නින්දාවේ
පැවැත්ම
ලැබීමට නො කැමැති වුව ද නින්දා නො ලැබූ කෙනෙක් හෝ නොලබන කෙනෙක් ලොව නැත. ප්‍රශංසාවම
බලාපොරොත්තුව වුව ද එය ඉතා කලාතුරකින් හිමි වන්නකි.
බොහෝ අය ප්‍රශංසා ලබන්නට කැමැති වුව ද, තවත් කෙනකුට ප්‍රශංසා දෙන්නට අකැමැති ය.
එහෙත් නින්දාවෙහි නම් දක්ෂයෝ ම ය. ප්‍රශංසාව දුලබ වන්නේත් නින්දාව සුලබ වන්නේත්
එහෙයිනි.
ප්‍රශංසාව යම් මානසික සුවයක් ගෙන දුන්න ද ඒ සතුට තාවකාලික ය. ටික දිනකින් මැකී යයි.
එහෙත් නින්දාවේ පැවැත්ම දිගු ය. ඇතැම් විට ජීවිත කාලය පුරාම, පරම්පරාවෙන් පරම්පරාවට
පසුපස එනු ඇත. එහි අහිතකරඵල, මානසික තැවීම මහා පළිගැනීමක් දක්වා දුර දිග යන්නට ද
පුළුවන.
එයට හේතුව නින්දාවට ලක්වන පුද්ගලයාට එය දරා ගන්නට නොහැකි වීමය. මානසික ශක්තියක්
නොවීම ය.
ඇතැමෙක් නින්දාව නිසා ජීවිතයෙන් පළා යාමට ද පෙළඹෙති. පළිගැනීම් සිදු කරති. අසහනයෙන්
රෝගී වෙති. එහෙත් ජීවිතයේ එවැනි සිදුවීම් හමුවේ අප මුහුණ දිය යුතු එසේ නොවේ.
බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළේ එය තාවකාලික බව දැන ඉවසා සිටින ලෙස ය.
යම් කෙනෙක්, අද නින්දා කරන්නේ නම්, හෙට ඒ පුද්ගලයා ම ප්‍රශංසා කළ හැකි බව සිහියට
නඟා ගන්නා ලෙස ය.
සියල්ල වෙනස්වන මේ තාවකාලික ලොව සදාකල් පවතින කිසිවක් නොමැති බව සිතන ලෙස ය.
තනිකරම නින්දා හෝ ප්‍රශංසා ලැබූ කෙනෙක් පෙර ද
නොවීය. මතුද නොවන්නේ ය. දැනුදු නැත. යනුවෙන් ධම්ම පදයේ - කෝධ වග්ගයෙහි
සඳහන් ය. |