හෙළ කලා කෘතිවලින් කියැවෙන බුදු දහමෙහි
ගැඹුරු දහම් සංකල්ප
රාජකීය පණ්ඩිත,
ගෞරව ශාස්ත්‍රවේදී ශාස්ත්‍රපති
ලේල්ඔයේ සෝභිත හිමි
ස්තූපය තුළින් සංකේතවත් වනුයේ නිර්වාණ මාර්ගය බැවින් එම කලා කෘතිය මඟින් බුදු දහමේ
අග්‍රතම සදාචාරාත්මක බවෙහි උත්කෘෂ්ටතම ඵලය වන නිර්වාණය පිළිබඳ අදහසක් ඉදිරිපත් වේ.
එසේම, සඳකඩපහණ තුළින් ද සසර ගමන පිළිබඳ ගැඹුරු දර්ශනයක් ඉදිරිපත් කරන අතර සඳකඩපහණ
මැඳ පිහිටි නෙළුම් මලින් හා විහාරයට ඇතුළු වන දොරටුවෙහි ඉහළින් ඇති මකර තොරණ තුළින්
සංකේතවත් වනුයේ එම පූජනීය ස්ථානයට ඇතුල්වීමට පෙර තමාගේ බාහිර ශරීරය පිරිසිදු කර
ගැනීමයි.
එසේම බොහෝ පූජනීය ස්ථානවල සඳකඩ පහණින් පසු දැකිය හැකි පියගැටපෙළ පහක් නිර්මාණය කර
තිබීමෙන් සංකේතවත් වනුයේ, බාහිර ශරීරයේ පිරිසිදු බව මෙන්ම අභ්‍යන්තර සිතෙහි
පිරිසිදුකම හෙවත් ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය සඳහා පංචසීලය සමාදන් වීම නිරූපණය කිරීම
බව සැලකේ. ඒ අනුව, සීලය යනු අභ්‍යන්තර පාරිශුද්ධත්වය හෙවත් සිතෙහි ඇතිකර ගන්නා පරම
පිවිතුරු බවයි.
එමෙන්ම ඔවුහු තම ජීවිතයත් සමඟ ලොව අනියත බව මෙන්ම ඝෝර සසරෙහි ස්වභාවය හා බියකරු බව
නිරතුරුවම සිහිපත් කළහ. එබැවින් ඔවුන් ස්තූපය, සඳකඩ පහණ, ධර්මචක්‍රය වැනි මෙවැනි
හෙළ කලා කෘති තුළින් ලොව පවත්නා පොදු ධර්මතාවයන් නිර්මාණාත්මක ව ඉදිරිපත් කළහ. ඒ
අනුව ස්තූපයෙන් ප්‍රකාශිත වනුයේ සියලු බොදුනුවන්ගේ ම ඒකායන අරමුණ වන නිර්වාණ මාර්ගය
වන අතර සඳකඩ පහණින් සංසාර චක්‍රය හෙවත් භව චක්‍රය සංකේතවත් කරයි.
ධර්ම චක්‍රයෙන් ලොව සෑම තැනම පවත්නා අටලෝ දහම සංකේතවත් කරනු ලබයි. එසේම ඒ අටලෝ දහම
නිරතුරු පෙරළෙමින් චක්‍රයක් මෙන් ජීවිතය නමැති වාහනයට සම්බන්ධ වන අයුරු අප හට මනාව
ඒ තුළින් උගන්වයි.
කොළ පැහැති වන රොද උඩින් නිල්වන් අහස්ගැබ කරා විහිදුණ සුදෝසුදු කොත් කැරැල්ල සහිත
දාගැබක උපරිභාගය ඈත තියා දකින සැදැහැවත් බෞද්ධයන්ගේ හදවත් ශ්‍රද්ධාවෙන් පිරී ඉතිරී
යයි. ඔවුන්ගේ මුවගින් නිතැතින් ‘සාධු සාධු’ හඬ නික්මෙයි. ඉතා චාම් වූත්, සමමිතික
වූත්, කලාත්මක වූත් දාගැබක දර්ශනය අබෞද්ධයන්ගේ පවා සිත් සතන් සතුටු කරවන්නකි.
