ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගෙවන්නට නම්...
අත්තනගල්ල රාජමහා විහාරවාසී,
රාජකීය පණ්ඩිත
දෙහිගම යසස්සි හිමි
"
අධාර්මික ව ජීවත් වන බොහෝ පිරිස් තමා කළ කී දෙය ගැන පසුතැවිල්ලට පත් වෙති.
ජීවිතයෙහි අවසාන කල පසුතැවිල්ල බිහිසුණු ය. එවිට සිහිය මුළාවට පත් වේ. එය ඊළඟ භවයට
නරක විය හැකි ය. "
දිගු සසර ගමනේ ගමන් කරන අප සැවොම මිනිස් ආත්මයක උපදින්නේ පූර්වයේ කළ පිනකට ය. එම
වටිනාකම නො හඳුනන බොහෝ පිරිස් වෙති. අයහපත් දේ තම ජීවිතයට රැගෙන විනාශ වෙන පිරිස්
ගැන ද අපට අසන්නට ලැබේ. අප කරන වැරදි, අයහපත් දේ නිසා පසුතැවීමට සිදුවන අවස්ථා බහුල
ය.
උසස් ජීවිතයක් ගත නො කිරීමෙන්, යෞවනයෙහි ධනය නො ලබයි. එවිට මසුන් නැති විලෙක අහරක්
නොමැතිව මඩෙහි සිටින මහලු කොස්වාලිහිණියකු සේ පසුතැවීමට සිදු වෙයි.
බුදුපියාණන් වහන්සේ මේ ගාථාර්ථය දේශනා කළේ අසූ කෝටියක් ධනය තිබූ තරුණ යුවළක් එම
ධනයෙන් විනෝද වෙමින්, කමින් බොමින් ජීවත් වී අවසානයෙහි ධනය අවසන් වූ කල්හි මහලු
වියේ දී යාචකයන් බවට පත්ව ජේතවනාරාමයට ගිය අවස්ථාවක දී ඔවුන්ගේ ජීවිතය අරමුණු කරගෙන
ය.
මෙම ගාථාවෙන් ඉස්මතු කෙරෙන සාරාර්ථය නූතන ඇතැම් සුඛෝපභෝගී ජීවිත ගත කරන අයගේ මෙන්ම
අධාර්මික ව ජීවත් වෙන අයගේ වුවත් දෑස් දල්වන්නට හේතු වේ.
පරලොවක් ගැන නො සිතා මිනිස් බව හා සැප සම්පත් පූර්ව පිනෙන් ආ බව නො සිතා කර්මය සිහි
නො කර සිහිමුළා ව ගෙවන්නෝ මහලු කල තම ජීවිතය ගැන සිතා මහලු කොස්වාලිහිණියන් සේ දුකට
පසුතැවිල්ලට පත්වෙති. මෙසේ පසුතැවිල්ලට පත්වන අවස්ථා දහයක් පිළිබඳ ජනසන්ධ ජාතකයෙහි
දැක්වෙයි.
තරුණ කල ධනය අනිසි ලෙස පරිභෝජනය කර වයසට ගිය පසු වියදම් කිරීමට ධනය නොමැති බැවින්
පසුතැවිල්ලට පාත්‍ර වීම.
ළමා කාලයෙහි ශිල්ප ශාස්ත්‍ර ඉගෙන නො ගෙන උදාසීන ව හිඳ, ශාස්ත්‍ර ඉගෙනගෙන සැප විඳින
අය දෙස බලා පසුතැවිල්ලට ලක් වීම.
බොරුවෙන්, වංචාවෙන්, අල්ලසින් අධාර්මික ව ජීවත් ව මරණාසන්න කල තමා කළ දේ ගැන
සිහිපත් කර මරණ මංචකයේ දී පසුතැවිල්ලට පත් වීම.
ප්‍රාණඝාත කරමින්, අනුන් සතු දෑ කඩා වඩා ගනිමින් ජීවත් ව මරණාසන්න මොහොතේ මරණින්
මතු අපට කුමක් වේදෝදැයි සිතමින් පසුතැවිලිවීම.
අනිසි කම් සැප සොයා ගොස් පරදාර සේවනයෙහි හිඳ ජීවත්ව මරණාසන්න මොහොතේ ඒ ගැන
දුක්වෙමින් පසුතැවිල්ලට භාජනය වීම.
බොහෝ භව භෝග ධනය තිබී ඒවා දනකට පිනකට නො යොදා ජීවත්ව අවසන් කාලයේ දන් පින් කරමින්
සැනසෙන අය දෙස බලා දුකට පත් වීම.
මව්පියන්ට නො සලකා හැර තමන් වයසට ගිය පසු තම මව්පියන්ට උපස්ථාන නො කළේ යැයි සිහි වී
පසුතැවිල්ලට පත් වීම.
තමන් කෙරෙහි පිය සෙනෙහසෙන්, හොඳ දේ කියා දෙන පියකු හා සමාන පුද්ගලයන්ගේ අවවාද නො
සලකා හැරීම නිසා පසුකාලීන ව පශ්චාත්තාපයට පැමිණීම.
ශ්‍රමණ බ්‍රාහ්මණාදීන්ට කළ යුතු දාන මානාදිය නොදී ඔවුන් විවේචනය කොට ජීවත් වී
මරණාසන්න ව තමා කළ වැරැදි සිහිපත් වී පසුතැවිලි වීම හා සිල්වතුන් වෙත, ගුණවතුන් වෙත
නො ගොස් ඔවුන්ගේ අවවාද අනුශාසනා නොලබා හිතුමතේ ජීවත් වී මරණාසන්නයෙහි ඒ ගැන සිතා
පසුතැවිලි වීම ය.
මෙලෙස අධාර්මික ව ජීවත් වන බොහෝ පිරිස් තමා කළ කී දෙය ගැන පසුතැවිල්ලට පත් වෙති.
ජීවිතයෙහි අවසාන කල පසුතැවිල්ල බිහිසුණු ය. එවිට සිහිය මුළාවට පත් වේ. එය ඊළඟ භවයට
නරක විය හැකි ය. එබැවින් මෙම පසුතැවිලිවීමට හේතු කරුණුවලින් මිදී ජීවිතය අර්ථවවත්
කර ගැනීමට හැමදෙනාම කල්පනා කර ගත යුතු ය. |