ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන් වහන්සේ
ආරක්ෂා කරන
පරිවාර බෝධීන් වහන්සේ
ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් සමඟ බෝ මලුවේ පරිවාර බෝධීන් වහන්සේ හැත්තෑවක් වර්තමානයේ
පවතින බව ඔබ විශ්වාස කරන්නේ ද? බෝ මලුවේ තේවාවන් භාරව කටයුතු කර වසර හතළිහකට වඩා
අත්දැකීම් ඇති වර්තමාන ලංකාරාමාධිකාරී උතුරුමධ්‍යම දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
රැළපනාවේ ධම්මජෝති නාහිමියෝ බෝධීන් වහන්සේලා ගැනත්, එහි අංකුර ලබා ගන්නා හැටි හා
මහබෝධියේ ආරක්ෂාව තහවුරු කරන හැටි ගැනත් සැඟවුණු තොරතුරු රැසක් හෙළිකළ අයුරුයි මේ.
‘‘ජය ශී‍්‍ර මහා බෝධී රෝපණ උත්සවයේ දී හටගත් එක් ඵලයකින් අංකුර අටක් ද තවත් ඵල
හතරකින් හටගත් අංකුර 32ක් ද යන අටඵල බෝ රුහ බෝධී සහ දෙතිස්ඵලරුහ බෝධී දිවයිනේ බොහෝ
විහාරාරාමයන්හි රෝපණය කර ඇත.
මෙසේ රෝපණයකර ඇති ස්ථාන පොදුවේ හඳුන්වනු ලබන්නේ බෝධි මලු වශයෙනි. ජය ශ්‍රී මහා
බෝධීන් වහන්සේ වැඩවසන පින්බිමත් බොහෝ කාලයක පටන් බෝ මලුව ලෙස හඳුන්වනු ලබයි. අදටත්
මෙම ස්ථානය හඳුන්වනු ලබන්නේ බෝමලුව පන්සල ලෙසටයි. මෙහි වැඩසිටින සංඝරත්නය බෝමලු
පරම්පරාවේ භින්ෂූන් වහන්සේ ලෙස හඳුන්වනු ලබයි.
අටමස්ථානාධිපති පදවිය දරන හිමියන් අනිවාර්යයෙන්ම බෝමලුව පන්සලේ වැඩසිටිය යුතු වේ.
එයට ප්‍රධාන හේතුව ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේ අනෙකුත් ස්ථානයන්ට වඩා සුවිශේෂ වන
බැවිනි. ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේට ජීවයක් ඇත. උන්වහන්සේ අව්, වැසි, සුළං මැද
වැඩ වෙසෙති. ඊට රිලා, වඳුරු,වවුල්,ගිරා,කොට්ටෝරු වැනි සතා සිවුපාවුන්ගෙන් උවදුරු
සිදුවිය හැක. මෙබඳු විපත් ඇතිවුවහොත් සොයා බලා ආරක්ෂා කර ගැනීමේ වගකීම
අටමස්ථානාධිපතින් වහන්සේ මත පැවරි ඇති බැවිනි. නිදසුනක් වශයෙන් 1994 ඔක්තෝබර් 10
වැනි දා ඇතිවූ සුළිකුණාටුව පෙන්වාදිය හැකි ය. මේ අවස්ථාවේ බෝධීන් වහන්සේගේ නැඟෙනහිර
දිසාවට (බුදුමැදුර දෙසට) බරව තිබූ ශාඛාවට හානියක් ඇතිවිය. එම අවස්ථාවේ
අටමස්ථානාධිපති ව වැඩ සිටි පල්ලේගම ඤාණරතන නාහිමියෝ පේරාදෙනිය උද්භිද උද්‍යානයේ
උද්භිද විද්‍යාඥ භාතිය සුමිත්‍රාරච්චි මහතාට වහා දැනුම් දී ගෙන්වාගෙන , ප්‍රතිකර්ම
කොට බෝධීන් වහන්සේ ආරක්ෂා කරගත් හ.