ලක්දිව වඩාත් ජනප්‍රිය වී ඇත්තේ බුබ්බුලාකාර හා ඝණ්ඨාකාර දාගැබ් ය. විශේෂයෙන් ම
ගර්භයේ හැඩය අනුව, ස්තූප ප්‍රධාන වර්ග කිහිපයකට මෙලෙස වර්ගීකරණය කළ හැකි ය.
තණකොළ අග රැඳි පිනි බිඳක් වැනි ජීවිතය තවත් විටෙක දිය දහරක උපන් දිය බුබුලකි.
එබැවින් බුබ්බුලාකාර චෛත්‍ය ආකෘති තුළින් ලොව අනිත්‍යතාවය ප්‍රකාශ වේ.
එමෙන්ම ඝණ්ඨාවක හැඩයේ ස්තූපවලින් ඉගැන්වෙනුයේ ඝාණ්ඨාවක් නාද කිරීමෙන් නිකුත් වන
ශබ්දය ක්‍රම ක්‍රමයෙන් අඩු වී ගොස් නැති වී යන්නාක් මෙන් අපේ ජීවිතයේ ආයුෂ ද
ක්‍රමක්‍රමයෙන් අඩු වී ගොස් නැති වී යන බවයි.
එසේම ධාන්‍යාකාර හෙවත් වී ගොඩක හැඩයේ ස්තූප තුළින් ද ජීවිතය ක්‍රමක්‍රමයෙන් ගෙවී යන
අයුරු ඉගැන්වෙයි. එය වී අටුවෙහි ඇති අස්වැන්න ක්‍රමක්‍රමයෙන් ගෙවී අවසන් වන්නාක්
මෙනි.
තවද ඝඨාකාර හෙවත් මැටි කළයක හැඩයේ ස්තූප තුළින් ඉගැන්වෙනුයේ මැටි කළයක් බිම වැටුණු
කළ එසැණින් සුණු විසුණු වී යන්නාක් මෙන් අප ශරීරය ද වහා සිඳෙන බිඳෙන ස්වභාවයෙන්
යුක්ත වන බවයි.
පද්මාකාර හෙවත් නෙළුම් මලක හැඩයේ ස්තූප තුළින් ප්‍රකාශ වනුයේ ද පෙරදිග දිශාවෙන්
උදෑසන උදාවන සූර්යයාට අවනත වී විකසිත වූ පුෂ්පයෝ නැවතත් සූර්යයාට අවනත ව සන්ධ්‍යා
කාලයේ පරවී යමින් අපහට පසක් කරන ලොව අනියත බවයි.
එසේම ලොව පවතින සියලු රසයන් එක් කළ ආමලාකාර හෙවත් නෙල්ලි ගෙඩියක හැඩයේ ස්තූප තුළින්
ලොව පවතින අටලෝ දහම සංකේතවත් කරන අතර, ලෝකය හා ජීවිතය පිළිබඳ යථාවබෝධය ද එමඟින්
අපහට පහදා දෙයි.
මෙසේ ලොව්තුරා බුදුරදුන්ගේ ජීවිතය ද අනිත්‍ය බව විදහා පාමින් උන් වහන්සේගේ ශාරිරික
ධාතුන් වහන්සේ නිධන් කොට නිර්මාණය කරනු ලබන චෛත්‍යය වුව ද බොහෝ දුරට නිර්මාණය
කෙරෙනුයේ අනිත්‍යතාවය සංකේතවත් කරන දිය බුබුලක ස්වරූපයෙනි.
තවද මුනි පුදට රැගෙන යන සුවඳීන් සුවඳවත් වූ වර්ණයෙන් වර්ණවත් වූ මල් පූජා කිරීමේ දී
ප්‍රකාශ කරන ලද “පුප්ඵං මිලායාති යථා ඉදං මේ - කායෝ තථා යාති විනාස භාවං” යන ගාථා
ධර්මයෙන් ද ජීවිතයේ අනියත බව සිහිගන්වයි. එහි සරලාර්ථය වනුයේ “මවිසින් පුදන මේ
පුෂ්පය යම් හෙයකින් මැලවීමට පත් වන්නේ යම් සේ ද, එපරිද්දෙන් ම මේ මාගේ ශරීරය ද
විනාශ ස්වභාවයට පත්වන්නේ ය” යන්නයි.
එහෙත් අද අප මල් ටිකක් රැගෙන ගොස් බුදුරජාණන් වහන්සේ උදෙසා බුද්ධප්‍රතිමා වහන්සේ
අභියස පූජා කළ මුත් එම ගාථාවෙහි අර්ථය දැන ඉගෙන මල් පුදන්නන් බොහෝ විරල ය.
