[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගුණ දහම් පුරන්නට මේ හොඳම කාලයයි

ගුණ දහම් පුරන්නට මේ හොඳම කාලයයි

“අට්ඨිනං නගරං කතං - මාංස ලෝහිත ලේපනං
යත්ත ජරාච මච්චූව - මානෝ මක්ඛෝච ඕහිතෝ”

අපගේ ශරීරය මස්,ලේ, ගල්වා ඇටවලින් සාදන ලද නුවරක්, එසේ නැතිනම් කොටුගෙයක් හා සමාන බව ඉහත සඳහන් ගාථා ධර්මයේ සාමාන්‍ය තේරුමයි.

ඇය මුලින් හැඳින්වූයේ ජනපද කල්‍යාණි නමින් ය. රූපයෙන් අගතැන්පත් නිසා පසු කලෙක බොහෝ දෙනා හඳුන්වනු ලැබුවේ “රූපනන්දා” නමිනි.

තම මෑණියන්ගේ පැවිදි වීමෙන් පසු ගෙදර හුදකලා වූ රූපනන්දාට ද පැවිදි වීමට ආශාවක් ඇති විය. ඒ අනුව

“රූපනන්දා” මෙහෙණවරට ගොස් පැවිදි විය. රූපනන්දා කිසිදු දිනෙක බුදුරජාණන් වහන්සේ වෙත ගොස් ධර්මය ශ්‍රවණය නොකළාය. පැවිදිව සිටිය ද වෙහෙරට ගොස් ධර්මය ශ්‍රවණය කර නැත. එයට මූලික හේතුව වූයේ බුදුරජාණන් වහන්සේ රූපය මුල්කරගෙන රූපයේ දොස් පෙන්වමින් ධර්ම දේශනා කරන බැවින් එයට අකමැතිව සිටිය නිසයි.

දිනක් ඇයට වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ඇසීමට හිතක් පහළ වුණා. ඒ අනුව වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේට නොපෙනෙන පරිදි මෙහෙණින් අතරට වී සැඟව ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වුණා. රූප නන්දා ගේ මෙම ක්‍රියා පිළිවෙත අවබෝධ කර ගත් බුදුරජාණන් වහන්සේ ඇයට ධර්ම දේශනා කිරීමට පළමුව ඇයගේ රූප මානය දුරු කිරීම සඳහා ක්‍රමෝපායයක් අනුගමනය කළා. එම ක්‍රමවේදය නම් රූප නන්දා මෙහෙණියට පමණක් පෙනෙන පරිදි රූප නන්දා මෙහෙණියට වඩා සුරූපී සොළොස් වියැති කාන්තාවක් මවා පෑමයි.

සර්වාභරණයෙන් සැරසී සිටිය මෙම කාන්තාව බුදුරජාණන් වහන්සේට සමීපව පවන් සලමින් සිටියා. ටික වේලාවක් ගිය පසු මේ කාන්තාව තරුණ වයස ඉක්මවා මැද වයසටත්, මහලු වයසටත් පත්ව අත් පා දුබල වී ජරාවට පත් වී මැරී ඇද වැටුණා. එකෙනෙහිම එතනට පැමිණි බලුකපුටන් විසින් එම මළ සිරුර අනුභව කරන අයුරුත් දැක්කා.

මේ සිදු වීම දුටු රූප නන්දා මෙහෙණින් වහන්සේ තම රුව කෙරෙහි මෙතුවක් කල් තබා තිබූ මානය අතහැර තමන්ටත් මෙබඳු දවසක් උදා වෙතැයි සිතමින් පසු වුණා. මෙය අවබෝධ කර ගත් බුදුරජාණන් වහන්සේ රූප නන්දා මෙහෙණිය ඇතුළු පිරිසට ඉහත ගාථා ධර්මය මාතෘකා කොට ධර්ම දේශනා කළා.

මෙහිදී බුදුරජාණන් වහන්සේ අපේ ශරීරය කොටු ගෙයකට උපමා කර තියෙනවා. කොටු ගෙයක් කියන්නේ වී,තල, උඳු, මුං ආදි ධාන්‍ය තැන්පත් කිරීමට සාදා ගන්නා කොටුවකි. අපේ පැරණි ගම් වල මේ අටු කොටු සුලභව දකින්නට තිබුණා. ප්‍රධාන කණු කිහිපයක් යොදා ඒවා වටා පතුරු තබා බැඳ මැටි ගසා වහලට පිදුරු වැනි සෙවිල්ලක් කොට සාදා ගනු ලබනවා.

බුදුරජාණන් වහන්සේ මෙහිදී පෙන්වා දෙනු ලබනවා, අපේ ශරීරත් ධාන්‍ය පිරවූ මෙබඳු කොටු ගෙයක් වගේ කියා. කොටුව සම්පූර්ණ වීමට ඉහත දැක්වූ ද්‍රව්‍ය උපකාර වූවා සේ අපේ ශරීරයත් නිර්මාණය වී තිබෙන්නේ, ඇට වලින්ද, නහර වලින් ද එකට ගැට ගසා ඒ තුළට මස්, ලේ, හෘදය, අක්මා අතුණුබහන්, බඩවැල්, නහර, ගිල්වා සමකින් ආවරණය කරලයි. අපේ මුළු ශරීරය ම මේ දෙතිස් කුණප කොට්ඨාශයන්ගෙන් සමන්විතව ඇත. සිරුරේ අපද්‍රව්‍ය බැහැර වන දොරටු නවයම මතුපිට ප්‍රසිද්ධව ම තබා ඇත.

