට හොඳම උදාහරණයක් ලෙස දැක්වීමට පුළුවන. ඒ ඒ පුද්ගලයාගේ මනෝභාවයන් අනුව
තම පවුල් ජීවිතය දිව්‍ය ලෝකයක් හෝ අපායක් වනු ඇත.
බුද්ධ දේශනයට අනුව සැබෑ අඹු සැමි යුවල වන්නේ සම සම ව ගුණ ධර්ම පිහිටීම තුළිනි.
ලෝකයේ විවිධ පවුල් සංස්ථා ඇති අතර සෑම පවුලක් ම සැබෑ පවුලක් නොවනු ඇත. අ.නි. ්
සාරාණිය වර්ගයට අයත් සංවාස සූත්‍රය තුළින් බුදුරජාණන් වහන්සේ පවුල් සංස්ථා හතරක්
පිළිබඳ දේශනා කොට ඇත. එනම්,
මෙයින් පළමු පවුල වන්නේ මළ පෙරේතයෙක් මළ පෙරේතියක් සමඟ ජීවත් වන පවුලයි. එනම්
ස්වාමියා බිරිඳ යන දෙදෙනා තුළම ගුණධර්ම නොමැති බවයි. දෙවැනි පවුල වන්නේ මළ
පෙරේතයෙක් දෙවඟනක් සමඟ ජීවත්වන පවුලයි. එම පවුලේ ස්වාමියා තුළ ගුණ ධර්ම නොමැති අතර
බිරිඳ තුළ ගුණ ධර්ම පවතී. තෙවැනි පවුල හැටියට සැලකෙන්නේ දෙවියෙක් මළ පෙරේතියක් සමඟ
ජීවත් වන පවුලයි. එම පවුලේ ස්වාමියා තුළ ගුණ ධර්ම පවතින අතර, බිරිඳ තුළ ගුණ ධර්ම
නොපවතී. ඉහතින් මතක් කළ පවුල් වර්ග තුනම සැබෑ පවුල් සංස්ථාවට අයත් නොවනු ඇත.
සිව්වැනි පවුල වශයෙන් සැලකෙන්නේ “දේවෝ දේවියා සද්ධිං සංවසති” යන පවුලයි. එනම්
දිව්‍ය කුමාරයෙක් දිව්‍ය කුමාරියක් සමඟ ජීවත් වීමයි. බුදු දහමට අනුව සැබෑ
අඹුසැමියන් වන්නේ එම පවුලයි. එයට හේතුව වන්නේ ඔවුන් දෙදෙනා තුළම ගුණ ධර්ම සම සම ව
පැවතීමයි. ඒ සඳහා හොඳම උදාහරණයක් ලෙස අංගුත්තර නිකායේ සාරාණිය වර්ගයේම “නකුල පිතු”
සූත්‍රය පෙන්වා දීමට පුළුවන. නකුල යනු එම දෙපළගේ පුතනුවන්ගේ නම ය. ඒ අනුව මව්පියනට
නකුල මාතා නකුල පිතා කියා නම් ව්‍යවහාර විය. එම දෙපළ ශ්‍රද්ධා, ශීල, ත්‍යාග, ප්‍රඥා
යන ගුණ ධර්ම සම සමව පවත්වාගෙන ගිය දෙපළකි. විවාහ ජීවිතය ඉතා සාර්ථක ව දිව්‍ය විමනක
ජීවත් වන්නන් ලෙසින් මනෝ භාවයන් හසුරුවා ගත්හ. වර්තමාන අඹුසැමියන් ද ඔවුන්ගේ චරිත
කතාව කියවීම පවුල් ජීවිතය ලස්සන කර ගැනීමට මහඟු පිටුවහලක් වන්නේ ය.
සැබෑ අඹුසැමියන් තුළ අන්‍යොන්‍ය බව තහවුරු වන්නේ යුතුකම් හා වගකීම් මත ය. එසේ
නොමැති වුවහොත් ඉහතින් මතක් කළ ප්‍රේත පවුල් සංස්ථාවන් ගොඩනැඟෙනු ඇත. ඒ අනුව දි.