එවකට තේවාව භාරව සිටි මාගේ ද කපු මහත්වරුන්ගේ ද , විහාරස්ථානයේ ගිහි පැවිදි සැමගේ ද
, අනුරාධපුර දුම්රිය ස්ථානයේ සේවක මහතුන්ගේ ද සහාය ඒ සඳහා වැදගත් විය. වර්තමාන
අටමස්ථානාධිපති සිරිනිවාස නාහිමියන් ද ඇතැම් අවස්ථාවල ජිවිතය පරදුවට තබා මේ
ආකාරයෙන් ම බොධීන්වහන්සේ ආරක්ෂාකරගෙන ඇත.
අටමස්ථානාධිපති හිමියන්ගේ නිත්‍ය වාසය බෝ මලුව පන්සල බැවින් ඈත අතීතයේ සිට
උන්වහන්සේ හඳුන්වා ඇත්තේ බෝමලුවේ තෙරුන් වහන්සේ නමිනි.
ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ වැඩසිටින භූමියට පිවිසෙන විට එහි රෝපණය කර ඇති විවිධ
මට්ටමේ බෝධීන් වහන්සේලා දැකිය හැක. බුදු ගේ මලුවේත් පහත වැලි මලුවේත් බෝධීන්
වහන්සේලා පනස් දෙනමකි. පිටත ප්‍රාකාරයේ අටනමකුත්, දේවාල වැලි මලුවේ තුන් නමකුත්,
දෙවන රන්වැට මලුවේ පස්නමකුත්, පළමු රන්වැට මලුවේ දෙනමකුත් වශයෙන් පරිවාර බෝධීන්
වහන්සේ දිස්වේ.
වරින්වර මේ වැලි මලු අතර බොධීන් වහන්සේලා රෝපණය කර ඇති බව පෙනේ. දිරාපත්වීමෙන් හෝ
සුළඟින් බෝධින් වහන්සේ නමකට අනතුරක් සිදුවුවහොත් එම ස්ථානවල අලුතින් බෝධීන්
වහන්සේලා රෝපණය කළ යුතු ය.ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේ කේන්ද්‍ර කරගෙන මෙතරම්
සංඛ්‍යාවක් පරිවාර බෝධීන් වහන්සේලා රෝපණය කර ඇත්තේ දුරදක්නා නුවණින් එහි ආරක්ෂාව
සඳහා දීර්ඝ කාලයක සිට ය.හමා එන තද සුළඟක වේගය අඩුකර වෙනත් දිසාවකට යොමුකිරීමෙන් ජය
ශී‍්‍ර මහා බෝධියේ ගැටීම අවම කිරීම මෙහි අරමුණ ය.
එමෙන්ම කොළ, දලු, ගෙඩි කෑමට රාතී‍්‍ර කාලයේ පැමිණෙන වවුලන් ඇතුලු වෙනත් පක්ෂීන්ගෙන්
බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීමට ය. තෙතමනය ආරක්ෂා කරගනිමින් වා ගැබ සිසිල්
කිරීමටත්, වර්ෂාව පතිත කර ගැනීමටත් මෙය පිටිවහලකි. පැමිණෙන සතුරකුට වුව එකවර බෝධීන්
වහන්සේ හඳුනා ගැනීමට අසීරු කිරීමට මෙම පරිවාර බෝධීන් වැදගත් වේ.
නිදසුනක් ලෙස 1985 මැයි 14 වැනිදා කොටි ත්‍රස්තවාදින් බෝමලුවට පිවිස කළ විනාශයේ දි
බෝධීන් වහන්සේ ආරක්ෂා කර ගැනීමට හැකිවීම පෙන්වාදිය හැකි ය. තවද දිනපතා ජය ශී‍්‍ර
මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන් තද අව් රශ්මියෙන් ආරක්ෂාකර
නිවී සැනසිල්ලේ බෝධීන් වහන්සේ වන්දනා කිරීමට සැලසීමට ය.
