කවරයේ කතාව
භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩ වාසය කරන සමයෙහි රාජ දණ්ඩනය නියම වූ ගොවියෙකු
ඉන් මුදාලීමේ සිදුවීම පාදක කොට ගනිමින් මෙවර බුදුසරණ කවරය සිතුවම්ව ඇත.
එක් රැයෙක සොර මුළක් සැවැත් නුවර ධනවත් සිටුවරයෙකුගේ මැදුරකට උමං මගක් ඔස්සේ වැද
වස්තුව රැගෙන පලා ගියෝ ය . එය රැගෙන කුඹුරකට ගොස් සොරකම් කළ දෑ එහි දී බෙදාගත් හ.
යුහු සුලුව ඔවුන් එය බෙදා ගෙන පලා යන විට එකෙකු අතින් දහසින් බැඳී පියල්ලක් බිම
වැටිණි .
අලුයම්හි භාග්‍යවතුන් වහන්සේ ලොව බලා වදාරන සේක් පසු දා උදේ කුඹුර සාන්නට එන
දුප්පත් ගොවියාට ඒ රන් පියල්ල නිසා වන අන්තරාය දැක එහි යන්නට අදහස් කළ සේක .
පසුදා උදෑසනින් ගොවියා කුඹුරට ගියේ ය. භාග්‍යවතුන් වහන්සේත් ආනන්ද තෙරුන් හා එහි
වැඩි සේක . ගොවියා ද සී සාන්නට පටන් ගත්තේ ය .
භාග්‍යවතුන් වහන්සේ රන් පියල්ල වැටී තිබුණ තැනට වැඩම කොට අනඳ තෙරුනට එය පෙන්වා “
ආනන්දය , සර්පයා දුටූ දැ යි ඇසූ සේක. “ “ එසේ ය , දිටිමි’ යි අනඳ තෙරණූවෝ ද පැවසූහ.
එය ඇසු ගොවියා උන් වහන්සේ එ තැනින් වැඩි පසු කෙවිට ගෙන එ තැනට ගියේ , එහි සර්පයකු
නො ව රන් පියල්ලක් දැක සර්පයනට මෙන් ළං නොවිය යැයි සිතා සීසාන්නට විය .
උදයෙහි වස්තු හිමියෝ සොරුන් උමං බිඳ වස්තුව ගෙන ගිය නියාව දැක, සොයා ඇවිද කුඹුරට
පැමිණියහ .
එහි එක් පසෙක රන් පියල්ල දුටු ඔවුහු කෙතෙහි සිටි ගොවියා සොරෙකැයි බැඳ කොසොල් රජු
වෙත ගෙන ගියහ .
රජු එම පුවත අසා මරණීය දණ්ඩනයට නියම කළහ .
රාජ පුරුෂයන් විසින් තළා පෙළා වධ ස්ථානයට පමුණුවනු ලබන හෙතෙම භාග්‍යවතුන් වහන්සේ
වදාළ බස් සිහි කොට ‘ආනන්දය , සර්පයා දුටු දැ ? යි වදාළ වචනයත් ‘ එසේ ය භාග්‍යවතුන්
වහන්ස දිටිමි යි අනඳ තෙරුන් ගේ කතාවත් කිය කියා ගියේ ය.
එය ඇසු රාජ පුරුෂයෝ ඒ අසා ‘ තොප කුමක් කීයෙහිදැ ? යි ඇසූහ.
‘ මහාරජු වෙත රැගෙන යන්නේනම් කියන්නෙමි'යි ගොවියා පැවසුහ .
රජ ‘තගේ මේ කතාවේ තේරුම කිම් දැ? යි විචාළේ ය .
හෙතෙම තමා සොරෙකු නොවන බවත් , භාග්‍යවතුන් වහන්සේ එහි වැඩි පුවත ද කියා සිටියේ ය
.එදවස එම ගොවියා භාග්‍යවතුන් වහන්සේ වෙත රැගෙන ගොස් පසෙක හිඳ ‘ ස්වාමීනි මොහු සානා
කෙතට අද භාග්‍යවතුන් වහන්සේ ත් අනඳ තෙරුන් හා වැඩි සේක් දැයි විචාළේ ය .
“ එසේ ය මහරජ ගියම්හ යි භාග්‍යවතුන් වහන්සේ සියල්ල වදාළ සේක .
එවිට රජ භාග්‍යවතුන් වහන්ස , මේ අහිංසකයා වෙනුවට සාක්කියට ඔබ වහන්සේ වැනි කෙනෙකු නො
වූහු නම් අද මොහු දිවි අතර නැත . ඔබ වහන්සේගේ වචනය නිසා අද මොහු ගේ දිවි රැකුණේ
යැයි කී ය .
ඒ බසට භාග්‍යවතුන් වහන්සේ ‘ මොහු ඒ පියල්ල නො ඇල්ලුවත් වස්තු හිමියෝ මොහු අල්ලා
ගන්නෝ යැයි වදාරා ‘ පසු තැවිල්ලට හේතු වන දෑ නො කට යුතු ය ‘ යන්න මාතෘකා කොට දම්
දෙසූ සේක . දහම් අසා ඒ ගොවි තෙම සෝවාන් වූ අතර රැස්ව සිටි බොහෝ පිරිස ද ධර්මාවබෝධය
ලැබී ය. |