යමෙකු විසින් මෙම ශරීරය කොට්ටයක උරයක් කණපිට පෙරළන්නාක් මෙන් අත දමා පෙරළුවහොත් අපට එතැන දක්නට ලැබෙන්නේ ඉහත දැක්වූ අපද්‍රව්‍යයන් ය. එමෙන්ම ආහාර සඳහා එතැනට පැමිණෙන බලු කපුටන් ය. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ පංචස්කන්ධයම දුකක් බව දේශනා කළේ. එය තේරුම් ගෙන මේ පංචස්කන්ධයෙන් මිදීමට අවශ්‍ය ගුණ දහම් සම්පූර්ණ කර ගත යුතුව ඇත.

මිනිසුන් වශයෙන් ඉපදුණු අපේ ආයු ගෙවී යාමත් සමඟ ජරාවටත් , ව්‍යාධියටත් , මරණයටත් පත්වේ.

ව්‍යාධිය යනු වා, පිත් සෙම් කිපීමෙන් අපේ ශරීරයේ හට ගන්නා විවිධාකාර රෝගාබාධයන් ය. අට අනූවක් රෝගාබාධ ඇති බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. මේ අතර පිළිකා, අපස්මාරය, හෘද රෝග, වකුගඩු , අංශභාග, වසුරීය, පැපොල, ආදි රෝග පෙන්වා දිය හැක. මේ නිසා අපේ මුළු ශරීරයම රෝග සඳහා වූ කැදැල්ලකි.

සමහරු මරණය ගැන හිතන්නටත්, දුක් වෙන්නටත්, අඬන්නටත් පුරුදු වී සිටින්නේ මළගමක් වූ දාට පමණි. බුදුරජාණන් වහන්සේ මේ මරණය නිති සිහි කළ යුත්තක් බව “ජීවිතං අනියතං – මරණං නියතං” වැනි කරුණු වලින් පෙන්වා දී ඇත. “මරණානුස්මෘති” භාවනාව වඩන්නකුට මරණය ගැන යථාර්ථය මනාව වටහා ගැනීමට පුළුවනි.

“මානෝ” යන්නෙන් අදහස් කරන්නේ හිතේ උපදින අහංකාරකමයි. ධනය , රූපය, තාරුණ්‍ය, වංශවත්කම නිසා සමහරු උඩඟු වෙති. ඔවුහු සෙසු අය හා ඇසුරට කැමති නැත. සිනා වුව ද සිනා නොවෙති. කතා කළ ද කතා නොකරති. ඇසුරට කැමති නැති ඔවුහු හුදකලාව විසීමට කැමති ය. සමාජයේ ඉදිරි පෙළක් නැති ඔවුහු සමාජයේ පසු පෙළම සිටියි.

අහංකාරකම හිත කිලිටි කරන එක් කෙලෙස් ධර්මයකි. නැවත ආත්මවල බලු කපුටු වී උපත ලබන්නේ උඩඟු වී සිටි පුද්ගලයන් ය. අහංකාරකත්වයෙන් තොර වූ පුද්ගලයා නිහතමානී කෙනෙකි. සුළඟට නැමෙන “වී කරලත් බට පඳුරත්, සේ ඔවුහු නිහතමානී වෙති.

සමාජයේ හැමට උදව් උපකාර කරමින් සතුටින් පී‍්‍රතියෙන් ජීවත් වෙති. සත්පුරුෂයින් වශයෙන් හඳුන්වන ඔවුන් මිනිසුන් අතර පමණක් නොව දෙවියන් අතරද ගරු බුහුමන් ලබති. එබැවින් අප ද සත්පුරුෂ ඇසුර ලැබ සාරධර්ම , ගුණධර්ම රකිමින් සිල්වත්ව, ගුණවත්ව කටයුතු කිරීමට උත්සාහ දරමු. සත්පුරුෂ ධර්ම රකින පුද්ගලයා "සන්තුට්ඨි පරමං ධනං" හැමදා සතුට ධනය කොට ජීවත් වෙති.

“මක් ඛෝ” යනු ගුණධර්මයන්ගෙන් ඈත් වූ පුද්ගලයා ය. ඔහු තුළ කිසිදු ගුණධර්මයක් නොමැත. ගුණධර්ම වශයෙන් අප සලකණු ලබන්නේ ඉවසීම. දයාව, කරුණාව, මෛත්‍රිය අනුකම්පාව ආදි ගුණයන් ය. ගුණවත් පුද්ගලයා ඉහත දැක්වූ හැම ගුණයකින් ම යුක්ත ය. ඔවුහු සැමට උදව් උපකාර කරමින්, ආදර්ශමත් දැහැමි ජීවිත ගත කරති.

  නවම් අව අටවක 

මාර්තු 05 සිකුරාදා අපරභාග 19.54 අව අටවක ලබා 06 සෙනසුරාදා අපරභාග 18.10 ගෙවේ.
සෙනසුරාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 06

Full Moonඅමාවක

මාර්තු 12

First Quarterපුර අටවක

මාර්තු 21

Full Moonපසළොස්වක

මාර්තු 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]