බෝ සමිඳු වැඩවසන භූමිය තුළ පිරිසුදු වාතාශ්‍රයක් ඇතිකර පරිසරය අලංකාරවත් කිරීම
සිදුවන්නේ මේ පරිවාර බෝධින් මඟිනි. ලක්ෂ්මන් කදිරගාමර් මහතා විදේශ කටයුතු
අමාත්‍යවරයා ව සිටි කාලයේ ඉන්දීය රජයෙන් ලැබුණු පරිත්‍යාගයක් ලෙස ලැබුණු බෝධින්
වහන්සේ නමක් පහත මාලයේ දකුණු පැත්තේ ගලින් බඳන ලද කොටුවක රෝපණය කර ඇත. මෙතුමා
අන්‍යලබ්ධිකයකු වුවද බෝධින් වහන්සේ කෙරෙහි දක්වන සැදැහැවත් බව ඉන් පිළිබිඹු වේ.
එතුමා බෝධිය මෙහි රෝපණයට පෙර සිය නිවෙසේ වඩා හිඳුවා වැඳුම්පිදුම් කර තිබේ.
අටමස්ථානාධිපති පල්ලේගම ඤාණරතන නාහිමියන් සමඟ සාකච්ඡා කර මේ රෝපණය සිදුකර තිබේ. ඒ
1997අප්‍රේල් 27වැනිදා ය.
මලුවේ උතුරු පැත්තේ ද මෙවැනි ම බෝධීන් වහන්සේ නමක් දැකිය හැකි ය. එය රෝපණය කර
තිබෙන්නේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසිනි.මෙරට අවුරුදු තිහක් පැවැති
යුද්ධය විජයග්‍රහණය කිරීම සිහිපත් කිරීම වස් රෝපණය කරන ලද්දකි.
පහත මලුවේ වසර තුනක් පමණ වයසැති බෝධීන් වහන්සේලා කිහිප නමක් දැකිය හැකි වේ. එම
බෝධීන් වහන්සේලා වත්මන් අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අදහසකට අනුව
2015-2019 කාලයේ අමාත්‍යවරයකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ මැදිහත්වීමෙන්
රෝපණය කරන ලදී.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඵලයන් පරිවාර බෝධීන් වහන්සේලාගේ මෙන් සරුවට හට
නොගනී.ගෙඩි හටගන්නේ කිසියම් ප්‍රමාණයකට ය. ඊට හේතුව පැරණි බව යැයි සිතිය හැක.ඵල
හටගත් පසු පේරාදෙනිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂතුමා දැනුවත් කෙරේ. එතුමා හෝ ඒ
වෙනුවෙන් සුදුස්සකු පැමිණ හටගත් ගෙඩි මෝරන තුරු සුරක්ෂිත කර ගනියි. බිමට වැටෙන්නට
නොදී සුදු දුහුල් රෙදිපටි වලින් ගැටගසයි. පසුව ඉදුණුගෙඩි උද්භිද උද්‍යානයට ගෙන ගොස්
ඉතා ප්‍රවේශමෙන් හා වගකීමෙන් බීජ තවාන්කර පැළ වූ පසු ආරක්ෂිත ව තබාගනී.
බෝ අංකුර අවශ්‍ය වූවිට අටමස්ථානාධිපති හිමි උද්‍යාන අධිකාරීතුමාට දැනුම් දී අවශ්‍ය
අංකුර ප්‍රමාණය ලබාගනී. ලබා ගත් අංකුර උඩමලුවේ තැන්පත් කරගනියි. දිවයිනේ විවිධ
විහාරස්ථානවල රෝපණය සඳහාත් බෞද්ධ විදේශ රටවල විහාරස්ථානවල රෝපණය සඳහාත් , පරිත්‍යාග
කරන්නේ මෙම බෝධි අංකුරයි.