නි. සිඟාලෝවාද සූත්‍රය තුළින් පෙන්වා දෙන එම අඹු සැමි යුතුකම් අද සමාජයට බෙහෙවින්ම
බලපානු ඇත. ඒ අනුව අඹුසැමි සබඳතාවය ආචාර සම්පන්න ව සකස් විය යුත්තක් බව තහවුරු වේ.
ස්වාමියා විසින් බිරිඳ කෙරෙහි දැක්විය යුතු ආකල්පය වන්නේ, අවමන් නොකිරීම, ගරු සරු
ලෙස කතා කිරීම, සම්පත් පැවරීම, වස්ත්‍රාභරණ ගෙනැවිත් දීම, පර ස්ත්‍රී සේවනය නොකිරීම
ය.
එසේ ස්වාමියා විසින් යුතුකම් ඉටුකරන කල්හි ස්වාමියාට කරුණු පහකින් සංග්‍රහ කිරීමට
බිරිඳ සැදී පැහැදී සිටී. ඒ අනුව කටයුතු මැනවින් සංවිධානය කිරීම, පිරිවර ජනයාට
සංග්‍රහ කිරීම, සම්පත් ආරක්ෂා කිරීම, සියලු කටයුතුවලට අලස නොවීම, පර පුරුෂයන් සේවනය
නොකිරීම ය.
ඉහත කරුණු ස්වාමි භාර්යා සම්බන්ධය හොඳින් පවත්වාගෙන යාම උදෙසා ඉවහල් වනු ඇත. “පුත්ත
දාරා දිසා පච්චා” යනුවෙන් ඔවුන් දෙපළ බටහිර දිසාවට සම්බන්ධ කොට ඇත. පවුල් සංස්ථාවේ
ප්‍රධාන බල කණු දෙක වන්නේ ස්වාමියා හා බිරිඳයි. ඔවුන්ගේ සුසංයෝගයෙන් නිර්මාණය වන්නේ
පවුලයි. එම පවුල සැබෑ පවුලක් කරගනු වස් ඒ සම්බන්ධ ව ඇති බුද්ධ දේශිත කරුණු අනුගමනය
කිරීම ඉතා වැදගත් වේ.
සැබෑ ලෙස පවුල් සංස්ථාවක් පවත්වාගෙන යන අයට සක් දෙවිඳු පවා නමස්කාර කරනු ඇත. ස.නි.
සක්ක සංයුක්තයේ සක්කනමස්සන සූත්‍රය තුළින් සඳහන් කර ඇත්තේ එම කාරණයයි.
යේ ගහට්ඨා පුඤ්ඤකරා -
සීලවන්තා උපාසිකා
ධම්මේන දාරං පොසෙන්ති -
තෙ නමස්සාමි මාතලී
එම ගාථා ධර්මයට අනුව පැහැදිලි වන්නේ පින් කරන, සිල් රකින, දැහැමින් අඹු දරු රකින
ඇත්තන්ට සක්‍ර දේවේන්ද්‍රයාගේ පවා නමස්කාරය හිමි වන බවයි.
ඉහත කරුණු පිළිබඳ අවධානය යොමු කොට සැබෑ පවුල් සංස්ථාවක් ගත කිරීමට ගිහි පක්ෂයට අයත්
අඹු සැමියන් හිතට ගත යුතු ය. එය පවුලක උන්නතියටත්, දූ දරුවන්ගේ අභිවෘද්ධියටත් හේතු
වේ.
තම නිවස දෙව් භවනක් සේ හාත්පස සුවඳවත් කරවීමට සැබෑ පවුල් ජීවිතය සෘජුව හේතු වන
බැවින් ඉහත කී ගුණධර්ම පිළිබඳ අවධානය යොමු කොට ඒවා ප්‍රායෝගික ජීවිතයේ දී ප්‍රගුණ
කොට සුවඳවත් පවුල් ජීවිතයක් ගත කිරීමට සැවොම අධිෂ්ඨාන කර ගනිත්වායි පතනෙමි. |