කුහක ගති
ඇති නැති අය
ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙන් ආචාර්ය
ශාස්ත්‍රපති
මකුලෑවේ ධම්මරතන හිමි
කුහකකම, මෙන්ම කුහකයා යන්න ද කිසියම් පුද්ගලයෙක් හෝ පැවතුම් රටාවක් සමාජයේ
අප්‍රසාදයට, අවඥාවට ලක්කොට කතා කිරීම සඳහා භාවිත වන වචන දෙකක් වුවත්, ඇත්ත වශයෙන් ම
කුහකකම් කරනවා යන්නේ අදහස කුමක් ද? කුහකයාගේ හැටි ස්වභාවය කෙබඳු ද? විමසා බැලීම
වැදගත් වෙයි.
වර්තමාන සමාජය තුළ සාමාන්‍ය ව්‍යවහාරයේ මේ වචන භාවිත වන්නේ පැහැදිලි නිශ්චිත
තේරුමක් නැති ආකාරයකට යි. ඇතැම් තැනෙක, කෙනකුට හිතවත්කමක් නො දක්වන. කෙනකුගේ
දියුණුව නොරුස්නා, කෙනකු ‘කුහකයකු’ ලෙස හඳුන්වයි.
ඔහු විසින් එබඳු අවස්ථාවල දී ඇති කරන බාධක හා බාධා ඇති වන සේ කියන කතා, කුහකකම් ලෙස
සැලකීමට අපි පුරුදු වී සිටිමු. එහෙත් බුදු දහම තුළ කුහකකම පිළිබඳ වෙනම ඉගැන්වීමක්
දක්නට ලැබේ. විශේෂයෙන් එය තව කෙනකු පිළිබඳ බාහිරව දක්වන විනිශ්චයකට වඩා පුළුල්වූත්
ගැඹුරුවූත්, මනෝ භාවාත්මක ඉගැන්වීමකි.
ඒ අනුව කුහකකම යනු පුද්ගල මානසික තත්වයකි. එම මානසික තත්වය ගිහි, පැවිදි, ලොකු,
කුඩා කා තුළත් අඩු වැඩි වශයෙන් පවතී. කෙලෙස් සහිත පෘථග්ජන සැම කෙනා තුළම කුහකත්වයන්
ඒ ඒ අවස්ථානුකූල ව පවතී. නමුත් පුද්ගල හැසිරීම් තුළ කුහකත්වයන් තිබේද නැද්ද යන්න
වටහා ගැනීමට හැකි නො වන්නේ එය කායික තත්වයක් නොව මානසික තත්වයක් වන බැවිනි.
සමාජය තුළ ජීවත්වීමේ දී පුද්ගලයන් හඳුනාගනු ලබන්නේ බාහිර ස්වරූපයෙනි. අඳින පළඳින
විදිහ, යන එන කතා කරන විදිහ ආදී වශයෙන් බාහිරව පුද්ගලයා හඳුනාගෙන උස් පහත් තත්වයන්
තීරණය කර ආශ්‍රය කරයි. පුද්ගලයන් හඳුනා ගැනීමේ දී බාහිර තත්වයට වඩා මානසික තත්වය
හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.
මානසික තත්වය හඳුනා ගැනීම ඉතා දුෂ්කර ය. ඇතැම්විට ජීවිත කාලය පුරාවට ම ආශ්‍රය කළත්,
ඇතැම් පුද්ගල ස්වභාවයන් තේරුම් ගැනීම අසීරු ය. තරමක් දුරට හෝ පුද්ගල මානසික
තත්ත්වයන් තේරුම්ගෙන ආශ්‍රය කරනවා නම් මීට වඩා පවුල් ප්‍රශ්න, සමාජ ප්‍රශ්න ආයතනික
ප්‍රශ්න බොහොමයක් අඩු කර ගැනීමට හැකිය.
සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ, පංචක නිපාතයේ, ථෙර වග්ගයේ කුහක සූත්‍රය තුළ කරුණු
පහකින් කුහක යන මානසික තත්වය විග්‍රහ කර තිබේ.
ඒ අනුව කුහකකමේ පළමු තත්වය කුහනා ය.
කුහනා යනු තමා ළඟ නැති ගුණ ධර්ම තිබෙන බවට සමාජය ඉදිරියේ මවා පෑම ය. කියා පෑම ය.