විහාරස්ථානවලට බෝධී අංකුරයක් පරිත්‍යාග කිරීමේ දී අනුගමනය කරන පැරැණි චාරිත්‍ර
විධික්‍රමයන් පවතී. විහාරස්ථානයකට බෝධී අංකුරයක් අවශ්‍ය නම් විහාරාධිපති ස්වාමීන්
වහන්සේ අවශ්‍යතාවය සඳහන් කර අටමස්ථානාධිපති හිමියන්ගෙන් ලිඛිත ඉල්ලීමක් කළ යුතු ය.
එසේ ඉල්ලීම කළ පමණින් ම බෝ අංකුර පරිත්‍යාග කළ නොහැකි ය.රෝපණය කෙරෙන විහාරස්ථානයේ
හිමිනමක් අනිවාර්යන් ම සිටිය යුතු ය. එය අර්බුධ නොමැති ආරක්ෂිත තැනක් විය යුතු ය.
එමෙන්ම බෝධීන් වහන්සේ නමක් නැති තැනක් ද විය යුතු ය. තුන් වරුව ආවතේව කිරීම සඳහා
බැ¼දීසිටිය යුතු ය. යන මේ තහවුරුව ඇති නම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක්
රෝපණය කිරීමට අවස්ථාව සලසාදෙනු ඇත.
එසේ ලැබෙන්නේ ඉල්ලීම් කර ඇති අනුපිළිවෙලට ය. ඒ සඳහා බෝමලුව විහාරයෙන් ලබා දෙන දිනය,
වේලාව හා අවශ්‍ය ද්‍රව්‍ය සඳහන් කර ලිඛිතව දැනුම්දීමක් කරනු ලැබේ. ඒ අනුව පැමිණෙන
පිරිසට පුරාණ චාරිත්‍ර විධි පවත්වා අටමස්ථානාධිපති සුරතින් සෙත් පිරිත් මධ්‍යයේ බෝ
අංකුරය අවශ්‍ය ස්වාමීන් වහන්සේට භාරදෙනු ලැබේ.
පිට රටවලට ලබා දුන් බෝ අංකුර මේ වන විට තායිලන්තය, ජපානය, ඉන්දියාව, කොරියාව,
බුරුමය, මැලේසියාව, සිංගප්පූරුව, ජර්මනිය, අමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව ආදී
බොහෝ රටවල රෝපණය කර ඇත. පිට රටකට බෝ අංකුරයක් අවශ්‍ය වුවහොත් අටමස්ථානාධිපති හිමිට
දැනුම්දිය යුතු ය. සුදුසු නම් එම අවශ්‍යතාවය ඉටුකරයි.පැරැණි සිරිත්විරිත් අනුගමනය
කරමින් සංකේතවත් ලෙස බෝ අංකුරය ලබා දෙන්නේ දේවාල මලුවේ දී ය. අදාළ අංකුරය අතු ඉති
කපා පස් ඉවත්කර, රසායනික දියර ගල්වා, අදාළ ලිය කියැවිලි සකස්කර සූදානම් කරනු ලබන්නේ
උද්‍යාන අධ්‍යක්ෂවරයා විසිනි.
බෝ අංකුරයේ භාරකරු වශයෙන් අටමස්ථානාධිපති හෝ උන්වහන්සේ නියෝජනය කරමින් හිමිනමක් හෝ
කිහිප දෙනෙක් මේ ගමන සඳහා යාමට සූදානම් වෙති.දෙස් විදෙස් කාහට හෝ මෙම චාරිත්‍ර විධි
ක්‍රමයන්ගෙන් බැහැර ව බෝ අංකුරයක් වැඩමවීමට අවකාශ නොලැබේ.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මුල්කරගෙන ඉහත සඳහන් සියලු කාර්යයන් බෝමලුව තුළ
සිදුකරනු ලබන බැවින් මේ පූජනීය ස්ථානය අනාදිමත් කාලයක සිට බෝ මලුව පන්සල නමින්
හැඳීන්වූවා විය හැක.”
අනුරාධපුර ලංකාරාමාධිකාරී
රැළපනාවේ ධම්මජෝති නාහිමි
සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිනි
සරත් මනුල වික්‍රම අනුරාධපුර විශේෂ |