එසේම අප ආදි මුතුන් මිත්තන් ගැයූ ජනකවි සාහිත්‍යය හා බෞද්ධ ගීත සාහිත්‍යය තුළින් ද
ඔවුන් මරණය හා ලොව අනිත්‍යතාවය පිළිබඳ හසල අවබෝධයක් ඇතිව ජීවත් වූවන් බවට සාක්‍ෂි
දරයි.
එසේම වැසිකිලි හා කැසිකිලි වැනි ස්ථාන සඳහා ඉතා විසිතුරු මාලාකර්ම හා ලතාකර්ම යෙදීම
තුළ ද අනිත්‍යතාවය සංකේතවත් කොට තිබේ. එමෙන්ම තණ්හාව දැක්වීම සඳහා ඉතා විසිතුරු
ලියවැලක් දක්වා, එහි අවසානය හෙවත් කෙළවර මකරකුගේ කටින් අවසන් වීම නිරූපණය කොට
ඇත්තේ, තෘෂ්ණාවේ කෙළවර මහත් දුක්ඛිත තත්ත්වයක් හෙවත් දුක් සහගත අවස්ථාවක් ලෙස
නිරූපණය කිරීම සඳහා ය.
තවද, වාමන රූප හෙවත් බහිරව රූපවලින් සංකේතවත් කොට ඇත්තේ කෙලෙස් බරින් ජීවත්වීම තුළ,
සසර ඉතා වෙහෙසකර එකක් බව නිරූපණය කිරීම සඳහා වන අතර, එවැනි බහිරව රූප බොහෝදුරට
නිර්මාණය කොට ඇත්තේ විශාල ගොඩනැඟිල්ලක් ඉතා අපහසුවෙන් උසුලා සිටින පිරිසක් ලෙසිනි.
මේ අනුව කෙලෙස් බරිත සත්වයා ඒ තුළින් සංකේතවත් කර ඇති බව ඒ පිළිබඳව මනාව පරීක්‍ෂා
කර බැලීමේ දී අපහට අවබෝධ වේ.
බොහෝ ජනකාව්‍ය තුළින් අපට ආදි මුතුන් මිත්තන් සතුව පැවැති ජීවිතය පිළිබඳව, ලෝකය
පිළිබඳව හා සංසාර ගමන පිළිබඳව පැවති ජීවිත පරිඥානය කොතරම් වූවක් ද යන්න සක්සුදක් සේ
මනාව පැහැදිලි කරයි. එහෙත් අද අපට දවසින් දවස මෙන්ම මොහොතින් මොහොත නොයෙක් විෂමාචාර
අපරාධ කටයුතු සිදුකරමින් ජීවත් වන්නවුන් වැඩිවනු දැකීමට හැකි වී ඇත්තේ අපේ සිංහල
බෞද්ධ සංස්කෘතියේ තේමා පාඨය වූ “ගමයි - පන්සලයි, වැවයි - දාගැබයි, නිල් ගොයමයි - කහ
සිවුරයි” යන සංකල්පය බෞද්ධ හදවත් තුළින් ඉවත් වී, පන්සලත් සමඟ ඈත් වීමේ ප්‍රතිඵලයක්
ලෙසිනි.
එසේම කුඩා කල තම පන්සල මුල් කරගෙන ලැබූ දහම් අධ්‍යාපනය වෙනුවට තරගකාරී වෛරී සහගත
අධ්‍යාපන ක්‍රමවේදය තුළින් ද අප හුදෙක් වෙහෙසට පත්වූවන් පමණක් සිදුකොට තිබෙනු දැක
ගත හැකි ය.
ඒ අනුව අප කුඩා කල සිටම ගුණවත්කම්වලට ඇගයීමක් ලබා නොදී නැණවත්කම්වලට පමණක් මුල්
තැනක් මෙන්ම විශේෂත්වයක් දක්වමින් ජීවත් වීම නිසාත්, මරණය පිළිබඳ සිහි නොකරමින්
නොමැරෙන පුද්ගලයන් ලෙස සදාකල් ජීවත් වීමට යාම තුළ බොහෝ සෙයින් විවිධ සමාජමය ගැටුම්
ද නිර්මාණය වී තිබෙනු දැකිය හැකි ය. |