එසේ නැති ගුණ ධර්ම ප්‍රදර්ශනය කිරීමෙන් සමාජය තුළින් යම් යම් දේ බලාපොරොත්තු වේ නම්
ඒ කුහක තත්වය යි.මෙම මානසික තත්වය ගිහි පැවිදි දෙපාර්ශ්වයට ම පොදු කාරණයකි. තමා ළඟ
නැති යහපත් ගුණ ධර්ම ඇති බවට හුවා දක්වමින් යම් යම් දේ බලාපොරොත්තු වේ. එය
ප්‍රශංසාවක්, කීර්තියක්, හොඳ සමාජ පිළිගැනීමක් හෝ වෙන යම් ඉතාම සුළු ලාබ සත්කාරයක්
විය හැකි ය.
මෙම කුහනා යන තත්ත්වය විශුද්ධි මාර්ගය තුළ කොටස් තුනකට වෙන්කර තවත් විස්තර කර දක්වා
තිබේ.
යමක් ලබා ගැනීමේ අරමුණෙන් ඒ දේ පිළිබඳව සඳහන් නො කර වෙන වෙන දේ කියමින් යටි හිතින්
තමාට අවශ්‍ය දේ බලාපොරොත්තු වී එය ලබා ගැනීමට සමහරු කටයුතු කරයි.
තමා ළඟ තිබෙන උසස්කම බලය, ධනය පිළිබඳ සමාජ සම්බන්ධතා පිළිබඳ, තමාගේ උගත්කම් ආදි දේ
පිළිබඳ දක්වමින් අන් අයගෙන් කුමක් හෝ බලාපොරොත්තු වීම තවත් සමහරුන්ගේ සිරිත යි.
තමාගේ ඉරියව් තුළින්, හැසිරීම තුළින් සමාජයට දන්වන්න උත්සාහ කරනවා තමන් යම් තත්වයකට
පත්වුණු කෙනෙක් විදිහට. තමන් සංවර කෙනෙක් හික්මුණ කෙනෙක් විදිහට ඒ ආකාරයට
හැසිරෙමින් යමක් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මෙහිදී සැබෑවට ම සංවරව හික්මීමෙන්
ගමන් කිරීම, කතා කිරීම, කුහකකම නො වන අතර, එසේ තමා තුළ සංවරකමක් නො මැතිව, සමාජයට
සංවරබව පෙන්වමින්, පුද්ගලයන් රවටමින් ලාභ සත්කාර අපේක්ෂාව කුහකකම නම් වේ. මේ ආකාරයට
විශුද්ධි මාර්ගය තුළ කුහනා යන තත්වය තුන් ආකාරයකට විස්තරකර තිබේ.
දෙවැනි කුහක තත්වය නම් ලපනා යි
ලපනා නම් කතාව යි. කෙනෙක් සමඟ කතා කරමින් ඉන්න අතර, අනෙකාට නො දැනුවත්ව ම තමාගේ
අදහස් අවශ්‍යතාවයන් ඔහුගේ හෝ ඇයගේ මනසට ඇතුල් කිරීම , කෙළින් නො කියා කතාව තුළින්
එසේ තම අදහස් ඇතුල්කර තම අවශ්‍යතාවය ඉටුකර ගනියි.
තෙවැනි තත්වය නම් නෙමිත්තිකතා යි
එනම් නිමිති ය. තමාට යමක් වුවමනා වූවිට ඒ දේවල් ඉල්ලන්නේ නැතිව ඒ ගැන වෙනම කතා
කරනවා. එසේ කතාකර තමාට අවශ්‍ය දේ ලබා ගන්නවා. මේ සඳහා විශුද්ධි මාර්ගයේ ම හොඳම
උදාහරණයක් තිබෙනවා. එනම් වසු පැටියාගේ කතාව යි.
කෙනෙක් පසු පැටියෙක් පාරේ අරන් යනවා. මේ වසු පැටියා දැක්ක කෙනෙක්ට කිරි බොන්න
අවශ්‍ය වුණාට කිරි ඉල්ලන්නේ නැතිව වසු පැටියා ගැන වර්ණනා කරනවා. කිරි ගැන ගුණ
කියනවා. මේ විදිහට කියනවිට වසු පැටියාගේ අයිතිකාරයාට කිරි ටිකක් දෙන්න හිතෙනවානේ.
අන්න ඒ විදිහට කුහක පුද්ගලයා විවිධ කතා කියමින් තම අවශ්‍යතාවය ඉටු කර ගන්නවා.
පාරේ දී, කඩේ දී පොදු ප්‍රවාහන සේවයේ දී එවැනි පුද්ගලයන්ට රැවටුණ අත්දැකීම් අපි
කාටත් තිබෙන්නට පුළුවනි.
සිව්වැනි තත්වය නම් නිප්පෙසිකතා යි
මෙම කුහක තත්වය තුළ සිතින් හිතාගෙන ඉන්නවා යමක් තමාට ලැබේවි කියලා. නමුත් ඉල්ලන්නේ
නැහැ. උදාහරණයක් විදිහට සඳහන් කළොත් කුහක කෙනා හිතනවා ආයතනයක නම් මාව උසස් කරාවි.
අසවල් තනතුර මට දේවි. මගේ උපන් දිනයට තෑග්ගක් අරන් දේවි. අම්මා බෑග් එකක් අරන්
දේවි. මේ ආකාරයට හිතින් යම් යම් බලාපොරොත්තු ඇතිව ඉන්නවා . ඉල්ලන්නේ නෑ. ඒ අදහස්
ඉටු නො වුණාම බනිනවා. රණ්ඩුවෙනවා තැන තැන වැරැදි සොයනවා. නමුත් කුහක නැති කෙනා හිතේ
තියන් ඉන්නේ නැහැ. කෙළින්ම තම අවශ්‍යතාවය කියලා ඉල්ලනවා. කුහක කෙනා ඉල්ලන්නේ නෑ.
හිතේ තියන් ඉඳලා නො ලැබුණාම විවිධ ප්‍රශ්න ඇතිකර ගන්නවා. එසේම කුහක කෙනා ඉතාම සුළු
යමක් ලැබුණත් අසීමිත ව සතුටට පත්වෙනවා.
පස්වැනි තත්වය නම් ලාභෙන ලාබං නිජිගිංසනතායි
මෙම කුහක තත්වයේ ඉන්න කෙනා තමන්ට යමක් ලැබුණා ම ඒක ගන්නේ නෑ. එසේ නො ගෙන එයා
බලාපොරොත්තු වෙනවා බලකරලා දෙයි කියලා. පෙරැත්තකමින් දෙයි කියා බලාපොරොත්තු වෙනවා.
එසේම යමක් දුන්නාම අරගන්නවා. අරගෙන තව කෙනෙක්ට දෙනවා. එහෙම දීලා ඊට වඩා වැඩි යමක්
බලාපොරොත්තු වෙනවා.
මේ අයුරින් කුහක බව ආජීව පාරිශුද්ධිය අපිරිසුදු කරන, කෙලෙස් දහම් ක්‍රියාත්මකවීමක්
ලෙස සලකනවා. එයින් භික්ෂුවක් හෝ ගිහියෙක් අනුන් රැවටීමක් සිදුකරන අතර, අකුසල
රාශියක් ඇති කරගන්ට මඟ පාදා ගන්නවා. ගිහි පැවිදි කාගෙත් කුහක බව යනු ලාභ ප්‍රයෝජන
ලැබීම සඳහා, තමාගේ කීර්තිය වැරැදි ලෙස ගොඩනඟා ගැනීම සඳහා තමා මතු වී සිටීම සඳහා,
තමා තුළ නැති ගුණ ඇතැයි හඟවමින්, කතා කරමින්, විශේෂිත රඟපෑම් සහිත ඉරියව්
පැවැත්වීමෙන් ද ලෝකයා රැවටීම බව තේරුම් ගත යුතු ය. මෙම කුහක තත්වයන් ඔබ අප කා තුළත්
අඩු වැඩි වශයෙන් පවතිනවා. කා තුළ ඇතත් කුහක බව ක්ලේෂ දහමක් පමණයි.
එබැවින් මේ පිළිබඳව මනා වැටහීමක් ඇතිකර ගනිමින් සමාජය තුළ ජීවත්වීම ඉතා වැදගත් ය.
අත්තානං ගවෙසෙය්‍යාථ සචිත්ත මනුරක්ඛථ
තමා ගැනම සොයන්න සිත රැක ගන්න . |